Print this Article


දැහැමි සිත සුවපත් භවගමනකට

දැහැමි සිත සුවපත් භවගමනකට

අපි සත්වයන්, මිනිසුන් හැටියට මේ ලෝකයේ උපත ලබන්නේ ප්‍රතිසන්ධි සිතත් සමඟ යි.

ඒ ප්‍රතිසන්ධි සිතට අරමුණු වන්නේ පෙර භවයේ මරණාසන්න සිතට අරමුණු වුණු කර්මය, කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත යන තුනෙන් එකක් මත නව භවයේ පළමු වන සිත ලෙස සකස් වීමෙන් ය.

මේ සිත සකස් වන්නේ තමන්ගේ ජීවන රටාව තුළ සිතිවිලි පෙළගැස්වෙන හෙවත් චිත්තවීථි සකස්වන ආකාරය අනුවයි. මෙහි දී කර්මය විපාක දෙන ආකාරය සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ගරුක, ආසන්න, ආචිණ්ණ හා කටත්තා යනුවෙන් වදාළ කරුණු සම්බන්ධයෙන් දැනුමක් ඇති කර ගෙන අපේ ජීවිත ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන්නට පුළුවනි.

ගරුක අකුසල පක්ෂයේ කර්ම වන්නේ පංචානන්තරිය පාප කර්ම හා නියත මිත්‍යා දෘෂ්ටිගත සිතිවිලියි. එවැනි කර්ම රැස්කර ගත් අයගේ දෙවන භවය අපායගාමීය. එය වෙනත් කර්මයකින් වළක්වා ගත නො හැකි ම යි. කුසල පක්ෂයට වැටෙන්නේ බරපතළ කුසල සිතිවිලි හා බැඳුණු කර්ම යි. ධ්‍යාන උපදවා ගත් මහග්ගත කුසල සිත් ඇත්තෝ වැඩි දියුණු කරගත් ධ්‍යාන මේ භවයෙහි පිරිහීමකට පත් කර ගත්තේ නැත්නම් මේ භවයෙන් ඉවත් වන්නේ බ්‍රහ්මලෝකවල ප්‍රතිසන්ධිය ඇතිව යි. ආසන්න කර්ම වන්නේ මරණාසන්න ක්ෂණයෙහි හෝ කරන ලද කුසලාකුසල සිතිවිල්ලකි.

ආචිණ්ණ කම්ම වන්නේ කාලාන්තරයක් තුළ එක දිගට කරන ලද කුසල, අකුසල සිතිවිල්ලක් හෝ කලක් නො කොට නැවත නැවත කරන ලද කුසලාකුසල සිතිවිල්ලකි. මෙයට ම යබ්බහුල කර්ම කියලත් කියනවා.

කටත්තා කර්ම නම් ඉහත කියා තියෙන කර්මවලට අයත් නො වූ, වරින් වර කරන ලද කුසලාකුසල කර්ම පිළිබඳ චේතනා යි. ඒ කර්ම අපරාපරිය වේදනීය කර්ම බවට පත් වෙනවා.

මේ අනුව පළමුවෙන් ම එනම් මේ භවයෙහි හෝ දෙවන භවයෙහි හෝ අනිවාර්යයෙන් ම ගරුක කර්මත්, එවැනි කර්ම නැති නම් ආසන්න කර්මත්, එසේත් නැතිනම් ආචිණ්ණ කර්මත් මේ තුන ම නැතිනම් කටත්තා කර්මත් පිළිබඳ චේතනාවලට අනුව ඊළඟ භවය සකස් වෙන ප්‍රතිසන්ධි සිත බවට පත් වෙනවා. එය කුසල, අකුසල කර්ම අනුව යි.

මේ කර්ම විපාක දෙන ආකාර ලෙසත්, කාල ලෙසත් සතර ආකාර වෙනවා. කෙසේ වුවත් මෙහි දී වැදගත් වන්නේ අපි හැම සත්වයෙක් ම අප විසින් කරන කර්ම එක්ක අපේ සසර ගමන සකස් කර ගන්නවා කියන එකයි. එය වෙනත් දෙවි කෙනකුට, අදෘෂ්‍යමාන ශක්තියකට භාර වූවක් නොවෙයි. එම තත්වය නිර්මාණය කර ගන්නේ තමන් විසින් ම යි. මෙහි දී තමා විසින් කරනු ලබන කර්ම අනුව තමන් විසින් ම මරණාසන්න සිත සකස් කර ගන්නා බව අප අමතක කරන්නට හොඳ නැහැ. එයට අනුව ප්‍රතිසන්ධි සිතත් ඇති වන බව අප තේරුම් ගැනීම මෙහි දී ඉතා වැදගත් වෙනවා.

