මහෝපාධ්‍යාය
නිකපොත චන්දජෝති නාහිමියෝ උඩරට අමරපුර පාර්ශ්වයේ
මහනායක ධුරයෙන් පිදුම් ලබති
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
මහාචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බදුල්ල, හපුතලේ, කන්දපල්ල කෝරළයේ නිකපොත සොඳුරු ගම් පියසෙහි අමරතුංග මුදියන්සේලාගේ
මුතුබණ්ඩාර හා රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යන සැදැහැති
දම්පතීන්ට දෙවැනි
දරුවා ලෙස උපන්නේ අමරතුංග මුදියන්සේලාගේ විජයරත්න හෙවත් අප ඉදිරියට ඇගයුමට ලක්කරන
නාහිමියෝ ය. බුදුරදුන්ගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධියට පත් සිරිලක් දෙරණ බටහිර
අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට යටත් ව සිට එයින් නිදහස් වූ ලක්මවට නිදහසේ හුස්ම
ගන්නට වරම් ලැබුණු වාසනාවන්ත දිනයෙහි නාහිමියන්ගේ මෙලොව ජන්ම ලාභය සිදු විය.
පැවිද්ද හා
ශාසනික අධ්‍යාපනය
පින්වත් කුල කුමරාට අත් පොත් තැබූවෝ කේ. ජී. මුදියන්සේ ගුරුතුමාණෝ ය. පුරාකෘත
පුණ්‍ය මහිමයත්, ශ්‍රද්ධා සම්පන්න භාවයත් හේතුවෙන් හල්දුම්මුල්ල ශ්‍රී
සුධර්මාරාමාධිපති පින්නලන්දේ ලංකානන්ද නාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලැබූ ඔහුගේ ගුණවත්
දිවිපෙවත තවදුරටත් ප්‍රභාවත් විය.
මනා නායකත්ව පෞරුෂයකින් හා චතුර වාග් කෞශල්‍යයකින් හෙබි විජයරත්න ශිෂ්‍යයා ගුරු
සිසු දෙපිරිසගේ ම සිත් සතන් ප්‍රබෝධවත් කළේ ය. පුරාකෘත පුණ්‍ය බලය මුහුකුරා ගියේ
සිය දෙගුරුන් දෙපා නැමඳ ආශීර්වාද ලැබූ පින්වත් කුල කුමරු එකල නිකපොත ශ්‍රී
සුභද්‍රාරාමාධිපති ව වැඩ විසූ ගෞරවාර්හ උඩුබාදන රතනජෝති මහා ස්වාමීන්ද්‍රයාණන්
වහන්සේගේ සහ මහරගම පමුණුව සුචරිතෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අඹේගොඩ ඤාණානන්ද
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1962දී නිකපොත චන්දජෝති නමින් උතුම්
ප්‍රව්‍රජ්‍යා භූමියට
ඇතුළත් විය. ආරාමික අධ්‍යාපනයෙන් ලැබූ ශික්‍ෂණය දැනුදු
නාහිමියන්ගේ සතර ඉරියව්වේ ම මැනවින් විද්‍යමාන වේ. මූලික වත් පිළිවෙත් හා බණ දහම්
ප්‍රගුණ කිරීමෙන් අනතුරුව ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙනීම සඳහා බදුල්ල පොල්වත්ත
ශ්‍රී සුමංගලාරාමයෙහි නේවාසික ව වැඩ වසමින් දිනපතා කයිලගොඩ ශ්‍රී සද්ධානන්ද
පිරිවෙනට වැඩම කළහ. එහි පරිවේනාධිපති ධුරය හෙබවූ ඌව අමරපුර මහා නිකායේ මහා නායක
ධුරන්ධර ව වැඩ විසූ මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත කණවැරැල්ලේ ශ්‍රී සුදස්සන මහා නායක
මාහිමියන් වහන්සේ යටතේ සිංහල, පාලි, සංස්කෘත ඉතිහාසය ආදි පෙරදිග භාෂා ශාස්ත්‍ර මෙන්
ම සමයාන්තර ඥානය, නූතන භාෂා ආදි අපරදිග ශබ්ද ශාස්ත්‍රයන් ද මැනවින් ප්‍රගුණ කොට
ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදී විභාගවලින් සාමාර්ථ ලැබූහ. පසු කලෙක බණ්ඩාරවෙල
සුධර්මෝදය පිරිවෙනට ඇතුළත් ව උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ධුරන්ධර ව වැඩ විසූ
රාජකීය පණ්ඩිත, ආභිධම්මිකාචරිය කන්දේගෙදර සුමනවංස මහා නාහිමිපාණන් වහන්සේගේ ඇසුර
ලබමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවත්වන සියලු විභාග ද ඉහළින් ම සමත් වූහ. සමස්ත
ලංකා අභිධර්ම විශාරද පරීක්‍ෂණයට පෙනී සිට ප්‍රථම පන්ති සාමාර්ථයක් ද දිනා ගැනීමට
සමත් වූහ.
