Print this Article


මම ය කියලා කෙනෙක් නැති කල මගේ කියනා කිසිදෙයක් වෙද?

මම ය කියලා කෙනෙක් නැති කල මගේ කියනා කිසිදෙයක් වෙද?

බෝසතුන් මහබිනික්මන් කළේ අතට ලැබෙන්නට ගිය සක්විති රජකම මෙන් ම යස ඉසුරු හැර දමමිනි. එසේ සියලු කම්සැප හැර බුද්ධත්‍වය ලද විගස එතුමා ප්‍රකාශ කළේ ඔබගේ සිත විසංස්කාර ගත වූ බව ය. එයින් අදහස් කෙරෙන්නේ හේතුප්‍රත්‍ය බලයෙන් පහළ වූ සියලු ම සංස්කාර ධර්මයන්ගෙන් සිත නිදහස් කොට ඒ සිතට නිවන් අරමුණු කර ගත් බව ය.

වරක් දේවතාවකු “උපධීහි නරස්ස නන්‍දනා” යනුවෙන් උපධි සම්පත් නිසා මිනිසකු සතුටු වන බව පැවසූ විට උන්වහන්සේ දේශනා කළේ “උපධීහි නරස්ස සොචනා” ආදී වශයෙනි. ‘කාම උපධි’, ‘ඛන්‍ධ උපධි’, ‘කිලෙස උපධි’, ‘අභිසංඛාර උපධි’ යන චතුර්විධ උපධීන් නිසා මිනිසකු ශෝක වන බව උන්වහන්සේගේ අදහස වූයේය. එයින් ‘කාමොපධි’ යන්නෙන් අදහස් කළේ පඤ්චකාම වස්තු ය. ධනය ද එයට ම ඇතුළත් වන හෙයින් එය මිනිසාගේ ශෝකයට හේතු වන බව උන්වහන්සේගේ මතය වූයේය. ධනවත් මිනිසා සිය ධනය නිසා සතුටට වඩා කනගාටුවට පත්වන බව මින් පැවසේ.

බුද්ධාගම වූ කලි විවිධ දේශනා ක්‍රමවලින් සමන්විත වූ ගැඹුරු ධර්මයකි. එය දර්‍ශනය, ආගම හා සදාචාර ධර්ම යන ප්‍රධාන කොටස් තුනට වෙන් කළ හැකි ය. බුද්ධ ධර්මය දර්‍ශනයක් වශයෙන් ගත් කල ධනවාදයට එහි කිසිම තැනක් නැත. බෞද්ධ දර්‍ශනයෙහි පරමාර්ථය පඤ්චස්කන්‍ධය පිළිබඳ යථා තත්වය අවබෝධ කර ගැනීම හෙවත් ජීවිතයෙහි ඇති තතු වටහා ගැනීමයි. තුන්තරා බෝධිය කියන්නේ මෙයට යි. මේ සඳහා පස්කඳ හෙවත් ජීවිතය කොටස්වලට බෙදා එහි ඇති අනිත්‍යාදී ත්‍රිවිධ ලක්‍ෂණ ගැන නුවණින් මෙනෙහි කළ යුතු යි. විදසුන් නුවණ යැයි කියන්නේ මෙයට ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය ගැන කලකිරීමත්, චතුරාර්‍ය සත්‍යාවබෝධයත් සිදු වේ. අවබෝධයත් සමඟ ම සිතේ ඇති කෙලෙස් නැති වී යයි. එවිට සිත ලෞකික තත්‍වයෙන් ලෝකෝත්තර තත්වයට පත්වේ. කෙලෙස් පැහීමෙන් මඟපල සිත්වලට අරමුණු වන්නේ නිවන යි. මේ සඳහා පඤ්චස්කන්‍ධ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සලකා ඇති කර ගන්නා නිර්වේදය හෙවත් කළකිරීම අත්‍යවශ්‍ය යි. මෙසේ සියලු ම සංස්කාර ධර්ම නිසරු වශයෙන් උගන්වා ඇති දර්‍ශනයක ධනවාදයටත් තැනක් ලැබේ දැයි බුද්ධිමතකුට සිතා බැලිය හැකි ය.

