Print this Article


ක්ලේශ යනු කෙලෙසුණු සිතිවිලි ය

ක්ලේශ යනු කෙලෙසුණු සිතිවිලි ය

බුදු දහමෙහි මෙන්ම වෙනත් ආගම්වල ද ධර්ම විරෝධී බලවේග වශයෙන් විවිධ නම්වලින් මාරයා හඳුන්වා ඇත.

මාරයා බුදුරජාණන් වහන්සේට පමණක් නොව භික්ෂු භික්ෂුණීන්ට ද නොයෙක් විට කළ කී දේ මාර සංයුත්තයේ පළ වේ.

අටුවාචාරීන් විසින් පංචවිධ, චතුර්විධ, ත්‍රිවිධ වශයෙන් ‘මාර’ යන්න බෙදා දක්වා ඇත.

ක්ලේශමාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, මෘත්‍යු මාර, දේවපුත්‍ර මාර යන පස්මරුන් අතුරෙන් පුද්ගලත්වය ඇත්තේ දේවපුත්‍ර මාර යන්නට පමණකි. අනික් සතරෙන්ම ගැනෙන්නේ චිත්ත චෛතසිකයන් හා මාහා භූත ආදි රූපත්, හුදු මරණයත් ය.

ක්ලේශ යනු කිළිටි වූ, කෙලෙසුණු සිත් ය. සිත් කිළිටි වන්නේ ලෝභ,දෝස, මෝහ යන මුල් තුනෙනි. තිත්ත වූ හෝ මිහිරි වූ හෝ බීජයෙන් සෑදෙන ගසේ කොළ අතු හා පොතු ආදිය ද තිත්ත හෝ මිහිරි වන්නාක් මෙන් එම අකුසල මූලයන්ගෙන් ඇති වෙන කාම රාග ක්‍රෝධ, මද මාන, ඊර්ෂ්‍යා ආදී සිතිවිලි කිළිටි වේ. ඒවා ‘ක්ලේශ’ නම් වෙයි. මේවා ත්‍රිවිධ, පංචවිධ, දශවිධ එක්දහස් පන්සිය විධ ආදි වශයෙන් විග්‍රහ කොට ඇත. බෞද්ධයාට මේවා පිළිබඳ සුළු වූ හෝ හැඳින්වීමක් බණ ඇසීමෙන්, ඉගෙනීමෙන් පොතපත කියවීමෙන් ලැබේ. නැතහොත් ලබාගත යුතු ය. මෙහිලා සැකෙවින් දැක්වෙන්නේ ඒවාට ‘මාර’ නාමය යෙදීම ගැන ය. ප්‍රාණය නිරුද්ධ වීමෙන් සිදුවන මරණය ‘මච්චුමාර’ නම් වන අතර, සත්ත්වයන්ට සියලු කරදර සිදුකරන හේතු ද බුදු දහමෙහි මාර නාමයෙන් ගැනේ. කාමය, ක්‍රෝධය ආදි කෙලෙස් නිසා කරදර ඇති වන බව කරුණු සලකා බලන විට වැටහෙන්නේ ය.

එහෙයින් ඒ අකුසල සිතිවිලි ක්ලේශමාර නමින් දක්වන ලදි. කරදරකාරයා මාරයකු ලෙස හැඳින්වීම ලෝක ව්‍යවහාරයකි. බුද්ධ වචනය අනුව පංචස්කන්ධය ‘මාර’ ලෙස වදාරා ඇත. එහි වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධ තුන තුළ ම අකුසල චේතසික සියල්ල පවතින බැවින් ඒ ක්ලේශයන් ද මාර නමින් දක්වා ඇත.

සිදුහත් කුමරු මහබිනික්මන් කිරීමේ පටන් බුදු වී පිරිනිවන් පෑම දක්වාම සිදුරු සොයමින් පසුපස හැසිරුණු මාරයකු ගැන බෞද්ධ සාහිත්‍යයෙහි කරුණු සඳහන් වේ. එසේම එක් අවස්ථාවක මාරයාගේ දූවරුන් තිදෙනෙක් ද පැමිණ බුදුරජාණන් වහන්සේ කාමයෙන් පොළඹවන්ට තැත් කළ හැටි ද ප්‍රසිද්ධයි.

මෙහි දේවපුත්‍ර මාරයා යනු ‘පුද්ගලයෙක් නොවේය’ පුද්ගලත්ව රෝපණය කරන ලද කෙලෙස් හෙවත් චෛතසිකයයි. ඇතැම් බොහෝ නූතන උගත් ගිහි, පැවිදි පඬිවරු අවධාරණයෙන් ප්‍රකාශ කරති. එය එසේ යැයි පිළිගතහොත් බුදු දහමේ එන ධර්ම කොට්ඨාස රාශියක් බැහැර කරන්නට සිදුවන්නේ ය. එම නිසා මාරයාගේ පුද්ගලත්වයක් ඇතිවිය හැකිද? යනු විමසා බැලීම සම්‍යග් දෘෂ්ටිය ඇතිවීමට හේතු වන්නේ ය.

බුදු දහමේ පළවන පරිදි උසස්ම කාමාවචර දෙව්ලොව ‘පරනිම්මිත වසවත්ති’ නමින් ප්‍රසිද්ධයි. එහි වසන සියලුම දේවපුත්‍රයෝ මාර නමින් නොගැනෙති. ගැනෙන්නේ ඒ අතර එක්තරා දේව පිරිසකි. ඒ බව සුත්ත නිපාත අටුවාවේ “වසන්ති භූමියෙහි එක්තරා දාමරික දේව පුත්‍රයෙක් තම ප්‍රදේශයෙහි පිරිසට ආධිපත්‍යය පවත්වමින් කාමාවචර ලෝකය ඉක්මවනු කැමැත්තෙන් මරණ අතර, මැරිය නොහැකි වූවන් ද මරන්නට කැමැති වෙයි.

ඕපපාතික සත්ත්වයකු වූ මොහුට පහළම බඹතලය වූ බ්‍රහ්ම පාරිසජ්ජයෙහි බ්‍රහ්මයන්ට ආරූඪ වීමට ද ශක්තිය ඇති බව“ කියා ඇත.

දේව පුත්‍ර මාරයා මෙසේ හඳුන්වා ඇති අතර, සත්ත්වයකු වශයෙන් ඉදිරිපත් වී බෝසතාණන් වහන්සේ බුදු වීම වැළැක්වීමටත්, ශ්‍රාවකයන් රහත් වීම වැළැක්වීමටත්, පිරිනිවන් පෑමට පවා ඇරයුම් කිරීමටත් වෙහෙසුණු දේව පුත්‍රයකු ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි මොහු ප්‍රසිද්ධ ය. මාර සංයුත්තයට අනුව මොහු බුදුරජාණන් වහන්සේ සමඟ සිදු කළ සංවාද රාශියක් ඇත. තෙරුන්ට හා තෙරණියන්ට කළ නිග්‍රහයන් රැසකි. ඒ සෑම තන්හිදීම මොහු පරාජයට පත් වූ හැටි ද විසිතුරු ය.

මේ කියන මාරයා සත්ත්වයකු නොව හුදු පුද්ගලත්වාරෝපිත චෛතසික හෙවත් කෙලෙස් යැයි කියන්නේ කෙසේද? දේවපුත්‍ර මාර නමින් සත්ත්වයකු ඇතැයි කියන අටුවා ආචාරියවරයන්ම කී ලෙස මාර නමින්ද මාරයා සඳහන් වන බව දක්වා ඇති අතර, කෙලෙස් පමණක් නොව සියලුම චිත්ත චෛතසිකයන්මත් මහා භූතාදී රූපත්, සියලුම කර්මත්, හුදු මරණයත් මාර නමින් විග්‍රහ කොට ඇත.

කෙලෙස් කියවෙන තැන කෙලෙස් හැටියටත් සත්වයකු කියවෙන තැන සත්ත්වයකු හැටියටත් මාරයා පෙරැදුරන් හඳුන්වා ඇත. ඊනියා පුද්ගලත්වාරෝපණය ඒ අටුවාචාර්යයන් දුටුවේ නැද්දැයි මෙහිදී විමසිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ක්ලේශයන් පුද්ගලත්වාරෝපණයෙන් වදාළේ කුමටදැයි විමසිය යුතු ය. අටුවාවල කෙසේ වෙතත් පෙළ දහමෙහි ශ්‍රී මුඛපාලියෙහි එන මාරයාගේ පුද්ගලත්වය ඇති ධර්ම රාශිය නිකම්ම සංකල්පයක් පමණක් දැයි විමසිය යුතු ය. තාත්වික ලෙස යථාර්ථ පුද්ගලත්වය තුළ කළ හැකි බව පැවසිය හැකි ය.

ලෝකෝත්තර තත්ත්වයට විරුද්ධ වූ බලවේග සියල්ලක් ම මාර යන්නෙන් අදහස් කර ඇත. සුත්ත නිපාතයේ” ප්‍රධාන සූත්‍රය” මාරයා පුද්ගලත්වයෙන් අමතන මුල්ම ප්‍රකාශයක් වශයෙන් සැලකිය යුතු ය. එහි ‘කාමා තෙ පඨමා සේනා’ ආදි වශයෙන් “තාගේ පළමු යෝජනාව කාමයෝය යනුවෙන් වදාළේ රූපාලංකාර වශයෙනි. ‘තාගේ’ යනුවෙන් කතා කළේ කා සඳහාද? කුමන චෛතසිකයක් ක්ලේශයක් සඳහාද? බුද්ධත්වයට පටහැනිව කුමන බලවේගයක්ද? ඒ වනාහි වසවර්ති මාරයා යැයි අටුවාවෙහි සඳහන් වන්නේ ය. මාරයා යනු මුළුමනින් ම ක්ලේශ හෙවත් චෛතසිකයයි කියන විචාරකයන්ගෙන් විමසිය යුතු කරුණක් නම් ඔබ කියන ඒ ක්ලේශ චෛතසික කා කෙරෙහි ඇතිවූ හෝ පවතින්නා වූ හෝ ඒවාද? බුදුරජාණන් වහන්සේගේද? නැතහොත් අන් අයකුගේද? බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් යැයි පිළිගන්නවා නම් ඒවා බුදුරජාණන් වහන්සේගේ යැයි නොකියනු ඇත. අන් අයකුගේ යැයි කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ දහමට විරුද්ධව ආ සෑම දෙනකුම මාරයන් විය යුතු ය. එසේම ව්‍යවහාරයක් නැත.

මෙම ලිපියෙහි ඉතිරි කොටස බක් අමාවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරිනි.