Print this Article


කඩතුරා හැර බලමු

කඩතුරා හැර බලමු

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

“උද්ධච්ච” නම් සිතේ ඇති නො සන්සුන්කම ය. මෙකල ව්‍යවහාරයෙහි “උද්ධච්ච” ශබ්දය අහංකාරකම සඳහා යෙදෙයි. එය වැරැදි ව්‍යවහාරයකි. තැන්පත් නොවූ සිත උද්ධච්ච සිත වශයෙන් බුද්ධ ධර්මයෙහි සඳහන් වෙයි.

වික්ෂිප්ත බව නිසා එක් අරමුණක සිත තබා ගත නොහැකි වීම පුහුදුන් ගතියකි. මේ වික්ෂිප්ත බව දුරු කර ගත හැක්කේ භාවනාවෙහි යෙදීමෙනි. භාවනාවෙන් එක් අරමුණක සිත තැබීම පුහුණු කරයි.

උද්ධච්චය සඳහා හේතු වන්නේ චිත්තයාගේ නොසන්සුන් බව යැයි පෙළෙහි දැක්වේ. සිත එක් අරමුණක තබා ගත නොහැකි වීම නිසා තමන් නොදැනුවත්ව ම නොයෙක් අරමුණු කරා දුවයි. එක් අරමුණක් ගැන සිතමින් සිටින අතර, තවත් අරමුණක් අපේ සිතෙහි ක්‍රියා කරන අවස්ථා අපට ම ඇතැම් විට තේරුම් ගන්නට හැකි ය. මේ දෙවදෑරුම් වැඩ කිරීම නිසා මෙකල ඇතැම්හු යටි හිත උඩ හිත යයි නම් දෙකක් සිතට ව්‍යවහාර කෙරෙති. අපට ඇත්තේ එක ම සිතකි. නමුත් මේ යටි හිත හා උඩු හිත යන ව්‍යවහාරය සම්මත වී ඇත්තේ ඉහත කී දෙවදෑරුම් වැඩ කිරීම මුල් කොට ගෙන මිස “හිත් දෙකක්” එක මිනිසකුට ඇති නිසා නොවේ.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව අප “සිත” යන සාධාරණ නම භාවිත කරන නමුත් දැනට අප තුළ ක්‍රියාත්මක වන්නේ සිත නොව විඤ්ඤාණය යි. විඤ්ඤාණ, මනෝ, චිත්ත වශයෙන් සිත පිළිබඳ අවස්ථා තුනකි. චිත්තය, විඤ්ඤාණ හා මනෝ යන අවස්ථා දෙකට ම යටින් පිහිටා ඇති ශක්තියකි. එම චිත්ත ශක්තිය තුළ සබ්බචිත්ත සාධාරණ චෛතසික වශයෙන් අභිධර්මයෙහි සඳහන් ගති නිසා එය මනෝ තත්වයට පත් වේ. ඒ මනස පඤ්ච නීවරණ හා ඒ නීවරණ හා සම්බන්ධ අනුශය ධර්ම වටකොට ගැනීම නිසා විඤ්ඤාණය පහළ වේ.

පිබිදී සිටින පුද්ගලයෙක් තුළ හැම මොහොතක ම පවතින්නේ විඤ්ඤාණය යි. නමුත් ඒ විඤ්ඤාණය එක් අරමුණකින් වෙනත් අරමුණකට මාරු වන විට මනෝ තත්වයට වැටෙයි. එසේ වැටීමෙන් පසු ඒ දෙවන අරමුණ අසුරු කොට නැවත විඤ්ඤාණ තත්වයට පත්වෙයි. අපේ අභිධර්මයෙහි එක් අරමුණකින් තවත් අරමුණකට සිත මාරුවීමේ දී “භවංගයට” වැටේ යැයි සඳහන් කර ඇත්තේ මේ මනෝ තත්වයට වැටීම ය යනු මගේ පිළිගැනීම ය. ඉන්ද්‍රිය හා ඒ ඉන්ද්‍රියයන්ට අරමුණු වන ආලම්බන එකට ගැටීමෙන් විඤ්ඤාණයක් පහළ කරන්නේ මනස මිස භවංගය නොවේ යැයි මම අදහස් කරමි.’ “මනො ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං” (මනස හා අරමුණු එකට ගැටීම නිසා මනෝ විඤ්ඤාණය පහළ වේ) යන දේශනා පාඨය අනුව මා මේ අදහස දරමි.

යෝගාවචරයා තමාගේ විඤ්ඤාණය බාහිර අරමුණුවලින් ඉවත් කර ධ්‍යානාරම්මණය මත එය තබා, අනුක්‍රමයෙන් චතුර්ථ ධ්‍යානය ලැබූ විට, ඒ ධ්‍යානයට සමවැදී සිටින මුළු කාලයේ ඔහු තුළ විඤ්ඤාණය පහළ නො වේ. ඔහු දැන් සිටින්නේ මනස් තත්වය සහිතව ය යනු මගේ අදහස ය. චතුර්ථ ධ්‍යානයට “ආනෙඤ්ජ’ යන නම භාවිත වන්නේ ‘අකම්ප්‍ය’ යන අදහස උඩ ය. ඔහුගේ මනස දැන් විඤ්ඤාණත්වයට පත් නො වන ස්ථිර තත්වයකින් පවතී.

මේ තත්වය පැහැදිලි වනු පිණිස සර්වඥයන් වහන්සේ විසින් පුක්කුස නම් කුලපුත්‍රයෙක් සමඟ කළ සාකච්ඡාවක් මෙහි පහත දක්වමු.