“පුත්තාමත්‍ථි ධන මත්‍ථි - ඉතිබාලො විහඤ්ඤති
අත්තාපි අත්තනො නත්‍ථි - කුතො පුත්තා කුතො ධනං”

යනුවෙන් ධම්මපදයෙහි දැක්වෙන ගාථාව මේ සඳහා කදිම නිදසුනකි.

“මට පුත්‍රයෝ ඇත, මට ධනය ඇතැයි මෝඩයා නහින්නට හදයි. තමනුත් තමන්ට නැති කොට පුත්‍රයෙක් කොයින් ද? ධනය කොයින් ද?” යනු එහි සිංහල අදහස යි.

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චස්කන්‍ධය එක් වූ විට එහි ආත්මයක් ඇත, සත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇතැයි නුනුවණින් කල්පනා කිරීම මෝඩයාගේ සිරිත යි. පඤ්චස්කන්‍ධ සමායෝගය මිස එහි සත්ව පුද්ගලාදී කිසිවක් නැත යනු බුදුරදුන්ගේ ඉගැන්වීම යි. මම ය, මාගේ ය යන මමත්‍වයෙන් හා ආත්ම පුද්ගලාදී සංඥාවලින් යුක්ත තැනැත්තාට ය, “මගේ පුත්‍රයෝ, මගේ ධනය” යන හැඟීම් ඇති වන්නේ. “මම ය” කියා ගන්නට කිසිවක් නැති කල, “මගේ ය”යි කියා ගන්නට කිසි දෙයක් ඇද්ද? ධනවාදය ගැන බෞද්ධ දර්‍ශනය අනුව කියන්නට ඇත්තේ මෙය යි.

බුදු දහමෙහි කර්මය මෙන් ම, එහි ප්‍රධාන විපාකය වූ පුනර්‍භවය ද ඇති බව පිළිගෙන තිබේ. එහෙත් එය හින්‍දු ආගමෙහි සඳහන් වන කර්මයට හා පුනරුත්පත්තියට ඉඳුරාම වෙනස් ය. බුද්ධාගම අනුව පුනරුත්පත්තිය වන්නේ ආත්ම සංක්‍රමණයක් නොව හේතුවෙන් පහළවන ඵලධර්මයකි. එහි එක් හේතුවක් නම් කර්මය යි. අනෙක තෘෂ්ණාව ඇතුළු කෙලෙස් ය. කුසල කර්ම බලයෙන් සුගතියක, ධනයෙන් ආඩ්‍ය වූ උත්පත්තියක් ලැබිය හැකි බව පෙන්වා ඇත. එසේම කුසල කර්මයක ප්‍රවෘත්ති විපාක වශයෙන් දුප්පතකුට පොහොසතකු විය හැකි ය. මේවා පරලොව සඳහා ය.

කුසල කර්ම බලයෙන් තමා ම පරලොව ඉපිද සැප විඳීති’ යි සිතන්නාට බෞද්ධකමක් නැත.

නොදැනුවත්කම ආත්ම දෘෂ්ටිය සිතට ඇතුල්වන හෙයිනි. එහෙත් බෞද්ධ සාහිත්‍යයේ ජනප්‍රිය කතාවල මේ විශ්වාසය තදින් බලපා ඇති බව මට්ටකුණ්ඩලී ආදී කතාවලින් පැහැදිලි වේ. මේ අනුව සිතාගත හැක්කේ මෙරට මහජනයා අතර ජනප්‍රිය වී ඇත්තේ බුද්ධාගම දර්‍ශනයක් වශයෙන් නොව ආගමක් වශයෙන් බවයි.

