අදහස සඵල වන තුරු
පසුබසින්න එපා
ප්‍රතිපත්ති දහම් හි වීරිය උපදවමු,
අමා නිවන ම ප්‍රාර්ථනා කරමු
සද්ධර්මාරක්ෂක ධර්මාචාර්ය
විද්‍යාවේදී (ගෞරව)
බුද්ධික ඉන්දීර ධනපාල
ලොකෝත්තර ඥාන ලැබීමට උපකාර වන ධර්ම බෝධිපාක්ෂික ධර්ම යි. ස්ව සන්තානයෙහි ඇති කර
දියුණු කර ගත යුතු වූ බෝධිපාක්ෂික ධර්ම තිස් හතකි.
ඒවා නම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම පහ,
බල ධර්ම පහ, බොජ්ඣංග ධර්ම හත හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
මෙයින් ඉන්ද්‍රිය ධර්ම පහ නම්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති
ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වෙයි. මේ ලිපියෙන් සාකච්ඡා කරනු
ලබන්නේ විරිය ඉන්ද්‍රිය පිළිබඳවයි.
ඉන්ද්‍රිය යනු ඉසුරුමත් බව, ප්‍රධාන බව, ස්වකීය අධිපති බව පතුරුවන බවයි.
අධිපති බව පැවැත්වීම යනු අන්‍ය ධර්මයන් තමා හට අනුකුල කරවා ගැනීමයි.
විරිය ඉන්ද්‍රිය යන මෙහි විරිය යනු මැලිකම ඉක්මවා, කිසියම් කාර්යයක් ආරම්භ
කිරීමේදීත්, කාර්යය සඵල වන තෙක්ම, ක්‍රියාව මනාකොට සිදුකරන්නා වූ බාධක මඬිමින්
කරන්නා වූ සිතේ ඇතිවන මානසික ශක්ති විශේෂයකි.
බෝධිපාක්ෂික ධර්ම විස්තරයෙහි නව තැනක මේ විරිය ඉන්ද්‍රිය සඳහන් වේ. එනම් සම්‍යක්
ප්‍රධාන සතර, විරිය සෘද්ධිපාදය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ඣංගය,
සම්මා වායාම යන නවය යි.
විර්යයෙහි ලක්‍ෂණය නම් යම් කාර්යයක උත්සාහවත් බව යි. විර්යයෙහි කාර්යය, විරිය සමඟ
ඇතිවන ගුණ විශේෂවලට රුකුල් දීමයි. වීර්යය සිතට වැටහෙන්නේ කුසීත බව, කම්මැලිබව
කරණකොට ගෙන පසුබට වීමට ඉඩ නො තබන ආකාරය යි. විරිය ඇතිවීමට ආසන්න කාරණය වීරියාරම්භ
වස්තූ සහ සංවේග වස්තු පිළිබඳ නුවණින් කල්පනා කිරීමයි.
මෙසේ විරිය ඉන්ද්‍රිය ගැන සලකන විට එයින් අප ඉගෙන ගත යුත්තේ කෙලෙසුන්ගෙන් නික්මීම
විනා කම්මැලි ගතියෙන්, නිදිබර ගතියෙන් යුක්තව වසන්නට නොවෙයි. අදහස සඵල වනතුරු
නොපසුබස්නා වීර්යයෙන්, පරාක්‍රම වීර්යයෙන් වීරිය කිරීම යි. වීරිය උසස් ගුණයකි.
විරිය ඉන්ද්‍රිය පිරිසිදු වීමට කරුණු තුනක් ප්‍රයෝජනවත් වන බව පටිසම්භිදාමග්ග
පාලියෙහි සඳහන් වේ.
(1) කුසීතෙ පුග්ගලේ පරිවජ්ජයතෝ: එනම් දන්දීමට, භාවනා කිරීමට, සිල් සමාදන් වීමට,
ධර්මය ඇසීමට, වන්දනා කිරීමට සමහර කෙනෙක් කුසීතකම් දක්වයි. හිස රිදෙනවා කියයි. මට
මහන්සියි කියයි. මට නිදිමතයි කියයි, වැඩ තියෙනවා කියයි. කෑවේ නැහැ කියයි. දැන් කෑවා
විතරයි කියයි. දැන් උණුසුම්. දැන් සීතලයි. දැන් උදේ වැඩියි. දැන් හැන්දෑවෙලා වැඩියි
කියා නොයෙක් නොයෙක් කරුණුු ගෙන හැර දක්වා කළ යුතු වැඩ, කළ යුතු කුසල කර්ම පසුවට කල්
දමයි. කුසල් කිරීමට ප්‍රමාද වෙයි. අලස වෙයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරින් වැළකී
සිටීම, අදහස් පිළිනොගැනීම විරිය ඉන්ද්‍රිය පිරිසිදු වීමට හේතු වෙයි.
