Print this Article


ඇසූ පමණින් සැනසීම ගෙන දෙන බොජ්ඣංග ධර්ම

ඇසූ පමණින් සැනසීම ගෙන දෙන බොජ්ඣංග ධර්ම

මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සුත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී.

පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි ‘බොජ්ඣංග පරිත්ත’ වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි. එහි ගිලාන සුත්තං, දුතිය ගිලාන සුත්තං, තතිය ගිලාන සුත්තං ලෙස නම් කර ඇති එම සූත්‍ර තුන චතුභාණවාර පාලියට හෙවත් පිරිත් පොතට ගෙන ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.

සංයුක්ත නිකාය චතුභාණවාර පාලිය ගිලාන සුත්තං මහා කස්සපෙත්‍ථර බොජ්ඣංග පරිත්තං දුතිය ගිලාන සුත්තං මහා මොග්ගල්ලාන ෙත්‍ථර බොජ්ඣංග පරිත්තං තතිය ගිලාන සුත්තං මහා චුන්ද ෙත්‍ථර බොජ්ඣංග පරිත්තං

සංයුක්ත නිකායේ සූත්‍රය නම්කර ඇත්තේ එය දේශනා කිරීමට හේතු වූ සිද්ධිය මුල්කර ගෙන ය. පිරිත් පොතේ නම්කර ඇත්තේ පුද්ගලයා මුල් කරගෙන ය. කෙසේ වුව ද මෙම සූත්‍ර දේශනාවලින් කියැවෙන්නේ රෝගාතුර ව, ආබාධිත ව දුකට පත් ව දැඩි සේ ගිලන් ව සිටින අවස්ථා තුනක දී ම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැන ය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගනයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංග නාමික වශයෙන් තවකකු කියනු අසා සිටීමෙනි. එහි බොජ්ඣංග හත ප්‍රකාශ කරන්නේ

“.............සම්බොජ්ඣංගො ඛො (මොග්ගල්ලාන) මයා සම්මදක්ඛාතෝ භාවිතො බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.” යන වැකියෙනි.

මුලින් ඇති හිස්තැනට අනුපිළිවෙළින් සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි සහ උපේක්ඛා යන වචන යොදනු ලැබේ. ඒ වැකියෙහි යොදා ඇති සම්බොජ්ඣංග, සම්ම දක්ඛාත භාවිත, බහුලීකත, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය යන වචන ගැන අට්ඨ කථාවෙන් හා ගුරු ඇසුරින් දැනීමක් ඇතිකර ගැනීම අවශ්‍ය ය. එසේම බොජ්ඣංග, සම්මා සම්බොජ්ඣංග යන දෙවදන අර්ථ වශයෙන් වෙනස් වන අයුරු ද වටහා ගැනීම මැනවි. මහා කස්සප මහ රහතන් වහන්සේ රෝගාතුර වු දවසක බුදුරජාණන් වහන්සේ පිප්ඵලි ගුහාවට වැඩම කොට පැවැත්වූ දේශනාව (ගිලාන සුත්තං) මහා කස්සපෙත්‍ථර බොජ්ඣංග පරිත්ත නමිනුත්, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ රෝගාතුර වුු දවසක ගිජ්ඣකූට පර්වතයට වැඩමකොට පැවැත් වූ දේශනාව (දුතිය ගිලාන සුත්ත) මහා මොග්ගල්ලානෙත්‍ථර බොජ්ඣංග පරිත්ත නමිනුත් පිරිත් පොතේ දැක්වෙයි. එම සූත්‍ර දෙකෙහි ම වචන මාලාවේ වෙනසක් නැත. සුළු වෙනසකට ඇත්තේ ස්ථාන හා පුද්ගල නාම පමණි. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් මෙසේ අසති.

