Print this Article


උපාසක රත්නය

උපාසක රත්නය

ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද නාහිමි

නිග්‍රෝධාරාමයෙහි වැඩ විසූ සමයෙහි දිනක් මහානාම නම් ශාක්‍ය ප්‍රභූවරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක හිඳ මෙසේ ඇසීය.

“භාග්‍යවතුන් වහන්ස, කෙතෙක් කරුණෙකින් මිනිසා උපාසකයෙක් වන්නේ ද?”

“මහානාමයෙනි, යම් විටෙක මිනිසා ගුණ දැන බුදුන් සරණ කොට ගියේ ද, දහම් සරණ කොට ගියේ ද? සඟුන් සරණ කොට ගියේ ද, මහානාමයෙනි, මේ කරුණු තුනෙන් ම හේ උපාසක නම් වෙයි.”

තථාගත සර්වඥයන් වහන්සේ තුළ පිහිටි නව මහා ගුණයත්, නවලොවුතුරු දහම්හි ඇති මහා ගුණ සයත්, අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ශ්‍රාවක මහාසංඝ රත්නයෙහි ඇති නව මහා ගුණත් දැනගෙන ඒ තුනුරුවන මට අද සිට උතුම් පිහිට වන්නේ යැයි සරණ ගිය සැදැහැවත් බැතිමත් තෙම “උපාසක” නම් වෙයි, යනුවෙන් මහානාම ශාක්‍ය නායකයාගේ ප්‍රශ්නයට පිළිතුරු මුවින් බුදුරජාණන් වහන්සේ වදාළ සේක්. දිට්ඨධම්ම සුඛ, සම්පරායික සුඛ, විමුක්ති සුඛ යන ත්‍රිවර්ග සුඛය ලබන අටියෙන් තුනුරුවන් ඇසුරු කරන, වඳින, පුදන, අවවාද, අනුශාසනා ලැබීම පිණිස නිතර තෙරුවන් වෙත එළැඹෙන පුද්ගලයා උපාසක නම් වෙයි.

මෙසේ උපාසක ලක්ෂණ දැනගත් මහානාම ශාක්‍යතුමා “උවසු තෙම කෙතෙක් කරුණින් සිල්වත් වේ දැයි ඇසීය.

එයට සම්බුදු රජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු දුන් සේක.

“මහානාමයෙනි, යම් කලෙක සිට උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ ද, සොරකමින් වැළකුණේ ද, වැරැදි කාම සේවනයෙන් වැළකුණේ ද, බොරුකීමෙන් වැළකුණේ ද, මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකුණේ ද, මහානාමයෙනි,මේ කරුණු පසින් උවසුවා සිල්වත් වෙයි.”

තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හෝ උපාසිකාවක හෝ විසින් ඒ පන්සිල් පද පස මුල් සික පද වශයෙන් ගෙන එදිනෙදා ජීවිතයෙහි ලා සිහිනුවණින් හා උත්සාහයෙන් රැක්ක මනා වෙයි. එමඟින් හෙතෙම හෝ ඕ සිල්වත් උවසුවා හෝ සිල්වත් උවැසිය වෙයි. මෙසෙයින් පඤ්ච ශීලය ගිහියන්ගේ සමාජ ශොභන ධර්මය වෙයි.

එය ගිහි බෞද්ධයාගේ සංස්කෘතිය යි. පඤ්ච ශීලය ගිහි බෞද්ධ ජීවිතයෙහි මහ පදනම වෙයි. එය සුස්ථිර වූ තරමට උපාසක හෝ උපාසිකාව හෝ ලොවී - ලොවුතුරු සුවයට හිමි වෙයි. මෙසේ සිල්වත් වීමෙන් උපාසක, උපාසිකා සමාජයෙහි වෙසෙන එක් එක් සාමාජික සාමාජිකාවක් විසින් කළ මනා දෙකෙක් ඇත. එනම්, අත්තහිත හෙවත් අත්වැඩ

පරහිත හෙවත් පර වැඩ ද යන මේ ය.

සිල්වත් ඇතැම් උපාසක - උපාසිකාවෝ ආත්ම හිතය ම සඳහා පිළිපදිත්. පරහිත කරණයෙහි නොයෙදෙත්. තවත් අය තුමුත් ආත්ම හිතයෙහි යෙදෙමින්, මෙරමා ද හිත සුව සපයා ගැනීමෙහි මෙහෙයවත්.

උවසු තෙමේ හෝ උවැසි තොමෝ හෝ ශීලසම්පන්න වෙමින් අනුන්ද ශීල සම්පත්තියෙහි පිහිටුවා නම්, තෙමේත් ත්‍යාග සම්පන්න ව, අනුන්ද ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවා නම්, තෙමේත්, සිල්වත් නැණවත් භික්ෂූන් දැකීමට කැමැති වෙමින් අනුනුත් එබඳු භික්ෂූන් දැකීමට කැමැති කරවා නම්, තෙමෙත් නව ලොවුතුරු සදහම් හා පර්යාප්ති ධර්මය අසමින් මෙරමා ලවාත් ධර්ම ශ්‍රවණයෙහි යොදවා නම්, තෙමේත් ඇසූ දහම් දරා ගනිමින් අනුන්ද ධර්මය සිත්හි දරා ගන්වනවා නම්, තෙමේත් ඇසූ දහම්හි අර්ථය පරික්ෂා කරමින් අනුන්ද අර්ථ පරික්ෂා කිරීමෙහි යොදවා නම්, තෙමේ අර්ථ ධර්ම දෙක දැන ගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමින් අනුන්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි සමාදන් කරවා නම්, හෙතෙම හෝ ඕ තොමෝ හෝ ආත්මහිත - පරහිත දෙක්හි යෙදුණේ හෝ යෙදුණි වෙයි. මේ වනාහි උපාසක උපාසිකා ජීවිත සකසා ගැනීමට හේතුවන කරුණූ ලෙස බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යහට දක්වාලූ සැටියි.