එන්න ධර්මය දකින්න
රේරුකානේ චන්දවිමල මහනාහිමි
ඒහිපස්සිකො යන්නෙහි තේරුම එන්න, මේ ධර්මය අසන්න, ඒ අනුව ක්‍රියා කර බලන්න යැයි
අන්‍යයන්ට කීමට, අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට බලකිරීමට වුව ද මේ ධර්මය සුදුසු ය
යනු යි.
තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතර ඵල නිර්වාණසංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය
උන්වහන්සේ විසින් දේශනය කළේ පළමු කොට තමන් වහන්සේගේ සන්තානයෙහි ඒ ධර්මයන් උපදවාගෙන
හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ය. ඒ ධර්මයන් උපදවා ගත්, ප්‍රත්‍යක්ෂ කර ගත් බොහෝ
බුද්ධ ශ්‍රාවකයෝ ද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්මය ගැන සැක කළ යුත්තක් නැත.
මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්මයන් ලබා ගන්න යැයි සෙස්සන්ට කීමට බියවිය
යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්ත ය.
යමක් ඇසීමෙන්, දැකීමෙන්, කිරීමෙන් ප්‍රයෝජනයක් නැත්නම්, නපුරක් හෝ වේ නම් ඒ දෙස
ඇසීමෙහි, දැකීමෙහි, කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසු ය. යම් ධර්මයක් ඇසීමෙන්,
කල්පනා කිරීමෙන් එයට අනුව ක්‍රියා කිරීමෙන් වන ප්‍රයෝජනයක් නැත්නම්, නපුරක් විය
හැකි නම් ඒ ධර්මය ඇසීමෙහි, ඒ ධර්මය අනුව පිළිපැදීමෙහි අන්‍යයන් යෙදවීම නුසුදුසු ය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමකු පහන් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ.
ඇතැම්හු ඒ පිනෙන් ම මරණින් මතු දෙව්ලොව උපදිති. ඉතා ම පහත් දෙව්ලොව වූ
චාතුර්මහාරාජිකයෙහි දෙවියන්ට අවුරුදු අනූ ලක්ෂයක් ආයු ඇත්තේ ය. ඔවුන්ට ආහාරපාන
වස්ත්‍රාදී සියල්ල පින් බලයෙන් නිරායාසයෙන් ම ලැබේ. ඒවා ලැබීම සඳහා මිනිස් ලොව මෙන්
වැඩ කළ යුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත. අසවල් දෙය විනාශ වුණා ය. අසවල් අලාභය
විය කියා තැවීමක් ඔවුන්ට නැත. ලෙඩ සෑදී දුක් විඳීමක්, ලෙඩට ප්‍රතිකාර ගැනීමට
වෙහෙසීමක් ඔවුන්ට නැත. මිනිසුන්ගේ ශරීර මෙන් පරණ ව ඔවුන්ගේ ශරීර දිරා යාමක් නැත.
ආයු කෙළවර වීමෙන් ඔවුන් මියගිය පසු මළසිරුරක් ද ඉතිරි නොවේ. එබැවින් මළසිරුර
එසවීමක් ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩිදුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර,
අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි ය.
ධ්‍යාන සුඛය දෙව්ලොව, මිනිස් ලොව ඇති කාමසුඛයන්ට දහස් ගුණයෙන් උසස් ය. ප්‍රණීත භෝජන
වළඳන රජකුට චණ්ඩාල භෝජනය පිළිකුල් වන්නාක් මෙන් අතිප්‍රණීත ධ්‍යාන සුඛය ලබා ඇති අයට
කාමසුඛය පිළිකුල් දෙයකි. ධ්‍යාන සම්ප්‍රයුක්ත පී‍්‍රතිය ද එසේ ම අතිප්‍රණීත ය.
ධ්‍යානලාභීන්ට මෙලොව අතිප්‍රණීත සුඛයෙන් හා පී‍්‍රතියෙන් කල්යවා මරණින් මතු බ්‍රහ්ම
ලෝකයෙහි ඉපදිය හැකි ය. ඔවුන්ට එහි ධ්‍යාන සුඛයෙන් කල්ප ගණනක් ජීවත් විය හැකි ය.
තවදුරටත් ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර
මාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙළවර කර ගත හැකි ය.
නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර සුඛය වූ පරණ වීමෙන් නරක් නො වන, කිසි කලෙක නැති නො වන
සුඛය ලැබිය හැකි ය. බුදුරදුන්ගේ ධර්මය ඇසීමෙහි, දැරීමෙහි, එය අනුව පිළිපැදීමෙහි
මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් රජකුට වුව ද රජසම්පත් හැර මේ ධර්මය ඇසීම, මේ ධර්මය
අනුව පිළිපැදීම සුදුසු ය. සක්විති රජකුට වුව ද සුදුසු ය.