(2) ආරද්ධවිරියෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො
ආරද්ධ විරිය පුද්ගලයන් නිතරම උට්ඨාන වීර්යයෙන් යුතුව තමන්ගේ එදිනෙදා කටයුතුවල
සැලසුමක් ඇතුව යෙදේ. ඒ වගේම දන්දීමට, සිල් රැකීමට, භාවනා කිරීමට, ධර්මය ඇසීමට,
එදිනෙදා බුද්ධ වන්දනා කිරීමට ආදී ආගමික කටයුතුවලටත් කිසිලෙසකින්වත් අලස නොවේ. දැන්
රෑ වෙලා. දැන් පාන්දර. දැන් දවල් වෙලා. දැන් උණුසුම්. දැන් සීතල. දැන් බඩගිනි. දැන්
පිපාසයි ආදී කිසි දෙයක් ගණන් ගන්නේ නැත. ගණන් නො ගෙන දන්දීම්, සිල් රැකීම්, භාවනා
කිරීම්, බුද්ධ වන්දනා කිරීම්වල ඉඩ ලද සෑම විට ම යෙදේ. සෑම වෙලාවක ම තමන් ඉදිරියට
යයි. එවැනි උත්සාහවන්ත, විරියවන්ත අනලස් වූ, යහපත් වූ පුද්ගලයන් තෝරාගෙන ඇසුරු
කිරීම විරිය ඉන්ද්‍රිය පිරිසිදු වීමට හේතු වෙයි.
(3) සම්මප්පධානෙ පච්චවෙක්ඛතෝ
සම්‍යක් ප්‍රධාන වීර්යය සිහිකිරීම
1. නුපන් ලාමක අකුසල ධර්ම නූපදනා සඳහා කැමැත්ත උපදවයි. ඒ සඳහා වෑයම් කරයි.
වීරියාරම්භ කරයි.
2. උපන් ලාමක අකුසල ධර්ම ප්‍රහාණය සඳහා කැමැත්ත උපදවයි. ඒ සඳහා වෑයම් කරයි.
වීරියාරම්භ කරයි.
3. නූපන් කුසල ධර්ම උපදනා සඳහා කැමැත්ත උපදවයි. ඒ සඳහා වෑයම් කරයි. විරියාරම්භ
කරයි.
4. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම සඳහා, විනාශ නො වනු සඳහා, වර්ධනය වනු පිණිස,
විපුලත්වයට පත්වනු පිණිස, භාවනාවෙන් පරිපූර්ණ වනු පිණිස කැමැත්ත උපදවයි. වෑයම්
කරයි, විරියාරම්භ කරයි.
බලවත් ව උත්සාහ කරයි.
කුසීත වස්තු අටෙන් බැහැරවීමෙන් වීරියාරම්භ වස්තූ සිහිකිරීමෙන් විරිය ඉන්ද්‍රිය
උපදී, පිරිසිදු වේ.
කුසීත වස්තු අට නම්,
(1) වැඩ කිරීමේ දී මට වෙහෙසෙන්නට සිදුවන්නේ ය. වෙහෙසෙන්නට ඇති නිසා දැන් නිදන්නට
ඕනෑය ‘යි කළ යුතු වැඩ අතපසු කොට නිදා ගැනීම.
(2) යම්කිසි වැඩක් කොට වෙහෙසුණු පසු මම දැන් වෙහෙසී සිටිමි ‘ යි කළ යුතු වැඩ අතපසු
කොට නිදා ගැනීම.
(3) ගමනක් යන්නට ඇති කල්හි ගමනක් යන්නට තිබේය‘ යි කළ යුතු වැඩ අතපසු කොට නිදා
ගැනීම.,
(4) ගමනක් ගොස් ආපසු අවුත් දැන් මම වෙහෙසී සිටිමි‘ යි කළ යුතු වැඩ අතපසු කොට නිදා
ගැනීම.
