මනරම් කඳුමුදුනක සුපසන් පුදබිම කොරතොට
රාජමහා විහාරය
ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී පවතින රාජමහා විහාරවලට සාපේක්ෂව කොළඹ
දිස්ත්‍රික්කයේ පිහිටා ඇත්තේ රාජමහා විහාර අතළොස්සකි. ඒ අතරින් කොළඹ, කඩුවෙල කොරතොට
රාජමහා විහාරයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ඉපැරණි සෙල්ලිපි සහිත කටාරම් කෙටූ මහා
ගල් ලෙන් කිහිපයක් ම පිහිටි කොරතොට රාජමහා විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 2ත් 3ත්
සියවස් දක්වා දිව යයි.
මෙහි පවතින ලෙන් ලිපි ක්‍රිස්තු පූර්ව 2 හෝ 3 සියවස්වලට අයත් බවට කාල නිර්ණය කර
ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා ය. මෙම ලෙන් ලිපි කරවූ
රජවරුන් පිළිබඳ මතවාද කිහිපයක් පවතී. විහාර කන්ද ලිපිය නමින් හැඳීන්වෙන එක්
සෙල්ලිපියක මහ රජුගේ දියණිය වූ මහබ් විසින් පිදූ ලෙනක් ලෙස සටහන් කර තිබේ. එහි
සඳහන් ව ඇත්තේ මහ රජතුමන්ගේ දියණියක වූ මහබ් විසින් මෙම ලෙන සතරදිගින් පැමිණි
නොපැමිණි මහා සංඝයාට පූජා කර ඇත යනුවෙනි. මෙහි පවතින මනාපදස්සන ලෙන් ලිපියෙහි දශනෙ
නම් පරුමක සුමන ප්‍රධානියාගේ පුත් වූ පරුමක සුමනගේ ලෙන සතර දිගින් පැමිණි නොපැමිණි
මහා සංඝයාට පුදන ලද බව සටහන් කර ඇත. තවත් විද්වතුන් පිරිසකගේ මතයක් වන්නේ මෙහි
සඳහන් සුමන යනු වේළුසුමන යෝධයා බවයි. අතීතයේ කැලණිය පාලනය කළ කැලණිතිස්ස රජුගේ
දියණිය වූ විහාරමහාදේවිය, වේළුසුමන යෝධයා සමඟ කොරතොට විහාර කන්දේ ලෙන් පූජාවකට
සහභාගී වූ බව ජනප්‍රවාද කතාවක දැක්වෙයි. ඒ අනුව එම ලෙන් ලිපිය කැලණිතිස්ස රාජ්‍ය
සමයට අයත් බවට ද මතයක් පවතී. කෙසේ නමුත් මෙම ලිපි සියල්ල බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා
තිබේ.
අතීත අනුරාධපුර යුගයේ දී වළගම්බා රජු සහ මහාතිස්ස රාජ්‍ය සමයන්හි මෙම විහාරය
ආශ්‍රිත ප්‍රදේශයට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබී ඇත. විහාර කන්ද සෙල්ලිපියේ දැක්වෙන
රජු වළගම්බා රජු බවත්, එහි මහබ් යනු රජුගේ වැඩිමහල් දියණිය බවත් මතයක් පවතී. තවත්
ජනප්‍රවාද කතාවකට අනුව මෙහි දැක්වෙන රජු මීට වසර දෙදහස් දෙසීයකට පමණ පෙර මෙම
ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය රජ කෙනෙක් බවට ද විශ්වාස කෙරේ. මෙය කොළඹ
දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පැරණිතම මෙන්ම දීර්ඝතම ලෙන් ලිපිය ලෙස ද තහවුරු කර ඇත.
මෙම ශිලා ලිපිවල වැඩිදුරටත් ලක්දිව ආර්ය ජනාවාස බිහිවීම සහ ලක්දිව බුදුහම ව්‍යාප්ත
ආකාරය ගැන සැකෙවින් කරුණු දක්වා තිබේ.
ලක්දිව පෘතුගීසීන්ගේ පාලනයට යටත් ව පැවැති සමයේ කොරතොට රාජමහා විහාරය ආශ්‍රිත
ප්‍රදේශය මෙරට සේනාවන් යුද පුහුණු කරවූ ස්ථානයක් ලෙස භාවිත කර තිබේ. එපමණක් නොව
විහාරයට යාබද ව පිහිටි දේවාල කන්ද නම් උස් කඳුගැටය සීතාවක රාජධානිය පාලනය කළ සීතාවක
රාජසිංහ රජු විසින් ඔත්තු බැලීමට ද භාවිත කර තිබේ. ඒ අනුව පෘතුගීසීන්ට එරෙහිව
මුල්ලේරියාව සටන ආරම්භ කිරීමේ දී මෙම විහාරය ආශ්‍රිත ප්‍රදේශය යුද කටයුතු පුහුණු
කිරීමේ කඳවුරක් ලෙස භාවිත කර ඇත.
විහාර අස්න නම් ඉපැරණි ග්‍රන්ථයෙහි කොරතොට රාජමහා විහාරය කෙහෙල්බටුවාව ලෙස හඳුන්වා
තිබේ. ඉපැරණි සෙල්ලිපි සහිත ලෙන්වලට අමතරව අද වන විට කොරතොට රාජමහා විහාරය
කඳුමුදුනේ නිමවා ඇති අඩි 72ක් උසැති අලංකාර සුවිසල් හිඳී බුදු පිළිමයක්, විෂ්ණු දේව
ප්‍රතිමාවක්, සැරියුත් මුගලන් අගසව් ප්‍රතිමා, ධාතු මන්දිරයක්, චෛත්‍ය, ඉපැරණි බෝධි
වෘක්ෂය, ඝන්ටාර කුලුන, රහතුන් වහන්සේලාගේ ප්‍රතිමා, සම්බුදු සිරි පතුලක අනුරුවක්,
සම්බුද්ධ චරිතයේ සුවිශේෂ සිදුවීම්, විවිධ දෙවිවරුන්ගේ සිතුවම් සහ ත්‍රිපිටක
ග්‍රන්ථාරූඪකරණය ඇතුළු තේමා සහිත සිතුවම් රැසක් මෙහි දී දැක ගත හැකි ය.
මෙහි කන්ද මුදුනේ පිහිටි සුවිසල් හිඳී බුදු පිළිම ගෘහයට නැඟී අවට පරිසරය නරඹද්දී
කොළඹ වරාය ඇතුළු කොළඹ නගරයත්, තවත් පසෙකින් හංවැල්ල ප්‍රදේශයෙන් ගලා බසින කැලණි
නදියත් පැහැදිලිව ම දැක ගත හැකි ය. බුද්ධ ප්‍රතිමා සහිත උස් කන්දට පිවිසෙන මඟ දෙපස
රහතුන් වහන්සේලාගේ ප්‍රතිමා දැක ගත හැකි ය.
මෙහි එක් ගල් ලෙනක දහ අට රියන් දිගැති සුවිසල් සැතපෙත බුදු පිළිමයක් නිර්මාණය කර
ඇත. එසේම මෙහි තවත් හිඳී බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු
ප්‍රතිමා රැසක් දැක ගත හැකි ය. එම ගල් ලෙනේ සිට කඩුවෙල රන්කඩු දේවාලය සහ කැලණි ගඟ
හරහා කඩුවක්කුලමට බිම් ගෙයක් සීතාවක රාජසිංහ රජු විසින් ඉදි කළ බවත් ජනප්‍රවාදවල
සඳහන් වෙයි.
කොරතොට විහාරයේ ආරම්භක යුගයේ සිට මහනුවර යුගය දක්වා විහාරයේ ප්‍රධානත්වය
ඉසිලූ විහාරාධිපතිවරුන් ගැන නිශ්චිත සඳහනක් නොමැත. එහෙත් මහනුවර යුගයේ වැලිවිට අසරණ
සරණ සරණංකර නාහිමි යටතේ සිදු වු බෞද්ධ පුනරුදයෙන් පසු යුගයෙන් අනතුරුව කොරතොට
රාජමහා විහාරය විහාරාධිපති හිමිවරුන් අට දෙනෙක් යටතේ පාලනය වී ඇත. ඒ අනුව ගිනිගත්
පිටියේ හිමි, මහගොඩ ඤාණිස්සර හිමි, මාකොළ රේවත හිමි, කොරතොට සෝභිත හිමි, බියන්විල
සෝමානන්ද හිමි, පනාගොඩ සෝමරතන හිමි, හබරකට සෝභිත හිමි කොරතොට රාජමහා විහාරයේ
විහාරාධිපති ධුරය දරා තිබේ. වර්තමානයේ කොරතොට විහාරාධිපති ධුරය හොබවන්නේ හබරකඩ
සුමනසාර ස්වාමීන් වහන්සේ ය.
කොරතොට රාජමහා විහාරයේ පවතින ග්‍රාම සංවර්ධන දහම් පාසල 1949 වසරේ ආරම්භ කර ඇත්තේ
එවක විහාරයේ විහාරාධිපති ව වැඩ සිටි පනාගොඩ සෝමරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ය.
එය ආරම්භ කර පවත්වා ගෙන යෑමට කොරතොට ග්‍රාම සංවර්ධන සමිතිය විසල් සහයෝගයක් දක්වා
තිබේ. මේ වන විට එහි ආචාර්ය මණ්ඩලය 70කගේ ගුරුහරුකම් යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙදහසකට
වැඩි සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. වර්තමානයේ මෙහි විදුහල්පති ධුරය හොබවනු ලබන්නේ කොරතොට
විහාරයේ පොඩි හාමුදුරුවන් වන හබරකඩ සුමනසාර හිමියන්ය.
විස්තර සහ ඡායාරූප
-
පසිඳු මිහිරාන් රැටියල |