Print this Article


පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වැනි සියවසේ දී පමණ කරවන ලද උත්තරාරාමය අද ගල් විහාරය ලෙස හැඳීන්වේ.

ගල් විහාරය පොලොන්නරුවේ පිහිටි පුරාණ පිළිම ගෙයකි. මේ විහාර සංකීර්ණය දිගින් යාර 56ක් පමණ වන සෑම අතකට ම බෑවුම් වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් සමන්විත ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. විශිෂ්ට ශිලා බුදු පිළිම රාශියක්‌ මෙහි පෙනෙන්නට තිබූ නිසා 20 වැනි සියවසේ දී උත්තරාරාම පිළිමගෙය ගල් විහාරය නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරියලගමුවයන්ගේ අදහසයි. (ලගමුව 1999 (142) චූලවංශයට අනුව මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවූ බව පැහැදිලිව ම සඳහන්ව ඇත.

පොලොන්නරු යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්‍ෂතාව පෙන්වන කැඩපතක්‌ බඳු ගල් විහාරයේ විශාල කළු ගල් කුලකින් නිර්මිත බුද්ධ ප්‍රතිමා සතරකි. එනම් බුද්ධ ප්‍රතිමා වහන්සේ, හිටි පිළිම වහන්සේ, පිළිම ගෙයක්‌ තුළ ඇති කුඩා හිඳී බුදු පිළිම වහන්සේ සහ විශාල එළිමහන් හිඳී බුදු පිළිම වහන්සේ ය.

ගල් විහාරයේ පළමුව ඉදිකොට ඇත්තේ විජ්ජාධර ගුහා, නිස්සින්න පටිමා ගුහා සහ නිපන්න පටිමා ලෙනයි. පොලොන්නරු යුගයේ දී මීට හිටි පිළිමයක් සහිතව තවත් ලෙනක් ඉදිකොට ඇත. එමෙන්ම තුන් පැත්තකින් ගඩොල් බිත්ති බැඳ ඇති ගුහා සහ ගල් පර්වතය හාරා පිළියෙළ කළ ලෙන් ද දක්නට ලැබේ. මෙය නිර්මාණය කිරීමට හාරා පිළියෙළ කළ ලෙන සඳහා අඩි 17ක් පමණ ද, අනෙකුත් ප්‍රතිමා සඳහා  අඩි 15ක් පමණ ද ගලෙහි මුහුණත කපා ඇත.

මේ විහාර සංකීර්ණයට පිවිසෙන විට පළමු ව හමුවන්නේ විජ්ජාධර ගුහාව යි. මෙහි තෙමහල් ප්‍රාසාදයක බිම් මහලේ වජ්‍ර මෝස්තරවලින් සහ සිංහ රූපවලින් අලංකාර කරන ලද ආසනයක පිපුණු  නෙලුම් මලක්  මත  සමාධි මුද්‍රාවෙන් හා වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳීන හිඳී පිළිමයක් නෙළා ඇත. මුල් කාලයේ දී වර්ණ ගන්වා තිබූ  බවට සැලකෙන මෙහි උස ආසනයේ සිට උෂ්ණිෂය දක්වා අඩි 15යි අඟල් 2ක් පමණ වේ. බුදු පිළිම වහන්සේගේ ශිර්ෂයට පිටුපසින් රශ්මි මාලාව කැටයම් කොට ඇත. තරමක් වෘත්තාකාර මුහුණකින් සහ පටු නළලකින් යුක්ත ව දක්ෂිණාවෘත කෙස් කැරලි හා සිහින් උෂ්ණිෂයක් සහිත ව සිරස නිර්මාණය කර ඇත. අඩවන් වූ දෙනෙත්වලින් යුක්තව නෙළා ඇති පිළිමය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඉස්මතු කොට පෙන්වීමට සමත් ව තිබේ. වැඩ හිඳීන ආසනයේ පිට ඇන්දේ හරස් පොලු මකර මුඛ, සිංහ රූප සහ නෙලුම් මල්වලින් අලංකාර කර ඇත. ප්‍රාසාදයේ දෙවැනි සහ තෙවැනි මහල්වල දෙපැත්තේ කුඩා බුදු පිළිම වහන්සේ හතර නමකි.

මීළඟට හමුවන්නේ නිස්සින්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්‍රාසනයක වැඩ හිඳීන අඩි 4යි අඟල් 4ක් පමණ වන බුදු පිළිම වහන්සේ ගලින්ම නෙළා තිබේ. පිළිමය දෙපස විජිනිපත් දරා සිටින දෙදෙනෙකි. පිළිමයේ ශීර්ෂය දෙපසින් බ්‍රහ්ම හා විෂ්ණු දෙවිවරුන්ගේ යැයි සැලකෙන පිළිම නෙළා ඇත. ලෙනෙහි බිත්තිවල  බිතුසිතුවම් ඇඳ තිබෙන අතර, එහි ශේෂ තවමත් දොරටුව දෙපස දක්නට ඇත.

මේ ස්‌ථානය ක්‍රි. ව. 1820 ලෙෆ්ටිනන්ට්‌ ෆෝගන් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් මුල්වරට බටහිර ජාතීන්ට හඳුන්වා දී තිබේ. (වික්‍රම ගමගේ 1998(4) වර්තමානයේ මේ ප්‍රතිමා හා ඒ හා සබැඳී බෞද්ධ කලා ලක්‍ෂණ පිළිබඳ ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි, මහැදුරු සෙනරත් පරණවිතාන, ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර, මහැදුරු චන්ද්‍රන් වික්‍රම ගමගේ, ආචාර්ය ඩී. ටී. දේවින්ද්‍ර, මහැදුරු ලීලානන්ද ප්‍රේමතිලක, එච්. සී. බී. බෙල් මහැදුරු ආරියලගමුව, මහැදුරු අනුරාධ සෙනෙවිරත්න, මහැදුරු තිරාණගම රත්නසාර හිමි, බෙල්ලන්විල විමලරතන හිමි, බෙන්ජමින් රෝලන්ඩ්, මහැදුරු එච්. ටී. බස්‌නායක, මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි, මාලිංග අමරසිංහ, ඇස්‌. ඒ. වික්‍රමසිංහ ආදී දෙස්‌ විදෙස්‌ විද්වතුන් රාශියක්‌ විසින් අදහස්‌ දක්‌වා ඇත.