කවුරු කෙසේ කීවත්, බුද්ධාගමේ උසස් ඉගැන්වීම් අනුව කර්මයත්, පුනර්‍භවයත් යන දෙක ම මාරබන්‍ධන ය. පුනර්‍භවය දුකකැයි ඉගැන්වූ බුදුරදුන් එයට හේතුවන තණ්හාවත්, කර්මයත් ඒ දෙක ම නිසා පහළ වන පුනර්‍භවයත් තෛ‍්‍රභූමික වෘත්තය වශයෙන් හැඳීන්වූහ. පුනර්‍භවය හොඳ නැත්නම්, එයට හේත ªවන කුසලාකුසල කර්ම හොඳ වන්නේ කෙසේ ද? අභිසංඛාර මාර වශයෙන් කර්මය හඳුන්වා ඇති බව ද මෙහි දී සිහි කටයුතු ය. බුද්ධාගමෙහි පරමාර්ථය අනුව චතුරාර්‍ය සත්‍යය අවබෝධ කොට තෘෂ්ණාව නැති කිරීමෙන් රහත් වූ උතුමාට පුනර්‍භවයට හේතුවන කර්ම සියල්ල ම අහෝසි වේ. අපට පහළ වන කුසල් සිත් වෙනුවට රහතුන්ට ක්‍රියා සිත් පහළ වෙතැයි අභිධර්මයෙහි කියා ඇත්තේ මේ නිසා ය. මේ නිසා කුසල කර්ම බලයෙන් ධනවත් ව ඉපදීමට යත්න දරන්නා දුබල මිනිසකු මිස බුද්ධිමත් බෞද්ධයෙක් නො වේ.

භික්‍ෂු විනයේ නීතිරීති අනුව, බෞද්ධ භික්‍ෂුවට මිලමුදල් හෝ ඉඩකඩම් හෝ හිමිකර ගැනීම තහනම් ය. අභිනිෂ්ක්‍රමණයෙන් කෙරෙන්නේ ගිහිගෙහි සිටිය දී අයිති ව තිබු සියලු කම්සැප අතහැරීම ය. පැවිදි වීමෙන් පසු නැවත එවැනි දේ අයිතිකර ගන්නේ කෙසේ ද? ඉඩකඩම් ආදී ගරු වස්තුවක් පුදතොත් එය පිදිය යුත්තේ පුද්ගලයකුට නොව සඟනට ය. නියම ශාසනික ක්‍රමය එය යි. එවැනි ගරු වස්තු බෙදිය නොහැකි ය. කිසිවකුට දෙන්නට ද නොහැකි ය. මුළු සඟ පරපුරට ම එය අයත් වේ.

ධනවත් වීමත්, ධනවාදී වීමත් දෙක අතර විශාල පරතරයක් ඇත. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, අත්‍ථද්වාර ජාතකය ආදී දේශනා දෙස බලන කල, ගිහියාට බුද්ධ ධර්මය අනුව ධනවත් වීමට බාධාවක් නැත. දැහැමින් සෙමෙන් ධනය සැපයීමේ උපක්‍රම ද එහි පෙන්වා ඇත. එහෙත් ඒ ධනය ආත්මාර්ථය සඳහා ම යෙදුවොත් එයම මිනිසාගේ පිරිහීමට හේතුවන බව පරාභව සූත්‍රයේ දැක්වේ.

ගුණසම්පන්න ගිහියා ‘දාන’, ‘ප්‍රියවචන’, ‘අත්‍ථචරියා’, ‘සමානාත්මතා’ යන සංග්‍රහ වස්තුවෙන් තම නෑයන්ටත්, තමා අවට සිටින අයටත් සංග්‍රහ කළ යුතු ය. එබඳු ගිහියාගේ ය, යස ඉසුරු දිනපතා වැඩෙන්නේ. තමා ධනවතකු වී තමා පමණක් ඒ ධනය භුක්ති වින්දොත් එබඳු ගිහියා බෞද්ධ සදාචාර ධර්ම අනුව පිරිහෙන්නෙකි.