|
තමන් සොයන
සතුට තිබෙන්නේ තමන් ළඟමයි
ආචාර්ය
මේල්පිටියේ විමලකිත්ති හිමි
අමෙරිකාවේ ප්‍රාන්ත හරහා දින 110ක් කිලෝමීටර් 3700ක් පමණ පාද චාරිකාවේ යෙදෙමින්
සනිටුහන් කළ ඒ උතුම් මෛත්‍රියේ පණිවිඩය රැගෙන පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සඟරුවන
පසුගියදා මෙරටට ද වැඩම කළහ. එලෙස වැඩම කළ උන්වහන්සේ පසුගිය 22 වැනි දා රංගිරි දඹුලු
රාජමහා විහාරය අබියසින් ඇරඹි මෙරට සාම පා ගමන මාතලේ, මහනුවර, බෙලිගම්මන, තෝලංගමුව,
යක්කල, කැලණිය හරහා කොළඹට පැමිණ අවසන් කළහ. මහනුවර අස්ගිරිය ශ්‍රී විජය සුන්දරාරාම
විහාරාධිකාරී, අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් හි ගෝතම බුද්ධ විහාරයේ
විහාරාධිපති, ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමිගේ පූර්ණ මඟපෙන්වීම අනුව මෙරට සිදු
වූ සාම පා ගමනේ ඓතිහාසිකත්වය සහ කාලීන අවශ්‍යතාව පිළිබඳ ආචාර්ය මේල්පිටියේ
විමලකිත්ති හිමි සමඟ කළ සාකච්ඡාවකි, මේ.
ස්වාමීන් වහන්ස, සාමයේ පා ගමන මුළු ලෝකයට ම අසමසම ශාස්තෘවරයන් වහන්සේගේ පණිවිඩය
රැගෙන යමින් සිටින්නේ මිනිස් හදවත් තුළ අලුත් බලාපොරොත්තුවක් , උද්‍යෝගයක් ඇති
කරමින්. එහි ආරම්භය සිදු වූයේ කෙසේද?
මේ සාම පා ගමනේ ආරම්භය ටිකක් ඈතට යනවා. මේ සඳහා සහභාගි වන සෑම භික්ෂූන් වහන්සේ නමක්
ම බුද්ධගයාවේ සිට කල්කටාව දක්වා පැවැත්වෙන මේ ධුතාංග සමාදානයට සහභාගි වෙනවා. මෙයට
සාම කියන කතාව එකතු වෙන්නේ පසුව. මෙය හුදෙක් පා ගමනක් නොව ධුතාංග සමාදානයක්.
සම්බුද්ධ චීවරය වෙනුවෙන් කැපවී සිටින භික්ෂූන් වහන්සේ ධුතාංග සමාදානය වෙමින්
ඇවිදිමින් මේ ධර්ම චාරිකාවේ යෙදෙනවා. ලෝකය පුරා ථෙරවාදී රටවල භික්ෂූන් වහන්සේ 200ක්
පමණ මේ ධුතාංග සමාදානය වෙනුවෙන් සාමාජිකත්වය ගෙන තිබෙනවා.
බුද්ධගයාවේ සිට කල්කටාව දක්වා කිලෝමීටර් 4000ක පමණ දුරක් මෙය පැවැත්වෙනවා. මේ ගමනට
වසර ගණනාවක් පුරා සහභාගි වූ, පුහුණුව ලැබූ ස්වාමීන් වහන්සේ සහභාගී වෙනවා.
අමෙරිකාවේ මේ පා ගමන ආරම්භ කිරීමේ නිර්මාතෘවරයා වන්නේ ෆෝට්වර්ත් හි වෙසෙන
වියට්නාමයේ පඤ්ඤාකර හාමුදුරුවෝ. උන්වහන්සේගේ යෝජනාවකට අනුව 2025 ඔක්තෝබර් මස 26
වැනිදා අමෙරිකාවේ වොෂින්ටන් දක්වා දින 110ක දීර්ඝ පා ගමනක් පැවැත්වුණා.
සැතපුම් 2,300ක් (කිලෝමීටර් 3,700ක් පමණ) ඉක්මවූ එම ගමන ඔස්ටින් දක්වා ගමන් කළා. මම
ඉන්න පන්සල තියෙන්නෙත් ඒ ආසන්නයේ ම යි. එතැන් සිටත් සැතපුම් 200ක් උතුරට මේ පා ගමන
ගමන් කළා. එයින් පසුව තමයි මේ පා ගමන සාමාන්‍ය පා ගමනකට වඩා අර්ථවත් ව “සාමයේ පා
ගමනක්” ලෙසින් ලෝකයට හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වාදීමත් සමඟ මෙය ලෝක සාම පා ගමන බවට
පත් වුණා.
නිහඬ පා ගමනකින් මිනිස් හදවත්වලට කතා කරන්නට දරන මේ උත්සාහයේ ප්‍රධාන අරමුණු මොනවා
ද?
මෙහි අරමුණ භික්ෂුවකගේ විනය සහ බුදුන් වහන්සේගේ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය,
බහුජන සුඛාය” යන දේශනාව පිළිපැදීමයි. මෙය ධුතාංග පහළොවෙන් එකක්. වර්තමානයේ ලොව පුරා
වෙසෙන මිනිසුන්ට මානසික ගැටලු, ආතතිය සහ ලෝක දේශපාලන සාමයකට වඩා තමන්ගේ ආත්මීය සාමය
පිළිබඳ නොයෙක් ගැටලු තිබෙනවා.
තමන්ගෙන් අනුන්ට සහ අනුන්ගෙන් තමන්ට සිදුවන සිත් රිදීම් මේ ආතතියට හේතු වෙනවා.
ආතතියට ප්‍රකාශනයක් නෑ. ඒ සඳහා අපට යම්කිසි මාධ්‍යයක් අවශ්‍යයි. ඒ මාධ්‍ය තමයි මේ.
ගමින් ගමට ස්වාමීන් වහන්සේ හැටියට මිනිසුන්ගේ මේ දුක්ගැනවිලි සාකච්ඡා කර, විසඳුම්
සෙවීම මෙහි තවත් එක් අරමුණක් වෙනවා.
ස්වාමීන් වහන්ස, සාමයේ පා ගමනට අපේ රට සහභාගි කරවා ගැනීමට විශේෂ හේතුවක් තිබුණා ද?
ඒක මගේ ඉල්ලීමක්. මම මෙහි මූලිකත්වය ගෙන පඤ්ඤාකර හාමුදුරුවන්ට කිව්වා, අපි දෙවැනි
වතාවට මේ සාම පා ගමන අරන් ලංකාවට යමු කියලා. ඒ අනුව තවත් සාධක කිහිපයක් එකතු කරගෙන
ලංකාවේ මේ සාම පා ගමන ආරම්භ කළා. මේ සියල්ල ක්ෂණික ව සිදු වූ දේවල්. පසුගිය 14 වැනි
දා තමයි පඤ්ඤාකර හාමුදුරුවන්ට ලංකාවට එන්න විවේකය තිබුණේ. නමුත් සිංහල අවුරුද්ද
නිසා අපි එය කල් දැම්මා. පසුව 21 වැනි දා පඤ්ඤාකර හාමුදුරුවන් ප්‍රමුඛ මහා සංඝරත්නය
ලංකාවට වැඩම කළා. ඒ වැඩමවීමෙන් අනතුරුව අත්තනගල්ල රාජමහා විහාරයටත්, අනුරාධපුරයටත්
වාහන භාවිත කරමින් වැඩම කළ උන්වහන්සේ එම ස්ථානවල දී ආගමික වතාවත් සිදු කර 22 වැනි
දා රංගිරි දඹුලු රාජමහා විහාරය අබියසින් මේ පා ගමන ආරම්භ කළා.
සාමයේ පා ගමනින් ලාංකේය ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?
මගේ හිතේ දැඩිව තිබුණේ මෙය සාමාන්‍ය පා ගමනක් බවට පත් කර සාධු සාධු කියලා ඉවර කරන්න
නොවෙයි. අපේ සමාජයේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. බාහිර සිට බලන විට ලංකා ජන සමාජයේ ඇති
මානසික පීඩා හොඳීන් පෙනෙනවා, විශේෂයෙන් ම අපේ තරුණ පරම්පරාව බහුතරයක් නොමඟ යන
ස්වභාවයක් පෙන්නුම් කරනවා.
ඒ වගේම සමාජ මාධ්‍ය හරහා නිතර ම ද්වේෂය පතුරවන නිෂේධනාත්මක මානසිකත්වයක් පෙන්නුම්
කරනවා. එය කවදාවත් අපේ හෝ රටේ අනාගතය වෙනුවෙන් හෝ යහපතක් සිද්ධ කරන දෙයක් නොවෙයි.
මගේ පරමාර්ථය වෙන්නේ එදා පඤ්ඤාකර හාමුදුරුවෝ අමෙරිකාවේ මේ සාම පා ගමන පිළිබඳ
රැල්ලක් ඇති කළා සේ අපේ ජනතාව මේ ගැන දැනුවත් කිරීමයි. මෙය රාජ්‍ය මට්ටමින් සිදු
කරන්න තීරණය කළෙත් ඒ නිසාමයි. අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වෙනුවෙන්
විශාල කැපවීමක් කළා.
රටට ම මෙයින් අපි පණිවිඩයක් දෙනවා. මෙතැනින් පටන් ගන්න. අපි හොය හොයා යනවා සාමය සහ
සතුට කියලා දෙයක්. සතුට තිබෙන්නෙ ඔබ තුළමයි. එය ඔබ සොයා ගත යුත්තේ මේ ක්‍රමවේදයෙන්.
මෙය ඉතා සරලව කියලා දී යහපත් සිතුවිලි ගොඩනැඟීම තමයි පරමාර්ථය.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගන්නා මේ උත්සාහයට ලාංකේය භික්ෂූන් වහන්සේලාටත් යම්
සාධනීය එකතුවක් කළ හැකියි නේද?
පැහැදිලිව ම එය කළ හැකි යි. මම අනෙක් ස්වාමීන් වහන්සේටත් කියන්නේ මට දෝෂාරෝපණය නොකර
යුගයේ අවශ්‍යතාව තේරුම් ගෙන කටයුතු කරමු කියලා. සාම්ප්‍රදාය නැති නොකර, සත්‍ය
බුදුදහම ප්‍රායෝගික ව දෛනික ව පරිහරණය කරන්නේ කොහොමද යන කාරණා තරුණ පරම්පරාවට කියා
දිය යුතුයි. එය මේ කාලසීමාවේ දී සිදු විය යුතුයි.
අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේ රටේ අවශ්‍යතාව අනුව ධර්මය සහ පන්සල අතහැර යුද්ධයට
පවා දායක වුණා. එය ඒ කාලයේ තිබූ අවශ්‍යතාවක්. දැන් අපි දියුණුයි. අපේ රටේ සෑම දෙයක්
ම සකස් වී තිබෙනවා. බුදුදහම පිළිබඳ හොඳ ජාලයක් අපේ රටේ නිර්මාණය වී තිබෙනවා. මේ
ජාලය භාවිත කර තරුණ පරම්පරාව යහමඟට ගත යුතුයි. ඒ පිළිබඳ කතිකාවතක් ඇති කිරීමට දැන්
කාලය පැමිණ තිබෙනවා.
සාමයේ පා ගමනට ආලෝකගේ සහභාගීත්වය තවත් අර්ථයක් එක් කළා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස
කෙබඳු ද?
අපි මේ පා ගමන පටන් ගන්න කාලේ ඉඳලා ම ආලෝක ගැන අහන සම්භාවිතාව වැඩියි. ආලෝක සහභාගි
කර ගැනීමෙන් සංකේතවත් කරන්නේ සාමය මිනිසුන්ට පමණක් නොව මුළු සත්ව සංහතියට ම අවශ්‍ය
බවයි.
ඡායාරූපය - සුලෝචන ගමගේ |