එක් කලෙක අචේල කාශ්‍යප නම් නිරුවත් තවුසෙක් මච්ඡිකාසණ්ඩ නම් ගමට පැමිණියේ ය. ඒ
තවුසා එගම වෙසෙන ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයකු වන චිත්‍ර ගෘහපතිගේ පැරැණි මිත්‍රයෙකි.
කාශ්‍යප මච්ඡිකාසණ්ඩයට පැමිණි බව ඇසූ චිත්‍ර ගෘහපති ඔහු දක්නට ගොස් පිළිසඳර කතා කොට
එකත්පසෙක හිඳ
“ස්වාමීනි, ඔබ පැවිදි ව දැනට කොතෙක් කල් ගත වී ඇති දැයි විචාළේ ය.
“ගෘහපතිය, මා පැවිදි ව දැනට තිස්වසක් වන්නේ යැයි කාශ්‍යප කීවේය.
ස්වාමීනි, තිස් වසක් මහණදම් පුරා ඔබ වහන්සේ විසින් කිනම් උසස් දෙයක්, කිනම් සැප
විහරණයක් ලබා ඇත්තේ දැ යි චිත්‍ර ගෘහපති ඇසී ය.
“ගෘහපතිය මුඩුබවත්, නිරුවත් බවත්, දූලි පිස්නා මොනරපිල් මිටියත් හැර මා විසින් ලබා
ඇති උසස් දෙයක් නැතැයි කාශ්‍යප කීවේ ය. එකල්හි චිත්‍ර ගෘහපති
“ඔබගේ ධර්මයේ ස්වාඛ්‍යාතභාවය, ආශ්චර්යවත් ය. ඒ ධර්මයෙහි තිස් වසක් පිළිවෙත් පුරා ද
මුඩුබවත්, නිරුවත් බවත්, මොනරපිල් මිටියත් හැර අන් උසස් දෙයක් නො ලැබිය හැකි වී
යැයි කීවේය.
“ගෘහපතිය, ඔබ උපාසකත්වයට පැමිණ කොතෙක් කල්ගත වී ඇතිදැයි කාශ්‍යප ඇසීය.
“ස්වාමීනි, මා උපාසකත්වයට පැමිණ ද තිස් වසක් වේ යැයි චිත්‍ර ගෘහපති කීවේ ය.
“ගෘහපතිය, උපාසකත්වයට පැමිණ සිටි තිස් වසර තුළ ඔබ එයින් ලබා ගත් යම් කිසි උසස්
දෙයක්, සැප විහරණයක් ඇත්තේ දැයි කාශ්‍යප කීවේ ය.
එකල්හි චිත්‍ර ගෘහපති, “මම කාමයන් කෙරෙන් වෙන්ව, අකුසල ධර්මයන් කෙරෙන් වෙන්ව,
විතර්ක සහිත වූ, විචාර සහිත වූ, නීවරණ විගමන සංඛ්‍යාත විවේකයෙන් හටගත්තා වූ
පී‍්‍රතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි. ද්විතීය ධ්‍යානයට,
තෘතීය ධ්‍යානයට, චතුර්ත ධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි. ඉදින් මම භාග්‍යවතුන්
වහන්සේට කලින් කාලක්‍රියා කළෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින්
යුක්ත වූයේ මේ ලෝකයට ඉපදීම් වශයෙන් නැවත පැමිණෙන්නේ ද ඒ සංයෝජන චිත්‍ර ගෘහපතිට
නැත්තේ යැයි ප්‍රකාශ කළොත් එය ආශ්චර්යක් නොවේ යැයි කීවේය.
එකල්හි අච්ල කාශ්‍යප කියනුයේ “ධර්මයේ ස්වාක් ඛාතභාවය ආශ්චර්ය සුදුවත් හඳනා ගිහියකු
ව සිට මේ චිත්‍ර ගෘහපති ආර්යභාවයට පැමිණ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් ලබා ඇත්තේ ය. සැප
විහරණයක් ලබා ඇත්තේ ය. ගෘහපතිය, ‘මට ද මේ ධර්මයෙහි පැවිද්ද හා උපසම්පදාව ලබාදෙනු
මැනවැයි කීවේ ය. (චිත්ත සංයුත්ත)
අචේල කාශ්‍යප මෙන් ම බුදුරදුන්ගේ ධර්මය අසා ඔවුන් පිළිගෙන සිටි දහම් හැර පැවිදි වූ
අන්‍ය තීර්ථකයෝ බොහෝ දෙනෙකි. නෛය¸ාණික වූ මේ ධර්මය කිනම් උපායකින් වුව ද අන්‍යයන්
ලවා ඇස්සීමට සුදුසු බැවින් අනේපිඬු මහසිටාණෝ ඔවුන්ගේ පුත්‍ර කාල නමැත්තා දහම් අසා
මතක තබාගෙන ආවොත් දහසක් කහවණු දෙන්නට පොරොන්දු වී දහම් ඇසීමට බුදුරදුන් වෙත යැවීම
උදාහරණයක් ලෙස ගත හැකි ය. |