Print this Article


බලංගොඩ මහින්ද නාහිමිපාණෝ ප්‍රධාන සංඝනායක  පදවි ලබති

බලංගොඩ මහින්ද නාහිමිපාණෝ ප්‍රධාන සංඝනායක  පදවි ලබති

උහන කහටගස්යාය ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරාධිපති, නාමල්තලාව අම්/ධර්මාශෝක ධර්මායතනයේ පරිවේනාධිපති, ඓතිහාසික පබ්බතගිරි චේතිය නෑල්ල, මඩාන, බුලත්වත්ත යන විහාරයන්හි භාරකාර විහාරාධිපති සහ උහන සමථමූල මණ්ඩලයේ සභාපති ධුරන්දර බලංගොඩ මහින්ද මාහිමිපාණන් වහන්සේ වෙත “අම්පාර - මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සංඝ කීර්ති ශ්‍රී විමලජෝති අභිධාන ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය නා හිමියෝ යන පදවි, තානාන්තර සියම් මහා නිකායික මහා නායක හිමිවරුන්ගේ ද එකඟත්වයෙන් සියම් නිකායික සංඝ සභාවෙන් ප්‍රදානය කර ඇත.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය මේ මස 04 වැනි දින තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ අතින් මල්වතු මහා විහාරයීය සීමාමාලකයේ දී පිළිගැන්වීමට නියමිත ය.

මේ පිළිබඳ පිළිගැනීමේ උත්සවය මේ මස 08 වැනි දින සවස 2.00ට උහන කහටගස්යාය ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරෙන අතර, ඒ නිමිත්තෙන් උහන උදයගිරි රාජමහා විහාරස්ථානයේ සිට කහටගස්යාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය දක්වා රථ පෙරහරකින් උන්වහන්සේ වැඩම වීමට නියමිත ය.

බී.වී. මාදිරිස් අප්පුහාමි මහතාට සහ පී.එම්. හීන් මැණිකා මාතාවට දාව දෙවැනි දරුවා ලෙසින් 1977 ජනවාරි මස 02 වැනි දින මෙලොව එළිය දුටු බී.වී. ගාමිණී රෝහණ නම් කුල කුමරුවා නිසි වයසට එළැඹීමෙන් පසුව අම්/ රජගලතැන්න මහා විද්‍යාලයට ඇතුළුව එහි 7 වසර දක්වා ඉගෙනුම ලැබීය.

පසුව වයස අවුරුදු 13දී එනම් 1991 මැයි මස 16 වැනි දින බලංගොඩ මහින්ද නමින් උහන උදයගිරි රාජමහා විහාරයේ දී පැවිදි දිවියට පත් විය.

උදයගිරි විහාරයේ දී මහණදම් පුරමින් ඉතාමත් සුපේක්ෂාශීලීව ගුරු හිමියන්ට අවනතව කටයුතු කළ උන්වහන්සේ 1992 ජනවාරි මාසයේ දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ විද්‍යෝදය පිරිවෙනට ගුරුහිමියන් සහ මවුපියන් විසින් භාර කරනු ලැබූහ.

1997දී උපසම්පදාව ලබා නිවෙසට පැමිණි දිනයේ දී ම ග්‍රාමාරක්ෂක සේවයේ යෙදී සිටි තම ආදරණීය පියාණන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදි. එය පුංචි හාමුදුරුවන්ට දැඩි සංවේගයක් ඇති කළේය. පියාගේ හත් දවසේ දානය දිනයේ දී කොටි ත්‍රස්තවාදීන් උන්වහන්සේට ද වෙඩි තබා ඇතත් මරණයෙන් ගැලවෙන්නට පින්වන්ත විය. අවස්ථා තුනක දී ම උන්වහන්සේ ඝාතනය කිරීමට කොටි ත්‍රස්තවාදීන් උත්සාහ කර ඇතත් එයින් ද බේරීමට උන්වහන්සේට හැකියාව ලැබුණි.

මේ සියලු බාධා හමුවේ වුව ද බලංගොඩ මහින්ද හිමියෝ අධ්‍යාපන කටයුතු හා ශාසනික කටයුතු කරගෙන ගියහ. අවසානයේ ජීවිතය ජය ගැනීමට උන්වහන්සේ සමත් වූහ.