‘පුක්කුසය, මම එක් කලක ආතුමා නම් ගමෙහි දහවියා ගෙයක වාසය කරමි. එකල මහ වැසි වසිද්දී, ජලය ගලා යන කල්හි, විදුලි කොටන කල්හි, සෙණ පුපුරන කල්හි, දහවියා ගෙට නුදුරෙහි සහෝදරයන් වූ ගොවියන් දෙදෙනෙක් ද, ගොනුන් සතර දෙනෙක් ද, (සෙණ වැදී) මළාහු ය. පුක්කුසය, ඉක්බිති ආතුමාවෙහි මහජනකාය අවුත් ඒ මළා වූ සොහොයුරු ගොවියන් හා හරකුන් සිටි තැන රැස් විය. පුක්කුසය, මම එකල්හි දහවියා ගෙයින් නික්ම ඒ ගෙය දොරකඩ ඉඩ ඇති තැනක සක්මන් කරමි. පුක්කුසය, එකල්හි එක්තරා පුරුෂයෙක් ඒ මහා ජනකායයෙන් මා සිටි තැනට පැමිණ මා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටියා වූ ඒ පුරුෂයාට මම මෙසේ කීමි.

පින්වත, කුමක් නිසා මේ මහජනකාය රැස්වීද?

ස්වාමීනි, දැන් මහ වැසි වසිද්දී, ජලය ගලා යන කල්හි, විදුලි කොටන කල්හි, සෙණ පුපුරන කල්හි, සහෝදරයන් වූ ගොවියන් දෙදෙනෙක් ද, ගොනුන් සතර දෙනෙක් ද නැසුණාහු ය. මේ මහජනකාය එහි රැස් වූහ. ස්වාමීනි, ඔබ වහන්සේ කොහි වී ද?

පින්වත, මම මෙහි ම වීමි.

ස්වාමීනි, කිම දුටු සේක්ද?

පින්වත, මම නුදුටුවෙමි.

ස්වාමීනි, කිම ශබ්දය ඇසූ සේක් ද? පින්වත, මම ශබ්දය නො ඇසුවෙමි.

ස්වාමීනි, කිම නිදාගත් සේක් ද?

පින්වත මම නිදා නොගත්තෙමි.

කිම ස්වාමීනි, සිහි ඇති ව සිටි සේක් ද? පින්වත, එසේය,”

මේ අවස්ථාවෙහි සර්වඥයන් වහන්සේ චතුර්ථ ධ්‍යාන සමාපත්තියෙන් වැඩ සිටි බව පෙනේ. ඒ සමවතට “ආනෙඤ්ජ” යන නම දී ඇත්තේ මේ අකම්ප්‍ය ස්වභාවය හේතු කොට ගෙන ය.

දුක, දුක ඇති වීමේ ක්‍රමය, දුක නැති කිරීමේ ක්‍රමය, දුක නැති කර ගන්නා මාර්ග යන සත්‍ය සතර නොදත්කම “අවිද්‍යා” නාමයෙන් හැඳින් වේ. සාමාන්‍යයෙන් අවිද්‍යා යන්නෙහි අදහස “නො දැනීම” යනුයි. අවිද්‍යාව සෑම සංයෝජන ධර්මයක් සමඟ සම්බන්ධ වූවකි. ‘ආසව සමුදයා අවිජ්ජා සමුදයො’ යන්නෙන් ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වන බව ධර්මයෙහි සඳහන් වෙයි. පටිච්චසමුප්පාදයෙහි මුලින්ම දක්වා ඇති හේතු ධර්මය අවිද්‍යාව ය. නමුත් අවිද්‍යාව භව තණ්හාව සමඟ මිස තනිව ක්‍රියා නො කරයි.

නොදැනීම නිසා සත්වයා ලෞකික ධර්ම කෙරෙහි ආසා කරයි. සසර දුකක් ලෙස සලකන්නට පුහුණු වීමෙන් අවිද්‍යාව විද්‍යාව බවට පරිවර්තනය කළ හැකි ය. එසේ සසර දුකක් ලෙස සැලකීමෙන් හෙතෙම ලෞකික වස්තු කෙරෙහි ඇල්ම නොකරයි.

අවිද්‍යාව ප්‍රඥාව මුවා කරන කඩතුරාවක් ලෙස දක්වයි. ලෝකයෙහි පවතින වස්තු යථා තත්වය නොදක්වා එහි අයථා තත්වය දක්වන හෙයින් මේ උපමාව අවිද්‍යාව සඳහා යොදනු ලැබේ.

මේ සම්‍යක් දර්ශනය මිනිසා තුළ පහළ කිරීම ඉතා ම අපහසු ක්‍රියාවකි. අපේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වන සෑම අරමුණක් ම මිහිරක් ලෙස අපට හැඟවීමට අවශ්‍ය අංගවලින් සම්පූර්ණ වී තිබේ. අප තුළ පහළ වන සුඛ වේදනාව ඒ මිහිරි හැඟීම තහවුරු කරයි. වේදනාව නොදැනේ නම් මේ මිහිරි හැඟීම සිඳ දැමීම අපහසු නො වේ. ඒ වේදනාව නිසා ‘මම යන ආත්ම දෘෂ්ටිය සත්වයා තුළ මුල් බැස ගනී. මෙසේ බාහිර කරුණු නිසා දැඩි වූ වැරැදි හැඟීමකින් වෙළී ගිය සත්වයා සසරින් මුදා ගැනීම පිණිස පළමු කොට ඔහු තුළ පවතින ඒ වැරැදි හැඟීම නැති කර දැමිය යුතු ය. මේ අවිද්‍යාව දුරු කිරීම ආරම්භ වන්නේ සෝවාන් මඟිනි. සහමුලින් දුරු වන්නේ රහත් මඟිනි.