මහරගම පමුණුව සුචරිතෝදය බෞද්ධ මධ්‍යස්ථානයෙහි වැඩ වෙසෙමින් පන්නිපිටිය විද්‍යාලංකාර
පිරිවෙනට ඇතුළත් ව විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය සම්පූර්ණ කීරීමෙන් උසස්
අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූහ. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නිකපොත නාහිමියෝ
විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයෙහි නිරත වන අතර ම, ස්වකීය ගුරු දේවයන් වහන්සේ වන අඹේගොඩ
ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ එක්ව සුචරිතෝදය මධ්‍යස්ථානයෙහි දියුණුව පිණිස
කැපවී ක්‍රියා කළහ. 1967දී සිය ගුරු හිමියන් හා එක්ව කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයෙන්
ඉඩමක් මිලට ගෙන විහාරස්ථානයක් ද ආරම්භ කොට එහි ස්වකීය ආචාර්යපාදෝත්තමයන් වහන්සේ
අනුස්මරණය කිරීමට ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ලෙස එය නම් කර ඇත.
උපසම්පදා ප්‍රතිලාභය
ක්‍රි.ව. 1968 ජූනි මස විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ විසුද්ධබද්ධ සීමා මාලකයේ දී
උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ධුරන්ධර ව වැඩ විසූ සාසනවංශාලංකාර විනය විශාරද
සිරිසුමන මහෝපාධ්‍යාය නුවරඑළියේ විමලබුද්ධි මහානායක මාහිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් ගෞරවාර්හ උඩුබාදන රතනජෝති මහා ස්ථවිරයන් වහන්සේ සහ ගෞරවාර්හ
අඹේගොඩ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන්
සුපරිශුද්ධෝපසම්පදාවෙහි පිහිටියහ.
ශාසනික හා ජාතික සේවය
අඹේගොඩ ඤාණානන්ද ස්වාමිපාදයාණන් වහන්සේ හදිස්සියේ ම රෝගාතුර වී අපවත් වූ හෙයින්
ආරාමික හා සමාජ සේවා කටයුතු පිළිබඳ සියලු වගකීම් දැරීමට ද, සිය ගුරු හිමියන් සමඟ
ආරම්භ කළ මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානයෙහි ආරම්භක විහාරාධිපතින් වහන්සේ
වශයෙන් කටයුතු කිරීමට ද නිකපොත නාහිමියන්ට සිදු විය. අත්දැකීම් අඩු තරුණ අවදියේ ම
තම විහරස්ථානය හා සම්බන්ධ විශාල දායක දායිකා පිරිසකගේ ජාතික, ආගමික හා ශාසනික
කටයුතු මැනවින් ඉටු කර දීමට සිදු වූ හෙයින් උසස් අධ්‍යාපනයට සමු දුන් නිකපොත
නාහිමියෝ කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානයෙහි ආරම්භක විහාරාධිපතින්
වහන්සේ ලෙස එහි දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකොට වදාළහ. මඩ වගුරක පිහිටි
පන්සල් භූමිය විධිමත් ලෙස කළමනාකරණය කර ගනිමින් පුණ්‍යකාමී සත්පුරුෂ සාධු ජනයාගේ
ආධාර උපකාර ඇති ව සකල විහාරාංගවලින් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්
කිරීමෙහි ලා නිකපොත නාහිමියන් දැරූ වෙහෙස අපමණ ය.