මේ කරුණු ටික මේ විදිහට ප්‍රකාශ කළේ අප හැම කෙනෙක් ම මෙලොව ගත කරන ආයුෂ ප්‍රමාණය අවසන් වුණහම නැවත භවයක් අල්ලා ගන්නවා. මේ කරුණෙහි දී අප විසින් මනා සතියෙන් යුක්තව හැම විටකදී ම ක්‍රියා කළ යුතු වෙනවා. තමන් මැරෙන අයකු බවත්, නැවත භවයක් ආරම්භ කරන බවත් එය සුවදායක කර ගතයුතු බවත් වටහා ගත යුතු වෙනවා. ඒ නිසා හැම විට ම කුසලය පැත්තට සිත යොමු කර කුසල චේතනා මුල් කර ගෙන අපේ සිතිවිලි සකස් කර නො ගත්තොත් අපරාපරිය වශයෙන් පෙර භවයක දී හෝ මේ භවයේදී ම හෝ කරන ලද වෙනත් අකුසලයක් සම්බන්ධ කර්මයක් මුල් වී ස්ථිර වශයෙන් අපායගාමි වීමේ අවකාශ බහුල වෙනවා.

මේ පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ එන එක්තරා කථා පුවතක් නිදසුන් කර පෙන්වා දෙන්නට පුළුවනි.

එදා කෝසල ජනපදයෙහි රජකම් කළ බලවත් ම රජකු ලෙස පසේනදි කොසොල් රජතුමා බොහෝ සෙයින් කාමභෝගි ජීවිතයක් ගත කළා. කොසොල් රටේ අගනගරය වූ සැවැත් නුවර අපේ බුදුරජාණන් වහන්සේ වැඩි ම වස් කාලයක් (වසර 25 ක්) ගත කළා. ජේතවනාරාමයෙහි වසර 19 කුත්, පුර්වාරාමයෙහි වසර 06 කුත් ලෙස. මේ අවස්ථාවෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත්තේ රජුගේ අගබිසව වූ කෝසල මල්ලිකා දේවිය යි.

ඉතින් මේ නිසා දේවිය හැම විට ම දනට පිනට ලැදි වුණා. රටවැසි ජනතාවටත් අතිශයින් මෙත් සිත් උපදවා ගෙන කටයුතු කළා. විශාල වශයෙන් මාලිගාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන්පැන් දුන්නා. තෙරුවන් කෙරෙහි ද බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතු ව ක්‍රියා කළා.

දිනක් රාජමාලිගාවෙහි ම හැදුණු වැඩුණු ශක්තිමත් සුනඛයෙක් දේවිය සමඟ කාමසේවනයෙහි යෙදුණා. මේ කරුණ මාලිගාවේ උඩුමහලේ සිටි රජතුමා දුටුවා. මේ කරුණ සම්බන්ධ ව රජතුමා දේවියගෙන් විමසා දොස් පැවරුවා. දේවිය එය එසේ නො වූ බව පවසමින් මුසා බස් කිවුවා. දැන් පාප ක්‍රියා දෙකක් ම සිදු වී හමාරයි. එකපැත්තකින් හිරි ඔතප් ය.

මුසා බස් කීමෙන් පන්සිල්හි සිව්වන සිල්පදයත් බිඳී ගොස් ය. රජතුමා සමඟ එක්ව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අසූමහා ශ්‍රාවකයන් වහන්සේට මහදන් දෙමින් දනට පිනට ලැදි ව ක්‍රියා කළත් දේවියගේ සිත හැම විට ම මේ හිරි ඔතප් බිඳීම ගැනත්, පන්සිල්හි හතරවන ශික්ෂාපදය වූ මුසාවාදයෙන් වැළකීම නම් මේ සිල්පදය කැඩීම ගැනත් පසුතැවිල්ල හැමවිටම සිතට වදයක් වුණා.