“කච්චි තෙ කස්සප ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වේදනා? පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්ක මෝසානං පඤ්ඤායති. නො අභික්කමෝති” “කාශ්‍යප , ඔබ වහන්සේට ඉවසන්නට පුළුවන්ද? යැපෙන්නට පුළුවන්ද? දුක් වේදනා, කැක්කුම් කොහොමද? අඩු ද? වැඩි නැද්ද? අඩු වන බවක් පෙනේද? වැඩි වන බවක් නො පෙනේද?“

මහා කසුප් මහ රහතන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දෙති.” න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්ක මෝසනාං පඤ්ඤායති, නෝ පටික්කමොති “භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට ඉවසන්නට නොහැකි යි. හතර ඉරියව්වලින් එක ඉරියව්වකවත් ශරීරය පවත්වා ගන්නට බැරි ය. මගේ දුක් වේදනා ඉතා බලවත් ය. ඒවා වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත. අඩුවක් වන බවක්වත් පෙනෙන්නේ නැත.“

ඒ තොරතුරු විමසීම මහා මොග්ගල්ලාන ෙත්‍ථර බොජ්ඣංග පරිත්තයේ දැක්වෙන්නේ ද ඒ ආකාරයෙන්ම යි. මේ නිදසුනක් පමණි. වෙනසකට ඇත්තේ නම් ගම්වල පමණි. සසඳා බලන්න.

එහෙත් මහා චුන්දෙත්‍ථර බොජ්ඣංග පරිත්තයේ ඊට වඩා වෙනස්කම් ඇත. බුදුරජාණන් වහන්සේ අසනීප ව රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැනගත් මහා චුන්ද තෙරුන් වහන්සේ එහි වැඩම කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ “පටිභන්තු තං චුන්ද බොජ්ඣංගා”(‘චුන්ද ඔබට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා’) යි වදාරති. “සත්තිමේ භන්තේ බොජ්ඣංගා භගවතා සම්ම දක්ඛාතා, භාවිතා බහුලීකතා අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තන්ති “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත බොජ්ඣංග ධර්ම මනාකොට වදාරන ලද්දේ ය. වඩන ලද්දේ ය. නැවත නැවතත් වඩන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. ඒවා මනා කොට දැනීම පිණිස, සම්මා සම්බෝධිය පිණිස, නිවන් පිණිස පවතින්නේ’යි පවසා, චුන්ද තෙරණුවන් බුදුරජාණන් වහන්සේට ඇසෙන සේ කියාපෑහ.

මහා කස්සප, මහා මොග්ගල්ලාන යන දෙනමත්, බුදුරජාණන් වහන්සේත් දැඩි සේ ගිලන් බවට පත් වූ අවස්ථා තුනක දී සත්ත බොජ්ඣංග ධර්මවලට සවන් දීමෙන් සුවපත් වූ බව “වුට්ඨාහි ච තම්හා ආබාධා තථා පහීනෝච...........සෝ ආබාධෝයි” ඒ ඒ සූත්‍ර අවසානයෙහි දැක්වෙයි.

ඉහත දැක්වූ බොජ්ඣංග සූත්‍රවලට අමතරව පිරුවානා පොත් වහන්සේගේ උප ග්‍රන්ථයෙහි ද බොජ්ඣංග පිරිතක් දැක්වෙයි. පාලි භාෂාවෙන් රචිත ගාථා එකොළොසකින් යුත් ඒ පිරිත පශ්චාත් කාලීනයකු විසින් අක්ෂර පිහිටුවා ප්‍රබන්ධ කරන ලද්දකැයි, සැලකෙතත් ඒ බොජ්ඣංග පිරිත අවසානයේ රෝග සුවය සඳහා රෝගීන්ට කියන පිරිතකැ’යි විශේෂයෙන් සටහන් කර ඇත. ඒ, බොජ්ඣංග පිරිත මෙසේය.

01. “සංසාරේ සංඝරත්තානං - සබ්බ දුක්ඛ විනාසතේ
සත්ත ධම්මේ ච බොජ්ඣංගේ - මාර සේනප්පමද්දිනෝ

02.බුජ්ක්‍ධිත්වා යේ පි මේ සත්තා - තිභවා මුත්තාහි උත්තමා
අජාතිං අජරංව්‍යාධීං - අමතං නිබ්භයං ගතා

03. ඒවමාදි ගුණෝපේතං - අනේක ගුණ සංගහං
ඕසධංව ඉමං මන්තං - බොජ්ඣංගාච තතෝ පරේ

04. බොජ්ඣංගෝ සති සංඛාතෝ
ධම්මානං විචයෝ තථා
විරියං පීති පස්සද්ධි
බොජ්ඣංගා ච තතෝ පරේ