තමන් වහන්සේ වැඩ වෙසෙන මාදිවෙල ගම් පියසට දහම් පාසලක් නොතිබු අවදියක ආරම්භ කළ ශ්‍රී
චන්දජෝති දහම් පාසල අද වන විට එම ප්‍රදේශයේ ආදර්ශවත් දහම් පාසලක් බවට ගොඩනැඟී තිබේ.
බෝසත් ළමා සමාජය, පරෝපකාර සංගමය, පුබුදු ළමා සමාජය, මුතුහර ළමා සමාජය හා ක්‍රීඩා
සමාජය ආදියෙන් සිදු වන සමාජ මඟ පෙන්වීම වෙසෙසින් කැපී පෙනේ. රටක ජීවනාලිය බඳු තරුණ
තරුණියන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ සමාජ සුබසාධක සමිතිය ද, බෞද්ධ උපාසක
උපාසිකාවන්ගේ ගුණ නැණ දියුණු කිරීමට ආරම්භ කළ උපාසක උපාසිකා සමිතිය ද නාහිමියන්ගේ
ලෝක ශාසනික සේවාවේ ප්‍රතිඵලයකි.
විසිපස් වසරක් ම මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි සභාපතිත්වයට නිතරගයෙන් පත් වූ
නාහිමිපාණෝ එහි අභිවෘද්ධියට කැපවී කටයුතු මෙහෙයවති. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල
ආරම්භයේ සිට ම එහි බෞද්ධාගමික අනුශාසකයා ලෙස ද, මහරගම නගර සභාවේ විද්වත් කමිටු
උපදේශකවරයා ලෙසින් ද, මහරගම තරුණ සේවා සභාවේ ආගමික කටයුතු අනුශාසක ලෙසින් ද කටයුතු
කරමින් සමාජ සුබසාධනයෙහි ලා විශාල මෙහෙයක් සිදු කරති. තම විහාර පරපුරේ
කේන්ද්‍රස්ථානය වූත් හපුතලේ නිකපොත ශ්‍රී සුභද්‍රාරාමයෙහි වගකීම නාහිමියන් වහන්සේ
වෙත පැවරුණ ද තමන් වහන්සේගේ අල්පේච්ඡතා ගුණය ප්‍රකට කරමින් තත් විහාරස්ථානයේ සියලු
කාර්ය කටයුතු කරගෙන යාමට තම පැවිදි සහෝදර නිකපොත නන්දරතන මාහිමියන් වහන්සේ වෙත
භාරකොට තමන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ විශාල ගිහි පැවිද ශිෂ්‍ය පිරිසක් ධර්ම
ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන ශ්‍රී රතනජෝති මූලික පිරිවෙන ආරම්භ කළහ.
උගත් ධර්ම විනයධර ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කර තිබීමෙන් පැහැදිලි වන්නේ
නාහිමියන්ගේ ශාසනික වගකීම මැනවින් ඉටු කර ඇති බවයි. කහගොල්ලේ ආනන්ද හිමි,
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වෙලංවිට පඤ්ඤාජෝති හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
හබරලේ වජිරජෝති හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කැටගොඩ විමලජෝති හිමි ආදි උගත්
භික්‍ෂූන් වහන්සේලා ඒ අතර ප්‍රමුඛ වෙති.
ශාසනික සම්ප්‍රදායෙහි මැනවින් ශික්‍ෂණය වූ නිකපොත නාහිමිපාණන් වහන්සේගේ ලෝක ශාසනික
සේවය අගය කරමින් 1991දී උඩරට අමරපුර මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ
විනයවාදිනී කාරක මහා සංඝ සභාව, උන්වහන්සේ වෙත ශ්‍රී සද්ධර්මාචාර්ය රතනජෝති
වංසාලංකාර යන ගෞරව නාමය සහිත ව හපුතලේ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියත්,
කාරක සංඝ සභික පදවියත් පිරිනැමීමෙන් සමාජ සම්භාවනාවට පාත්‍ර කළහ. විනයවාදිනී කාරක
සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්යයන් වහන්සේ නමක් වන නිකපොත නාහිමියෝ එහි ව්‍යවස්ථා
සම්පාදක මණ්ඩලයට පත්වෙමින් අභිනව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක්
සිදුකොට වදාළහ.
බස්නාහිර පළාත් ශාසනික හා ජාතික කටයුතුවල දී ලබා දෙන නායකත්වය හා මඟපෙන්වීම අගය
කරමින් විනයවාදිනී කාරක සංඝ සභාව විසින් 2004දී උන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ
බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමී ය.
නිකපොත නාහිමිපාණන් වහන්සේගේ උතුම් ශාසනික හා සමාජ සේවයත්, පරමාදර්ශී පැවිදි
දිවියත්, ධර්ම ශාස්ත්‍රීය සේවයත් අගය කරමින් උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී
කාරක සංඝ සභාව විසින් 2018දී අනුනායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර කිරීම නිකායේ
අභිවෘද්ධියට බෙහෙවින් ඉවහල් විය.
උපාධ්‍යාය සහිත අනුනායක ධුරයෙන් සම්භාවනාවට පත් නිකපොත චන්දජෝති නාහිමියෝ තමන්
වහන්සේ ලෝක ශාසනික සේවය තවදුරටත් ශක්තිමත් ව පවත්වා ගෙන යාමට ඇප කැප වූහ. එමෙන්ම
නිකාය හා සම්බන්ධ බරපතළ අර්බුද පැන නැඟුණු අවස්ථාවල දී එම ගැටලු විසඳීමට නිකපොත
නායක මාහිමියන්ගේ නායකත්වය හා මැදිහත්වීම බෙහෙවින් කැපී පෙනේ. වාර්ෂික ව පැවැත්වෙන
උපසම්පදා විනය කර්මය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන නිකපොත නායක මාහිමියෝ
එහි අනුකමිටු කිහිපයක ප්‍රධානත්වය ගෙන තත් කාර්ය සාඵල්‍යයෙහි ලා වෙහෙසෙති.
වාර්ෂික උපසම්පදා කර්මය සඳහා සභභාගී වන උපසම්පදාපේක්‍ෂයන්ගේ හා කර්මාචාර්යන්
වහන්සේගේ ගමන් වියදම් සම්පාදනයේ දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණ
කාර්යය නිකපොත නාහිමියන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවීම පැසසිය යුතු වේ. දීර්ඝ කාලයක්
පුරා අකර්මන්‍ය ව පැවති උඩරට අමරපුර පාර්ශ්වයේ විහාරස්ථාන නාමාවලිය සම්පාදනය කොට
ප්‍රකාශයට පත්කිරීම සඳහා තමන් වහන්සේගේ කාලය, ශ්‍රමය පමණක් නොව මුද්‍රණය සඳහා
අවශ්‍ය බරපැන ද සැපයීමට කාරුණික වූහ. විවිධ හේතු නිසා යටපත් ව පැවතී විනයවාදීනී
පාලක සංඝ සභාවට අයත් ප්‍රාදේශික සංඝ සභා යාවත්කාලීන කිරීමෙහි ලා කැප වෙමින් එම
කාර්ය පරිසමාප්තියට පත් කළහ.