(5) වැළ¼දීමට සෑහෙන පමණ ආහාරයක් නොලත් කල්හි අද මම සෑහෙන පමණට ආහාර නො ලදිමි. අද
මගේ කයට ශක්තිය නැතැයි කළ යුතු වැඩ අතපසු කොට නිදා ගැනීම.
(6) සෑහෙන පමණට ආහාර ගත් පසු අහර වැළඳූ මේ වේලාවෙහි මගේ කය බර ය. අකර්මණ්‍යය යි කළ
යුතු වැඩ අතපසු කොට නිදා ගැනීම.
(7) මඳ රෝගයක් ඇති වූ කල්හි දැන් මට සනීපයක් නැතැයි කළ යුතු වැඩ අතපසු කොට නිදා
ගැනීම.
(8) හටගත් රෝගය සුව වූ කල්හි සනීප වූ හැටියේම මට වැඩ නොකළ හැකි ය. තවම මම දුබල
වෙමිය‘ යි කළ යුතු වැඩ අතපසු කොට නිදා ගැනීම.
තවද සංවේග වස්තු අට මෙනෙහි කරන්නාටත් විරිය ඉන්ද්‍රිය උපදී, පිරිසිදු වේ.
මේ සංවේග වස්තු අට නම් ජාති දුක හෙවත් ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක, ව්‍යාධියේ
දුක, මරණ දුක, අපා දුක, අතීත සංසාරයේ විඳි දුක, මතු සංසාරයේ විඳිනට තිබෙන දුක, අද
ජීවත්වීමේ, ආහාර සෙවීමේ දුක.
“මෙතරම් දුක් ගොඩක් අපි හැමෝම ගෙවාගෙන, විඳගෙන පැමිණියා නේද? සිතා නිම කළ නොහැකි
නොයෙක් නොයෙක් දුක් තව මතු සංසාරේ වි¼දීමට නියමිතයි නේද?” ආදී ලෙස සිහිකරන විට,
නුවණට හුරුව කල්පනා කරන විට, සම්‍යක් ප්‍රධාන වීර්යය පිළිබඳ මෙනෙහි කරන විට කුසල්
කිරීමට උනන්දුවක් ඇති වේ. එසේ කරන අයකුට විරිය ඉන්ද්‍රිය උපදිනවා, වර්ධනය වෙනවා.
මහා සීව තෙරුන් වහන්සේගේ, චක්ඛුපාල තෙරුන් වහන්සේගේ, පීතිමල්ල තෙරුන් වහන්සේගේ චරිත
කතා සිහිකිරීමේදීත්, සාරිපුත්ත, මුගලන්, මහා කාශ්‍යප, අනුරුද්ධ, භද්දිය, සෝන,
රට්ඨපාල, ආනන්ද, රාහුල, බක්කුල, නාලක ආදී මහරහතන් වහන්සේගේ වීරිය පිළිබඳ මෙනෙහි
කිරීමේදීත්, වන්නුපථ ජාතකය, මහා සීලවරාජ ජාතකය, පඤ්චායුධ ජාතකය, මහා වානරින්ද
ජාතකය, මහා ජනක ජාතකය ආදී ජාතක කතා සිහිකිරීමේදීත් විරිය ඉන්ද්‍රිය ඇති වීමට හේතු
වේ.
මෙසේ ලෞකික, ලෝකෝත්තර සුව සාදා ගැනීමටත්, අවසානයෙහි නිර්වාණය සාදා ගැනීමටත්,
චක්‍රවර්ති රජතුමාගේ අශ්වරත්නය වැනි සීග්‍ර වූ, සැහැල්ලු වූ, ජවසම්පන්න වූ, වීර්යය,
වීරිය පාරමිතාවක් බව සලකා විරිය ඉන්ද්‍රිය, විරිය බලය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය,
විරිය ඉද්ධිපාදය, විරිය සම්බොජ්ඣංගය, සම්මා වායාමය යන වීර්යයේ ම ප්‍රභේද නුවණින්
සලකා ප්‍රතිපත්ති දහම්හි විරිය උපදවා අමෘත මහා නිර්වාණය සාදා ගැනීමට අදිටන් කර ගමු. |