Print this Article


ජීවිතයට භාවනාව 04: සතර ආරක්‍ෂක භාවනා

ජීවිතයට භාවනාව 04:

සතර ආරක්‍ෂක භාවනා

භාවනාව ප්‍රධාන වශයෙන් සමථ සහ විදර්ශනා යැයි දෙයාකාර ය. සරලව අවධානය යොමු කිරීමේ දී සමථ භාවනාවෙන් සිත එක්තැන් කරයි. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව සහ ඥානය ඇති කරයි. අනිත්‍ය, දුක්ඛ, අනත්ත පිළිබඳ අවබෝධය වැඩි කොට නිවනට යොමු කරයි.

භාවනාව පිළිබඳ පුහුණුව අඩු අපි මේ භාවනා දෙකම දියුණු කළ යුතු ය. පුහුණු කළ යුතු ය. විදර්ශනාවට යොමු වීමට පෙර සමථ භාවනාව යටතේ යම් පුහුණුවක් ලබා ගැනීම පසුව විදර්ශනා වැඩීමට මහත් රුකුලකි.

සමථ භාවනාවට අදාළ භාවනා ක්‍රම 40 කි. ඒවාට සම සතළිස් කර්මස්ථාන යැයි ද කියයි.

දස අනුස්සති - 10,

දස අසුබ - 10,

දස කසිණ - 10,

සතර බ්‍රහ්ම විහාර - 04,

සතර අරූප (ආරූප්‍ය) - 04,

ආහාරයෙහි පිළිකුල

(ආහාරෙ පටික්කූල සඤ්ඤාව) - 01 සහ චතු ධාතු වවත්ථාන - 01කි. එකතුව 40 කි.

මෙම භාවනාව ක්‍රම හතළිහම එක් අයෙක් පුහුණු කිරීමට අවශ්‍ය නැත. මේවායින් තමාට ගැලපෙන භාවනා තෝරාගෙන පුහුණු විය හැකි ය.

ශ්‍රද්ධාව අඩුයි නම් බුදුගුණ භාවනාව, තරහ ගතිය වැඩි නම්, මෛත්‍රී භාවනාව, ආසාව වැඩි නම් අසුබ හෝ පිළිකුල් භාවනාවත් සහ අලසකම, මරණයට බිය නැතිකර ගැනීමට මරණානුස්සති භාවනාවත් වශයෙන් අරමුණු කළ හැකි වේ.

සතර ආරක්ෂක භාවනා

සතර දෙසින් ආරක්‍ෂාව දෙන වටිනා භාවනා ක්‍රම හතරකි. චතු + ආරක්ඛ චතුරාරක්ඛා භාවනා යනුවෙන් පාලි භාෂාවෙන් කියයි. පිරිත් පොත්වල සතර කමටහන් යැයි ද දක්වා ඇත. කමටහන යනු භාවනා ක්‍රමය, භාවනා අරමුණ, උපදේශය යැයි විවිධ අර්ථ ගෙන දෙයි. භාවනා උගන්වන ගුරුවරයාට කර්මස්ථානාචාර්ය යැයි කියයි. කම්මට්ඨානාචාර්ය යනුවෙන් අපි භාවිත කරමු.

මෙම භාවනා ක්‍රම සතර සැම කෙනෙක් ම අනිවාර්යයෙන් ම පුහුණුවිය යුතු ය.

ඊට හේතුව බෙහෙත් හතරක්, ආරක්‍ෂකයන් හතර දෙනෙක්, ආලෝක හතරක්, උපකාරක හතරක් වගේ අපේ සිත එකඟ කර ගැනීමට මහත් සේ උදවු වන නිසා ය. මේ භාවනා හතර පිළිබඳ ගාථා පන්ති හතරක් පිරිත් පොත්වල දක්වා ඇත. එනම්

“බුද්ධානුස්සති මෙත්තාච

අසුභං මරණස්සති” යනුවෙනි. බුදුගුණ සිහිකිරීමේ භාවනාව බුද්ධානුස්සතිය යි. මෙත් වැඩීම හෙවත් මෛත්‍රිය දියුණු කිරීමේ භාවනාව මෙත්තා භාවනාවයි. ශරීරයෙහි අසුබ බව මෙනෙහි කිරීමේ භාවනාව අසුබ භාවනාවයි. මරණය පිළිබඳ නිතර සිහිකිරීමේ භාවනාව මරණානුස්සතියයි. මෙහි අනුස්සති යනු සිහිකිරීම යන තේරුම දෙන වචනයකි.

