Print this Article


මැටිබැඹියේ සෝණුත්තර නාහිමිපාණෝ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මැටිබැඹියේ සෝණුත්තර නාහිමිපාණෝ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ශ්‍රී ලංකාද්වීපයේත්, සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතියටත්, දැයේ දූ දරුවන්ගේ නැණස පෑදීමටත් අමිල මෙහෙවරක නිරත රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මැටිබැඹියේ සෝණුත්තර නාහිමියන්ට මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාවෙන් ‘සියනෑ හාපිටිගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනමා ඇත.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මතුරට, මැටිබැඹිය ග්‍රාමය සෝණුත්තර ස්වාමිපාදයන් වහන්සේගේ ජන්ම භූමියයි. 1974 ඔක්තෝබර් මස 27 වැනි දින කැලෑකෝරාලලෑගෙදර රන්බණ්ඩා පියතුමාට සහ මාරාබැද්දේ රත්නායක මුදියන්සේලාගේ කොයිම්මැණිකා මාතාවට දාව අට දෙනකුගෙන් යුතු පවුලක පස්වැන්නා ලෙස මේ කුල කුමරුවා උපත ලැබීය. මැටිබැඹිය ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ඇරඹූ උන්වහන්සේ පසුව ගලගෙදර උඩුව මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය අවසන් කළහ.

කුඩා කල සිට ම පැවති ශාසනික ඇල්ම හේතුවෙන්, 1985 මැයි මස 22 වැනි දින සසුන්ගත වීමට වාසනාව ලැබුණි. මහනුවර, උඩුව, ගල්දොළ ශ්‍රී අසෝකාරාමයේ දී පැවිදි දිවියට පත් උන්වහන්සේගේ ආචාර්යවරයන් වහන්සේ වූයේ විශ්‍රාමලත් විදුහල්පති, තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝනායක දුනුකේබැද්දේ ශ්‍රී ඤාණරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේ ය. උපාධ්‍යායන් වහන්සේ වූයේ එවකට ප්‍රසිද්ධ පඬිරුවනක් වූ රාජකීය පණ්ඩිත උල්ලූදුපිටියේ ශ්‍රී පේමානන්ද නාහිමිපාණන් වහන්සේ ය. 1995 මැයි මස 21 වැනි දින මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී මහානායක මාහිමිපාණන් වහන්සේ් ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාව ඉදිරියේ උපසම්පදාව ලැබූහ.

එමෙන් ම සෝණුත්තර නාහිමියන්ගේ අධ්‍යාපනික ගමන්මඟ ඉතා ආදර්ශවත් ය. මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙන උන්වහන්සේගේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය විය. ගුරු දෙගුරුන්ගේ සිත් දිනා ගනිමින් මූලික ශ්‍රේණියේ සිට ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වාත්, අ.පො.ස. උසස් පෙළ දක්වාත් උන්වහන්සේ අධ්‍යාපනය ලැබුවේ මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙන් විද්‍යාස්ථානයෙනි. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමි කර ගත්හ. මීට අමතරව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව සාර්ථකව නිම කළ උන්වහන්සේ ශාස්ත්‍රීය ලෝකයේ ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමෙන් සන්නද්ධ වියත් පඬිරුවනක් වශයෙන් ප්‍රකට නමක් දිනා සිටිති.

1994 වර්ෂයේ දී පූජාපිටිය විදුමිණ පිරිවෙනින් සිය ගුරු වෘත්තිය ආරම්භ කළ උන්වහන්සේ පසුව පිළිමතලාව ශ්‍රී ධර්මාලෝක අභයරාජ මහා පිරිවෙනේ ද සේවය කළහ. වර්තමානය වන විට බාඳුරාගොඩ, හඟවත්ත විජය ශ්‍රී මුනින්දෝභාස පිරිවෙනේ පරිවේණාචාර්යවරයකු ලෙස දහස් සංඛ්‍යාත සිසුන්ගේ නැණස පාදමින් සේවය කරති. උන්වහන්සේ දක්ෂ, පක්ෂ සුසමාදර්ශී ගුරුවරයකු ලෙස ශිෂ්‍ය පරපුර අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර ව වැඩ වසති.

මීරිගම, මැදගම, හල්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත්වීම උන්වහන්සේගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එවකට අරාජික ව සහ ගරා වැටෙමින් පැවති මෙම ඓතිහාසික විහාරස්ථානය වසර කිහිපයකින් ම අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පරිවර්තනය කළ උන්වහන්සේ විහාරාංග වශයෙන් ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය, පැරණි විහාර මන්දිරයේ සිතුවම් සහ ප්‍රතිමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ සංරක්ෂණය කිරීම, දෙමහල් දහම් පාසල් ගොඩනැඟිල්ල, අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය සහ දෙමහල් සංඝාවාසය වැනි නවකම් රැසක් එකතු කරමින් ප්‍රදේශයේ සිත්කලු විහාරස්ථානයක් වශයෙන් කා අතරත් ජනපි‍්‍රයභාවයට පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළහ.

මතුරට, වට්ටාරන්තැන්න ශ්‍රී පූර්වාරාම සඟ පරපුරේ උරුමය ඉදිරියට ගෙනයන සෝණුත්තර ස්වාමිපාදයන් වහන්සේ මේ වන විට ශිෂ්‍ය හිමිවරු නව නමකට ආචාර්යත්වය සපයමින් සඟ පරපුර පෝෂණය කරති. මතුරට සෝරත හිමි, මතුරට සුධම්ම හිමි ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් රැසක් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටිති.

මීරිගම ප්‍රාදේශීය තෛ‍්‍රනිකායික භික්ෂු සංගමයේ සක්‍රිය සාමාජිකයකු ලෙස සෝණුත්තර නාහිමියෝ සියලුම නිකායන්ට අයත් මහා සංඝරත්නය සමඟ මිත්‍රශීලී ව කටයුතු කරති. විහාරස්ථ දායක පවුල් 375ක ආගමික අවශ්‍යතා ඉටු කරමින් ශ්‍රී සරණජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස වසර 13ක් පුරා ප්‍රදේශයේ බොදු දරුවන්ගේ දහම් පිපාසය සංසිඳුවීමට ද කටයුතු කරති.

මෙවැනි ශාසනලැදි, ගුණගරුක, උගත්, වියත් යතිවරයාණන් වහන්සේ නමකට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාවෙන් පිරිනැමූ මෙම “සියනෑ හාපිටිගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝ නායක” පදවිය උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට ලැබුණු නිසි ඇගයීමකි. නව පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත මැටිබැඹියේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන සෝණුත්තරාභිධාන නායක හිමිපාණන් වහන්සේට ලෝකශාසන සංග්‍රහය උදෙසා සේවය කරන්නට තව තවත් ශක්තිය සහ නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමු.