Print this Article


ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ

ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ඉල්වානේ ශ්‍රී ආනන්ද නාහිමියෝ

මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවන විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක, ශාස්ත්‍රපති, පණ්ඩිත ඉල්වානේ ශ්‍රී ආනන්ද නාහිමියන්ට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයෙන් ශ්‍රී සුගතවංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාම සම්මුතිය සහිත මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. එම අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 16 වැනිදා පස්වරු 12.30ට දිගන අඹකොටේ සිරි සුගත තාපෝවන විහාරස්ථානයේ දී පැවැත්වේ. ඒ නිමිත්තෙන් එදින ශතාධික සංඝගත දක්ෂිණාවක් ද, කිරි ආහාර පූජාවක් ද පැවැත්වේ.

දිගන අඹකොටේ තපෝවන විහාරය හෙවත් සිරි සුගත තපෝවන විහාස්ථානයට දිර්ඝ ඉතිහාසයක් ඇත. අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන් විසින් ආරම්භ කළ මේ පිංබිමෙහි වර්තමානයේ දී වැඩ සිටින විහාරධිපති වන්නේ ශාස්ත්‍රපති, පණ්ඩිත ඉල්වානේ ශ්‍රී ආනන්ද නාහිමියන්ය. උන්වහන්සේ එම පිංබිම වැඩි දියුණු කිරීම සහ බුදු සසුනේ සංවර්ධනයට කළ ආගමික, ශාසනික සහ සමාජ සේවා වෙනුවෙන් උපහාර පිණිස උන්වහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්‍වයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ සභාවෙන් ශ්‍රී සුගතවංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාම සම්මුතිය සහිත මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරි නමා ඇත.

ඉල්වානේ ශ්‍රී ආනන්ද හිමියන් සබරගමු පළාතේ ඉල්වාන ග්‍රාමයේ හෙට්ටි ආරච්චිලාගේ පොඩි අප්පුහාමි මහතාට සහ ටිකිරි මැණිකේ උපාසිකා මාතාවට දාව 1967 ජනවාරි මස 11 වැනි දින ආනන්ද හෙට්ටිආරච්චි කුල කුමරුවා ලෙසින් මෙලොවට බිහි විය. පැවිදි වීමට අවශ්‍ය බණ දහම් උසස් ලෙසින් සපුරා 1981 මැයි මස 18 වැනි දා ඉල්වානේ ආනන්ද නමින් පැවිදි බිමට ඇතුළත් වූහ. කෙහෙල්පන්නල සිරි සුගතවංශ අනුනායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1987 ජුනි මස 12 වැනි දා රජරට වනවාස මූලස්ථාන සිරි සුමංගල උපෝසථාගාරයේ දී උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිට වූහ. 1995දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ලබූහ. වසර තුනක් ධර්මාචාර්ය ලෙස සේවය කළහ.

තම ගුරු දේව නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු 1998දී අඹකොටේ සිරි සුගත තපෝවන විහාරස්ථානයට වැඩම කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් ශාසනයේ උන්නතියට දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළහ.

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස පතල උන්වහන්සේගේ ආගමික, සමාජ සේවා, සුබසාධන, පොදු කටයුතු සහ ජාතීන් අතර සංහිඳීයාව ඇති කරමින් පන්සල, කෝවිල, පල්ලිය, පාසල, පොලීසිය සහ ගම ඒකාබද්ධ කර අඹකොටේ ගම්මානයේ සංවර්ධනයට පෙරමුණ ගෙන කටයුතු කළහ.

අඹකොටේ ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගන නගරයට ආසන්නව කිලෝ මීටර් දෙකක් පමණ දුරකින් පිහිටා ඇත. සිංහල බෞද්ධ පවුල් දෙසීයක් පමණ මේ ගම්මානයේ ජීවත් වන අතර, බහුතරයක් ද්‍රවිඩ පවුල්ය. එම සියලු ම ජනතාවට නායකත්වය දෙමින් අභිමාන සම්මානයෙන් පිදුම් ලැබූ අඹකොටේ සිරි සුගත තපෝවන විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත ඉල්වානේ ශ්‍රී ආනන්ද නාහිමියන්ට නිරෝගි සම්පත සහ දීර්ඝායු සම්පත ලැබේවා.