අධ්‍යාපන කටයුතුවලින් පසු උන්වහන්සේ නැවත උදයගිරි රාජමහා විහාරස්ථානයට වැඩම කොට ශාසනික මෙහෙවරේ යෙදෙන අතරතුර 1997දී දිනක් උහන කහටගස්යාය ගම්මානයේ ගැමියන් පැමිණ ත්‍රස්ත කලබල නිසා අත්හැර දමා ඇති තම ගමේ පන්සල භාර ගන්නා ලෙස ඇරයුම් කළහ. එම ඇරයුම පිළිගෙන නගරයෙන් කිලෝ මීටර් 22ක් පමණ දුර එදා කැලෑබද හුදෙකලා ගම්මානයක් වූ කහටගස්යාය විහාරස්ථානයට වැඩම කළහ. කටුමැටි ගසා ඉදි කර තිබූ කාමරය උන් වහන්සේගේ ආවාස ගෙය විය. එතැන් සිට නොසැලෙන අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ ටික කලකින් කහටගස්යාය ශ්‍රී පුෂ්පාරාම විහාරය දර්ශනීය පින්බිමක් ලෙස ගොඩනැඟීය.

ධර්ම ශාලා, දාන ශාලා, ආවාස ගෙවල්, ධාතු මන්දිර, බුද්ධ මන්දිර ආදියෙන් පරිපූර්ණ කිරීමට උන්වහන්සේට හැකි විය. ඒ වගේම ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවා රෝපණය කර ඇත. මේ සියලු සංවර්ධන කටයුතු සඳහා ගැමියන්ගෙන් මුදල් නොගැනීම විශේෂත්වයකි. ගමේ පොදු ප්‍රශ්න මාධ්‍ය හරහා එළිදැක්වීමටත්, ගමේ සියලු ළමයින් දහම් පාසල හරහා දහමට නැඹුරු කිරීමටත් කටයුතු කළහ. ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් හමුවී ගමේ අවශ්‍යතා සපුරා ගත්හ. එදා උතුරු නැඟෙනහිර මායිම් ගම්මානවල හමුදා කඳවුරුවලට වැඩම කළ උන්වහන්සේ රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වැඩි දියුණු කිරීමට ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වීය. යුද්ධය අවසන් වනතුරු ම උන්වහන්සේ එයඑම කටයුත්ත නොපිරිහෙළා ඉටු කළහ.

බලංගොඩ මහින්ද හිමියන් “ගමෙන් පන්සලට නොව පන්සලෙන් ගමට” යන සංකල්පයේ පිහිටා සමාජ සේවා රැසක් සිදු කළ අතර, උන්වහන්සේ එය විස්තර කරන්නේ මෙලෙසිනි.

“ගමේ පාසලට යන්න තිබුණේ කැඩුණු පාලමක්. මම පාලම් දෙකක් හැදෙව්වා. මම එන විට ගමට, පන්සලට විදුලිය තිබුණේ නෑ. කුප්පි ලාම්පු එළි තමා තිබුණේ. මම එවකට හිටපු විදුලිබල ඇමැති හමු වී කහටගස්යාය සහ මහකණ්ඩිය ගම්වලටත් පන්සලටත්, විදුලිය ලබා ගත්තා. එදා ගමට එන්න පාරක් තිබුණේ නැහැ. මම රජයේ ගම් යා කරන වැඩසටහන යටතේ උහන සැටල් හන්දියේ සිට නාමල්ඔය දක්වා මාර්ගය කිලෝ මීටර් 06ක් දුරට රුපියල් කෝටි 07ක වියදමින් හදා ගත්තා. ගමේ මිනිසුන්ගේ ඉඩම් ප්‍රශ්න නිරාකරණය කර දුන්නා. ගමේ ළමයින් 43කට සිවිල් ආරක්ෂක බළකායේ රැකියා අරන් දුන්නා. ගමේ ආරක්ෂාවට පොලිස් මුරපොළ දැම්මා. අවට විහාරස්ථාන 05ක් ආරම්භ කර ඒවා මල්වතු විහාර පාර්ශ්වයට සම්බන්ධ කර දුන්නා.

එදා අම්පාරේ ආයුර්වේද රෝහල ඉතාමත් පහළ තත්වයට වැටිලා තිබුණේ. මම එවකට සිටි ජනාධිපතිවරයාට කියලා එය මධ්‍යම රජයට පවරා දුන්නා. දැන් එය හොඳ තත්වයේ පවතිනවා.“

අම්පාර - මඩකලපුව දෙදිසාවේ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන බලංගොඩ මහින්ද නාහිමිපාණන්ට තවත් චිරාත් කාලයක් ආගමික, ශාසනික, සමාජයීය මෙහෙවර කරන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.