මේ සියල්ල මෙසේ සිදු වුණත් රජතුමාගේ සිතේ මල්ලිකාවන් පිළිබඳ සෙනහසේ අඩුවක් වුණේ නැහැ. දේවිය මළ පසු ආදාහන කටයුතු ඉතා ඉහළින් සිදු කළා. රජතුමාගේ සිතේ නිතරම මගේ දේවිය කොහේ ඉපදී ඇත්දැයි යන සිතිවිල්ල දෝංකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ හමුවීමට දින හතක් තිස්සේ රජතුමා දෙව්රම් වෙහෙරට ගියත් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා මේ කරුණ තමන් වහන්සේගෙන් විමසීමට අමතක වන ලෙසට. ඉතින් රජතුමා හත් දිනක් ම බුදුරදුන් හමුවට ගියත් රජතුමාට බුදුරදුන්ගෙන් විමසීමට ආ ප්‍රශ්නය සිහියට ආවේ නැහැ. ඒ දින හත ම අවීචියෙහි බලවත් දුක් විඳීමින් සිටි පුවත රජතුමාට කීවොත් රජතුමා මහත් දුකකට පත් වන නිසා ම බුදුරජාණන් වහන්සේ මේ විදිහට අධිෂ්ඨාන කොට ක්‍රියා කළා. අටවන දවස වන විට දේවිය මනුලොව සිදු කළ බලවත් පින්කම්වල ශක්තිය බලවත් නිසා හිරිඔතප් බිඳුණු ලාමක පාප කර්මයේ බලය යටපත් වී තව්තිසා දිව්‍ය ලෝකයෙහි දෙවඟනක් ලෙස පහළ වුණා. එය අපරාපරිය වේදනීය ලෙස කුසල පක්ෂයේ විපාක ලබා දීමක් වශයෙන් පෙන්වා දිය හැකියි.

ඉතින් අප මේ කථා පුවතින් තේරුම් ගතයුතු කරුණු තුනක් තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ නිරන්තරයෙන් ම අපේ සියලු ම ක්‍රියාවන් (ශරීරයෙන් හෝ වචනයෙන්) තවත් අයකුට හෝ තමන්ට හෝ අවැඩක් නො වන අයුරින් ජීවිතය පවත්වාගෙන යමින් තෙරුවන් සරණ ගොස් පස් පවෙන් වැළකී ජීවත් වීමයි. මේ තුළින් නිතර ම කුසල සිතිවිලි ශක්තිමත් වෙනවා. ඒවා ආචිණ්ණ කම්ම බවට පත් වී මරණාසන්න සිත ශක්තිමත් වෙනවා. එය මරණාසන්න සිතට බලපෑම් කරනවා. දෙවැන්න වන්නේ මේ අතර අහම්බෙන් හෝ ලාමක ක්‍රියාවක යෙදී හිරි ඔතප් බිඳීම වැන්නක් නිසා අකුසල පැත්තට යොමු වීමට ඉඩකඩ ඇති විය හැකි නිසා (සම්මා) සතියෙන් හෙවත් සිහියෙන් ජීවිතය පවත්වා ගැනීමට මහත් වූ (සම්මා වායාම) උත්සාහයකින් ක්‍රියා කිරීමයි. තෙවැන්න වන්නේ මරණාසන්න සිතට යොමුවන කුසල සිත් බහුල වශයෙන් වැඩි දියුණු කර ගැනීමට ක්‍රියා කිරීමයි.

අපේ පැරන්නන් පින් පොතක් භාවිත කළේ මේ අරමුණෙන්. මෙහි දී ජීවිතයේ අවසාන අවස්ථාවට පැමිණෙමින් සිටින අය සමඟ දැහැමි කථාබහ කිරීම, කරන ලද කුසල ක්‍රියාවන් සිහිගැන්වෙන සරල කරුණු සාකච්ඡා කිරීම, මොනම ආකාරයකින්වත් අනවශ්‍ය ඕපාදුප කථාවලින් තොරව, දහමට යොමු වන යහපත් වචන කථා කිරීම වැදගත් වෙනවා. මෙම පිළිවෙතෙහි පිහිටීමෙන් හැමදෙනාගේ භවගමන අසිරිමත් වී, සැපවත් වීමට හේතු වෙනවා.