Print this Article


අපේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය යි බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව සම්බුදු දහමයි - ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමි

අපේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය යි බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව සම්බුදු දහමයි - ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමි

ධර්මය විකෘති කිරීම, බෞද්ධ පුද පූජා, පින්කම්වලට වැරැදි අර්ථකථන දෙමින් හාස්‍යයට ලක්කිරීම වර්තමානයේ, සුලබ ව්‍යසනයකි. එවැනි සමාජ පසුබිමක "ධර්මය ප්‍රඥාවන්තයින් ට ය. දුෂ්ප්‍රාඥයින්ට නොවේ’ යන සම්බුදු වදන අනුව යමින් ප්‍රඥාවන්තයින්ගේ ධර්මඥානය ඔපමට්ටම් කරනු පිණිසත්, සැබෑ ධර්මය විවෘත කරනු පිණිසත් ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමියන් විසින් පසුගියදා ග්‍රන්ථ සප්තකයක් ජනගත කරනු ලැබිණි. ඒ, සිතට දැනෙන බුදුබණ, වස්විසීම හා කඨින පින්කම, වෘක්ෂ වන්දනාවෙන් බෝධි වන්දනාවට, බෞද්ධ ආචාර සමාචාර, පුදපූජා හා අභිචාර ක්‍රමයන්හි ධර්ම ම ය පදනම, පිරිත් හා සති පිරිත, පුද පූජා - අභිචාරවිධිවල ධර්මමය සහ මනෝචිකිත්සාමය පදනම හා දහම් ලිපි සරණිය යි. දීර්ඝ කාලීන පර්යේෂණයන්හි, විමර්ශනයන්හි දායාදයක් ලෙස ප්‍රකාශිත එම ග්‍රන්ථ අතුරින් කිහිපයක් පිළිබඳ උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි මේ.

ස්වාමීන් වහන්ස, වස් සමාදන්වීම හා කඨින පුණ්‍යෙීත්සව පිළිබඳ වත්මන් ලාංකේය බෞද්ධ ජනතාව අතර නව පිබිදීමක්, ජනප්‍රියත්වයක් නිර්මාණය වී තිබෙනවා. එවැනි කාලයක ඔබ වහන්සේ වස්විසීම හා කඨින පින්කම’ පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීමේ අරමුණ වූයේ කුමක්ද?

සැබැවින් ම මේ පොත ලිව්වේ කාලීන අවශ්‍යතාවක් සපුරා ලීමටයි. විශේෂයෙන් ගිහියන්ට වඩා පැවිදි සමාජය අරමුණු කරගෙන. අපේ සමාජයේ සමහර භික්ෂූන් වහන්සේගේ විනය පිරිහී ඇති බවට බොහෝ අවස්ථාවන්හි චෝදනා නැඟෙනවා. භික්ෂූන් වහන්සේ ලෙස ඇතැම් විට අපට ඒ ගැන අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. සම්බුද්ධ ශාසනය පවතින්නේත්, ආරක්ෂා වෙන්නෙන් විනය තිබෙනතාක් පමණයි. විනය ශික්ෂාපද ආරක්ෂා කර ගන්නට තිබෙන වැදගත් ම අවස්ථාවක් තමයි වස්විසීම.

විශේෂයෙන් අපේ නවක උපසම්පදා භික්ෂූන් වහන්සේ තුළ මේ සම්ප්‍රදාය පිළිබඳ නිවැරැදි ආකල්පයක් හා පූර්ණ අවබෝධයක් ඇති කිරීමයි ප්‍රධානතම අරමුණ වුණේ.

මෙහිදී වස්විසීමේ දී හා පවාරණයේ දී උපයෝගී කර ගන්නා විනය කර්ම හා චාරිත්‍රවිධි පිළිබඳ ත්‍රිපිටකාගත කරුණු ඍජුව ම ප්‍රාථමික මූලාශ්‍රවලින් අරගෙනයි විග්‍රහ කළේ.