05.සමාධිපෙක්ඛා බොජ්ඣංගා
සත්තේ තේ සම්ම දස්සිනා
මුනිනා සම්ම දක්ඛාතා
භාවිතා බහුලීකතා

06. සංවත්තන්ති අභිඤ්ඤාය
නිබ්බානාය ච බෝධියා
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි තේ හෝතු සබ්බදා

07. ඒකස්මිං සමසේ නාථෝ
මොග්ගල්ලානඤ්ච කස්සපං
ගිලානෝ දුක්ඛිතෝ දිස්වා
බොජ්ඣංගෝ සත්ත දේසයී

08.තේ ච තං අභිනන්දිත්වා
රෝගා මුච්චිංසු තං ඛණේ
ඒතේන සච්චවජ්ජේන
සොත්ථි තේ හෝතු සබ්බදා

09. ඒකදා ධම්ම රාජාපි
ගේළඤ්ඤෙනාභි පීළිතෝ
චුන්දෙත්‍ථරෙන තංයේව
භණා පෙත්වාන සාදරං

10.සම්මෝදිත්වා ච ආබාධා
තම්හා වුට්ඨාසි ඨානසෝ
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි තේ හෝතු සබ්බදා

11. පහීණා තේ ච ආබාධා
තිණ්ණන්නම්පි මහේසිනං
මග්ගාහත කිලේසාච
පත්තානුපත්ති ධම්මතං
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි තේ හෝතු සබ්බදා”

මෙම බොජ්ඣංග පිරිත එකසිය අට වරක් හෝ ඊට අඩු වැඩි වාර ගණනක් කියා පැරැණි තෙරවරු, වෙදවරු, වැඩිහිටියෝ රෝගීන්ට ආශීර්වාද කළහ. මෙසේ බුදුරජාණන් වහන්සේගේ පටන් සියල්ලන්ට ම රෝගාතුර වූ අවස්ථාවල දී ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක් ගෙන දුන් ‘බොජ්ඣංග‘ යන වචනයේ අර්ථය තේරුම් ගැනීම අප කාටත් ප්‍රයෝජනවත් ය.

මෙය විවිධ නයින් අටුවාටීකා ග්‍රන්ථවල විස්තර කර ඇත. මුලදී සරල ව තේරුම් ගැනීම වඩා පහසු ය. ඒ සඳහා සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ඇතුළත් භික්ෂු සූත්‍රයේ මේ සරල අනුවාදය කියවන්න.

“භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කොට පසෙක හිඳ මෙසේ ඇසුවේ ය.

”ස්වාමීනි, බෝධී අංග, බොජ්ඣංග කියා කියනු අසන්නට ලැබේ. ස්වාමීනි, කොපමණකින් මේ බෝධි අංග කියා කියනු ලැබෙද්ද?”

මහණ, අවබෝධය පිණිස පවතීයැ යි බෝධි අංග (බොජ්ඣංග) කියනු ලැබේ. මහණ, මෙහි විවේක නිස්සිත, විරාග, නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මේ සත් බෝධි අංග වඩන ඔහුගේ සිත කාමාසවයෙනුත් මිදෙයි. භවාසවයෙනුත් මිදෙයි. දිට්ඨාසවයෙනුත් මිදෙයි. අවිජ්ජාසවයෙනුත් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය කියා ඤාණය වෙයි. ජාතිය අවසන් විය...... “මේ වෙනුවෙන් තව අනෙකක් නැහැ කියා දැන ගනී. මහණ, අවබෝධය පිණිස පවතී යැයි බෝධි අංග කියා කියනු ලැබේ.” (සිංහල සංයුක්ත නිකාය 2.892 පි)

එක් එක් බොජ්ඣංගයන් අනුපිළිවෙළට හැදෑරීමෙන් ද, සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තය කියවීමෙන් ද සත්ත බොජ්ඣංගය පිළිබඳ දැනීමක් ලබා ගැනීමට මඟ පාදා ගත හැකි ය.

සප්ත බොජ්ඣංග ධර්ම පිළිබඳ සුවිශේෂී ලිපි මාලාව එළැඹෙන වෙසක් පුර පසළොස්වක පෝ දා (30) බුදුසරණ පුවත්පතේ පළ කෙරේ.