Print this Article


පල්ලේවෙල ශ්‍රී විසුද්ධාජීව අනුනාහිමියෝ පැවිදි දිවියේ 70 වැනි වසර සමරති

පල්ලේවෙල ශ්‍රී විසුද්ධාජීව අනුනාහිමියෝ පැවිදි දිවියේ 70 වැනි වසර සමරති

විනයධර, ධර්මධර, ව්‍යක්ත, විනීත, සංඝ සෝබන ගුණවලින් පිරිපුන් යතිවරයන් වහන්සේ නමක් වශයෙන් මීට 70 වසරකට පෙර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක පල්ලේවෙල ශ්‍රී විසුද්ධාජීව මාහිමිපාණෝ පැවිදි බව ලැබූහ.

1956 මැයි 16 වැනි දා විනයාචාර්ය කුඹල්ගම ශ්‍රී විසුද්ධාලෝක නාහිමිපාණන් වහන්සේ සහ ස්ව නිකායේ අනුනායක ගැටඅරලුවේ ශ්‍රී ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පල්ලේවෙල විසුද්ධාජීව නාමයෙන් පැවිදි බව ලදහ.

එදින පටන් අධිෂ්ඨානශීලි ව පිළිවෙත් ගරුක ව ගත කිරීමට උන්වහන්සේ සමත් වූහ. මේ සඳහා උන්වහන්සේට පන්නරය දුන්නේ අම්බලන්ගොඩ, මාදම්පේ ශාස්ත්‍රාලෝක පිරිවෙන, වැලිගම කප්පරතොට ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙන, මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යි.

1970දී තම ගුරු දේවයන් වහන්සේ ගෙන ගිය ශාසනික, ආගමික, සමාජයීය හා සංස්කෘතික කටයුතුවල නිරත වෙමින් සුවහසක් දුවා දරුවන්ගේ නැණ පහන දල්වන්නට පාසල් ගුරු සේවයට ඇතුළත් ව අමිල සේවාවක් ඉටු කළහ. ඉඹුල්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරය දරමින් අමරණීය සේවාවක් ද සිදු කළහ.

තම විහාරස්ථානය මුල් කරගෙන සිදුකළ ශාසනික මෙහෙවර ව්‍යාප්ත කිරීමේ අටියෙන් බොරන්ගමුව ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය, තුඹතැන්න ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය, ගල්පොතුතැන්න බෝසත් ධර්මායතනය, මුත්තෙටුවේගම ශ්‍රී බෝධිමාලකාරාමය ආදි විහාරස්ථාන තම ධනය, කාලය, ශ්‍රමය වැය කරමින් ඉතා දියුණු තත්වයට පත් කිරීමට උන්වහන්සේ සමත් වූහ.

අප අනුනාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ටතම සේවය වූයේ ශිෂ්‍ය භික්ෂූන් විශාල පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමයි. බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හා ධර්ම පුස්තකාලාධිපති, ශාස්ත්‍රපති ගලගම ශාන්තජීව ස්වාමින්ද්‍රයන් වහන්සේ වැනි දැන උගත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ රැසක් ඒ අතර වෙති.

අමරපුර රාස්සගල පාර්ශ්වීය මහා සංඝ සභාවෙහි පොහෝ කර්ම සිදු කරන අවස්ථාවල දී ප්‍රාතිමෝක්ෂය කටපාඩමින් දේශනා කිරීමත්, විවිධ විනය කර්ම සිදු කරන අවස්ථාවල දක්වන පරිචය අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහාපණ්ඩිත, කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අනෙකුත් සංඝ සභාවල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද මහත් ප්‍රසාදයට පත්ව තිබේ. මහා නාහිමියන් ප්‍රමුඛ සංඝ සභාවට ශක්තියක් වෙමින් ජාතික, ආගමික, ශාසනික කර්තව්‍යවල දී නොපැකිළව සහයෝගය දීම මනාව පැහැදිලි වේ. පාණ්ඩිත්වයෙන්, පරිණත බවින් හා විචක්ෂණශීලි බුද්ධියෙන් යුතු ව ශාසනානුලෝමි හැඟීමෙන් කටයුතු කිරීම නිසා ම උන්වහන්සේගේ චරිතය ඉතා සෝභාවත් විය.

උතුම් පැවිදි දිවියේ 70 වැනි වසර සමරන අප අනුනාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගි සුව හා දිගාසිරි පතමින් අටවිසි බෝධි පූජා, ධර්ම දේශනා, පිරිත් දේශනා හා දානමය පින්කම් ඇතුළු පින්කම් මාලාවක් ජුනි මස 04, 05 සහ 06 දිනවල සිදුකිරීමට උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස හා දායක පිරිස විසින් කටයුතු සංවිධාන කර ඇත.

අනු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය හා නිරෝගී සම්පත්තිය සැලසේවායි ප්‍රාර්ථනා කරමු.