බුද්ධානුස්සති භාවනාව

බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. බුදුගුණ අනන්තව ඇතත් අපට අරමුණු කර ගැනීමට පහසු වන අයුරින් නව අරහාදි බුදුගුණ සිහි කළ හැකි ය. මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින් ද, සංසාර සාගරයෙන් එතෙර වූ හෙයින් ද, සියලු ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වන හෙයින් ද අරහං නම් වන සේක. ආදී වශයෙන් අපට අරහං බුදුගුණය මෙනෙහි කළ හැකි ය. මෙලෙසින් අනෙක් බුදුගුණ අට ද මෙනෙහි කළ හැකි ය.

මෛත්‍රි භාවනාව

මෙත් බව, මිතුරු බව දියුණු කිරීම මෛත්‍රි භාවනාවයි. මෙහි දී සිතේ ඇති වන තරහ ගති ය, වෛරී ගතිය, ක්‍රෝධ ගතිය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ක්‍රමානුකූලව මෙය දියුණු කිරීමේ දී තරහ නැති කිරීම දක්වා ගමන් කළ හැකි ය.

පළමුව තමාට මෙත් වැඩීමට පුරුදු විය යුතු ය. පසුව ළඟ හැසිරෙන අයටත්, පසුව සියලු සත්ත්වයාටමත් මෙත් වැඩීමට හුරු කර ගත හැකි ය.

අසුබ භාවනාව

සියල්ලම සුබ වශයෙන් පමණක් දැකීමට අපි පුරුදු වී සිටිමු. ඒ නිසා අසුබ බව වැසී පවතී.

ජීවිතය තුළ සුබ අසුබ දෙකම පවතී. ශරීරයේ හා බාහිර දේවල් සුන්දර සහ ආකර්ෂණය වශයෙන් පමණක් කල්පනා කිරීමයි. විශේෂයෙන් තමන්ගේ ශරීරය සුබ වශයෙන් පමණක් කල්පනා කිරීමට පුරුදු වී සිටියි. ඒ අනුව ශරීරය තුළ පවතින තිස් දෙකක් වූ කුණප කොටස් අප දන්නේ නැත. මේ ශරීරය අපිරිසිදු වන බව, නව දොරකින් අපිරිසිදු දේවල් පිටවන බව කල්පනා නොකරමු. එනිසා මේ ශරීරය ලස්සනට පමණක් පවත්වා ගැනීමට මහන්සි ගනී.

මේ නිසා නියම ස්වභාවය අමතක වී සුබ වශයෙන් පමණක් කටයුතු කරන නිසා මානසික පීඩන රැසකට මුහුණ දීමට සිදුව ඇත. ශරීරයේ පිළිකුල, මළ සිරුරේ පිළිකුල් බව සිහි කිරීම, මෙනෙහි කිරීම, මතක් කිරීම, අසුබ භාවනාවයි. තම ශරීරය වගේම අන්‍යයන්ගේ ශරීර කෙරෙහි ද දක්වන ඇලීම, බැඳීම, ආශාව අඩු කර ගත හැකි ය. ක්‍රමාණුකූලව යම් දවසක තණ්හාව සම්පූර්ණයෙන් ම දුරුකිරීමට උපකාරී වනු ඇත.

මරණානුස්සති භාවනාව

මරණය පිළිබඳ සිහි කිරීම මරණානුස්සතිය යි. ජීවිතයේ අනිත්‍යභාවය, නිත්‍ය නොවන බව, අස්ථීර බව, තාවකාලික බව, සිහි කිරීම, මතක්කිරීම, මෙනෙහි කිරීම, අනුස්මරණය කිරීම මරණානුස්මෘතියයි. මරණාණුස්සතියයි.

අපි හැමෝටම මැරෙන බව අමතකව ගොස් ඇත. ඒ නිසා නොමැරෙන අය වශයෙන් සිතමු. වැඩ කරමු. මෙහි ප්‍රතිඵල වඩාත් භයානක ය. හොඳ නරක අමතක වෙයි. නරක දේවල් ද සිදු කරමින් ජීවිතය ජය ගැනීමට වැඩ කරයි. විශාල පාපකර්ම සිදු කරගනී.

එම නිසා මරණය සිහිකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අත්‍යවශ්‍ය භාවනාවකි. ජීවිතයේ අනිත්‍ය බව මරණයේ නිත්‍ය බව මෙනෙහි කිරීම මෙම භාවනාවේ ප්‍රධාන කාර්යයි. ජීවිතං අනියතං මරණං නියතං යනුවෙන් කියමින්, සිහිකරමින් මෙම භාවනාව කළ හැකි ය.