වස්විසීම උපසම්පදා භික්ෂුවකට අනිවාර්ය යි. සමහරු වස් සමාදන් විය යුතු ආරාධනාවක් ලැබුණොත් පමණයි යන වැරැදි මතයේ ඉන්නවා. ආරාධනා කළත්, නොකළත් භික්ෂූන් වහන්සේගේ චාරිත්‍රය වස්විසීම, බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා "අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං" කියලා. ඒ නියමයට අනුවයි අපි වස් සමාදන් විය යුතු. එසේ නොකළොත් අපි ඇවැතකට පත්වෙනවා. ඇවැතක් කියන්නේ ආපත්තියක්. වැරැද්දක්. එයට කියනවා ‘දුක්කටාපත්ති’ කියලා.

ඒ වගේම වස් සමාදන් වීම කියන්නේ සාමාන්‍ය ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා වගේ සරල දෙයක් නොවෙයි. ගිහි අය නම් පන්සිල්, අටසිල් ආරක්ෂා කරනවා. සිල් පවාරණය කරනවා. එහෙත් අපේ හාමුදුරුවරු වස් ශික්ෂා පදයක් ආරක්ෂා කරනවා කියන්නේ බොහෝ දුර ගිය ශාසනික සම්ප්‍රදායක්. භික්ෂූන් වහන්සේ අතර වැඩිමහලු පිළිවෙළ සලකන්නේත් සමාදන් වූ වස් ගණන අනුවයි.

අපේ වත්මන් හාමුදුරුවන් වහන්සේ තුළ මේ සම්ප්‍රදාය පිළිබඳ නිවැරැදි ආකල්පයක්, හරි අවබෝධයක් ඇති කිරීම හා මේ කාර්යභාරයේ දී ශාසනික ජීවිතය තුළ කැපවිය යුතු ආකාරය, එහි වටිනාකම පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමත් මේ කෘතිය තුළ සිදු කෙරෙනවා.

බොහෝ බොදුනුවන් බෝධි පූජා පින්කම්වල නියැළෙන්නේ විභාග කටයුතු, රැකී රක්ෂා පැතීම, දරුවන් ප්‍රාර්ථනා කිරීම වැනි ලෞකික අරමුණු ඉටු කර ගන්නටයි. ඔබ වහන්සේ ලියූ ‘වෘක්ෂ වන්දනාවෙන් බෝධි වන්දනාවට පොත එවැනි ලෞකික අරමුණුවල සාධනීය ගුණ පිළිබඳ කෙරෙන විවරණයක් ද?

බෙල්ලන්විල බෝධීන් වහන්සේ වඳින්න පුදන්න එන අය පිළිබඳ අවුරුදු ගණනාවක් මම දැක තිබෙනවා. ඒ අතරින් බොහෝ අයගේ බලාපොරොත්තුව ඔබ, ප්‍රශ්නයේ දී සඳහන් කළ අරමුණු හා වෙනත් පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමයි.

අපි බෝධීන් වහන්සේ වන්දනා කරනවා කියන්නේ නිකම්ම නිකම් වෘක්ෂ වන්දනාවක් නොවෙයි. ‘බෝධි’ කියන වචනයේ තේරුම ම අවබෝධය කියන එකයි. අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඇසතු බෝධිමූලයේ යි. ඒ නිසා බෝධි වන්දනාව කියන්නේ එක අතකින් බුද්ධ වන්දනාවක්. බුදු ගුණයට කරන කෘතෝපහාරයක්. ඒ බුද්ධ වන්දනාවෙන් අර වගේ ලෞකික දේ වගේ ම ඊට වඩා වැඩි යමක් අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ. අපිට තිබෙන්නේ ලෞකික ජීවිතය පමණක් නොවෙයි. බෞද්ධයන් ලෙස ලෞකික, ලෝකෝත්තර සහ නිවන. ඒ තත්ත්වයට යන්නට ලෞකික වශයෙන් කළ යුතු යම් යම් ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ එකක් තමයි බෝධි වන්දනාව.

ඔබ වහන්සේ මෙම ග්‍රන්ථ සප්තකයට එක් කළ, ‘පුද පූජා අභිචාරවිධිවල ධර්ම ම ය හා මනෝචිකිත්සාමය පදනම කෘතිය බෞද්ධ ජන ජීවිතයට ප්‍රායෝගික ව ගලපන්නේ කොහොමද?

විචිකිච්ඡාව හා චිකිත්සාව කියල වචන දෙකක් අපේ ව්‍යවහාරයේ තිබෙනවා. ‘විචිකිච්ඡාව‘ කියන්නේ සැකය. ඒකට බෙහෙත් නෑ.’ ‘චිකිත්සාව‘ කියන්නේ ප්‍රතිකාරය. ඖෂධ තියෙනවා.

කෙනකුගේ මනසේ යම් යම් සැක සංකා ඉපදෙන්න පුළුවන්. මනස විකෘති වෙන්න. දූෂණය වෙන්න පුළුවන්. මේවාට බලපාන්නේ කෙලෙස්. මනෝ චිකිත්සාව කියන්නේ ඒ දේවලින් මනස මුදවා ගැනීමයි.

බෞද්ධයන් ලෙස අපි මොන දේ කළත් ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ඇතුළත් ආර්ය මාර්ගය පිළිබඳ පදනමක් තිබෙන්නට ඕනෑ. ශීලයෙන් තොර සමාධියක්, සමාධියෙන් තොර ප්‍රඥාවක් නෑ.

අපේ බෞද්ධ පුද පූජා හැම එකක ම ශීලය තිබෙනවා. ශීලය කියන්නේ චර්යාමය වර්ධනය. එය චර්යාමය චිකිත්සාවක්. ‘සමාධිය’ චර්යාවට එහා ගිය දෙයක්. මානසික චිකිත්සාවක්. ‘ප්‍රඥාව‘ බුද්ධිමය චිකිත්සාවක්. අපේ බුද්ධ පූජාවේ, බෝධි පූජාවේ, දානයේ, පාංශුකූලයේ, පෙරහරේ, වන්දනා ගමනේ ආදි ලෙස මේ හැම පුද පූජාවක ම පෙර කී චිකිත්සා තුනම අන්තර්ගතයි.

අපේ අතීත වන්දනා ගමන් උදාහරණයට ගත්තොත්, ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ වන්දනා ගමනට පෙර පේවෙනවා. ගමන යන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණ ගායනා කරමින්, ගියාට පස්සේ ඒ වෙහෙර විහාරවල දින ගණනක් සිල් සමාදන් වෙනවා. මේ හැම දේක ම යටින් තිබුණෙ ධර්මය. එහෙත් අද අපේ පුද පූජාවල ධර්මමය පැත්ත යටපත් වෙලා චාරිත්‍රය ඉහළට ඇවිත්.

බුද්ධිමතුන් ලෙස අපි කරන්න ඕනෑ චාරිත්‍රවිධිත් අත් නොහැර, එලෙසම තිබෙන්නට හැර ඒවාට නව ප්‍රවේශයක් දීමයි. මේ චාරිත්‍ර කොහොමද ධර්ම ම ය පැත්තට හරව ගන්නේ කියලා.

බෞද්ධ චාරිත්‍ර හැදෙන්නේ සංස්කෘතියක් එක්ක එකතුවෙලා. අපි බෞද්ධ. අපේ සංස්කෘතිය තමයි බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව තමයි බුදුදහම. මේ හැම සංස්කෘතිකාංගයක් ම, එහෙම නැතිනම් සංස්කෘතියට බද්ධ වෙලා තියෙන පුද පූජා, අභිචාර, ආචාර, සමාචාර මේ හැම දෙයක් තුළ ම අපි මතුකරල පෙන්වන්න ඕනෑ ධර්ම ම ය පදනමක් තිබෙනවා කියන යතාර්ථය.

සරලම උදාහරණයක් ලෙස ‘ශාන්ති කර්මය කියන්නේ එක්තරා ආකාරයක අභිචාර විධියක්. එහෙත් ඒ අභිචාර විධිය තුළ මුලින් ම පහන දල්වන්නේ බුද්ධ රත්නයට. ඒ පහන් ආලෝකයෙන් බලාපොරොත්තු වන්නේ අවිද්‍යාවේ අන්ධකාරය දුරුවෙලා ප්‍රඥා ලෝකය ලැබීමයි. මේ සමානකමයි ධර්මය කියන්නේ. අපේ පුදපූජාවල ඒ ධර්ම ම ය පදනම තියෙන්න ඕනෑ. ධර්ම ම ය පදනම නැති වුණෙත් ඒවා චාරිත්‍රවිධි පමණක් බවට පත් වෙනවා. එහෙම වුණොත් අපි දහමෙන් ඈත් වෙනවා.