විවිධ නයින් ප්‍රදානය කෙරෙන ශාසනික පදවි හා තනතුරු ධර්ම විනය යාවත්කාලීන කිරීම
අරමුණු කොට පවතී. නිකායක හෝ සංඝ සභාවක කවර පදවියක් දැරුව ද ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම
සුදුසුකම ලෙස ඇගයුමට ලක්වන්නේ ථෙරවාදී ශාසනික සම්ප්‍රදාය හා තදාශ්‍රිත විනයානුකූල
වත් පිළිවෙත් පිළිබඳ දැනුම හා පරිචයයි. නිකපොත නායක මාහිමියෝ යථෝක්ත සුදුසුකම
ප්‍රමාණයටත් වඩා සපුරා ඇති බව සක්සුදක් සේ පැහැදිලි ය. උන්වහන්සේ ථෙරවාද
සම්ප්‍රදායට අයත් පැවිද්ද, උපසම්පදාව, උපෝසථය, සීමා සම්මතය, අබ්බාහන, වස්සාන, කඨින
ආදී ලොකු කුඩා විනයානුකූල වත් පිළිවෙත්හි නිපුණ ය. අදාළ ධර්ම විනයානුකූල දැනුමෙන්
මනා ලෙස පිරිපුන් ය. දිගු කලක් එම පිළිවෙත්හි නිරත වීමෙන් මනා පරිචයකින් යුක්ත ය.
තමන් වහන්සේගේ නිකාය සම්ප්‍රදායට අයත් ආචාර්ය පරම්පරාවේ සම්මතයන් හා රීතීන් මැනවින්
ප්‍රගුණ කර තිබේ. යථෝක්ත සුදුසුකම් මැනවින් සපුරා ඇති හෙයින් නිකපොත නාහිමියෝ ථෙර
සම්මුතියෙන් සම්මත කරන ලද කවර හෝ ශාසනික පදවියක් දැරීමට ද, පිළිවෙත් සරු සඟ
පිරිසකගේ නායකත්වයට ද එවන් සංඝ සභාවක ථේරාසනය හෙබවීමට ද සාකල්‍යයෙන් ම සුදුසු වෙති.
නුවරඑළියේ චන්දජෝති මහා නායක මාහිමියන් වහන්සේ 2026-01-13 වැනි දිනයෙහි
කීර්තිශේෂභාවෝපගත වූ හෙයින් උඩරට අමරපුර පාර්ශ්වයේ එකොළොස්වන මහා නායක ධුරය සඳහා
විනයවාදිනී කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් සද්ධර්ම වාගීශ්වර රතනජෝති වංශාලංකාර
ශාස්ත්‍ර විශාරද මහෝපාධ්‍යාය නිකපොත චන්දජෝති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
තෝරාපත් කර ගන්නා ලදී.
පූජාච පූජනීයානං යන මංගල සම්මත බුද්ධ වචනය අනුව නිකපොත චන්දජෝති නාහිමියෝ මහා නායක
පදවියෙන් පිදුම් ලැබීම ගිහි පැවිදි සද්ජනයන්ගේ අමන්දානන්දයට කරුණකි. එසේ එකොළොස්
වැනි මහා නායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර වූ අභිනව මහා නායක මාහිමිපාණන් වහන්සේට
අක්තපත්‍ර ප්‍රදානය කෙරෙන මේ උතුම් මොහොතෙහි බුද්ධාදි රත්නත්‍රයේ ආනුභාවයෙන් චිරාත්
කාලයක් ලෝ සසුන් වැඩ වැඩීම පිණිස දීර්ඝායුෂ සම්පත්තියත්, නීරෝගී සුවයත් ලැබේවා’යි
ආශංසනය කරම්හ. |