යාපනය සරසවි විහාරය
සම්බුදු සසුනට පූජා වූ වගයි
සරසවියක විද්‍යාර්ථින් අතින් ඉදිවූ
එකම විහාරය

යාපනය සරසවියේ බෞද්ධ සහෝදර සංගමය මූලික වී අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණු යාපනය සරසවි
විහාරය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය මාර්තු මස 08 වැනි දින
මහත් හරසරින් පැවැත්විණි.
සිංහල බෞද්ධයන් කිසිවකු ජීවත් නො වන කිලිනොච්චිය වැනි ප්‍රදේශයක විශ්වවිද්‍යාල
අධ්‍යාපනය ලබන පින්වත් දරු දැරියන් 3500ක් පමණ එක්වී ඉමහත් කැපවීමෙන් සියලු විහාර
අංගවලින් යුතුව මේ රමණීය විහාරය ඉදිකොට තිබේ.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ද, ශ්‍රී අරහන්තක ධාතු ද නිධාපිත සුපූජනීය සෑ රජාණන්
වහන්සේ නමක් ද, සම්බුද්ධ සහ අරහන්තක ධාතුන් වහන්සේ වැඩසිටින මනරම් ධාතු මන්දිරයක් ද
විහාර භූමියේ ස්ථාපිත ව ඇත.
සත්බුදු මන්දිර තනවා කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ සම්බුදු රජාණන් වහන්සේ
ගෞරවනීය ලෙස වඩා හිඳුවා තිබේ. සරසවි සිසුන් ප්‍රමුඛ සැදැහැවතුන්ට සුවසේ ධර්ම
ශ්‍රවණය කිරීමටත්, උපෝසථ දිනවල සිල් සමාදන් වීමටත් මනරම් ධර්ම ශාලාවක් ද ඉදිකොට
තිබේ.
වසර 07ක් වැනි කාලයක දී විශාල පරිශ්‍රමයක් දරා කාලය, ශ්‍රමය සහ ධනය වැයකොට ලොව පුරා
පරිත්‍යාගශීලි සැදැහැවතුන්ගේ ආධාර උපකාර ගෙන යාපනය සරසවි සිසුන් මෙම අංග සම්පූර්ණ
විහාරය ඉදිකොට ඇත්තේ මෙරට සරසවියක සිසුන් අතින් නිම වූ එකම විහාරය සේ ම, මෑත කාලයේ
ලක්දිව උතුරේ අභිනවයෙන් ඉදි වූ එකම විහාරය ද ලෙසිනි.
බෞද්ධ සිසු සිසුවියන්ට ශාසනික වත්පිළිවෙත්හි යෙදෙමින් ආධ්‍යාත්මික ගුණ වර්ධනයට ද,
ජාති ආගම් අතර සුහදත්වය වර්ධනය කිරීමට ද, මෙම සරසවි විහාරය මහෝපකාරී වේ. එමෙන්ම
වෙසක්, පොසොන් ආදී සුවිශේෂ ආගමික දිනවල දී සරසවි පරිශ්‍රයේම ආමිස සහ ප්‍රතිපත්ති
පූජාවල යෙදී පින් රැස්කර ගැනීමට මහඟු අවස්ථාවක් ද මෙයින් උදාවේ. වියළි කතරක ක්ෂේම
භූමියක් සේ ඉදිවු මෙම සුපින්බර විහාරය ඉදිකරන්නට මූලික වූ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,
ඉංජිනේරු සාලිය සම්පත් මහතාත්, යාපනය සරසවියේ බෞද්ධ සහෝදර සංගමයත් මහත්වූ පුණ්‍ය
සංස්කාර රැස්කළා සේ ම සරසවි සිසු පරපුරට මහඟු ආදර්ශයක් ද සපයා ඇත.
සරසවි විහාරයේ උතුම් වූ පූජනීය සමාරම්භය සිදු වූයේ 2018 බිනර මස පුන් පොහෝ දිනයේ
දීය.
අනුරාධපුරයෙන් වැඩම කරවන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව ද, නෙල්ලිගල
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් වැඩම කරවන ලද ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛාව ද, 2018
නොවැම්බර් මස 03 වැනිදා නාගදීප රාජමහා විහාරයෙන් වැඩමවන ලද කිරිපලු බෝධි ශාඛාව ද
විහාර භූමියේ රෝපණය කර විශේෂ බෝධී වන්දනා ද සිදු කරන ලදී. එමෙන්ම අටවිසි බෝධීන්
වහන්සේ ඇතුළු වටිනා වෘක්ෂලතා 200ක් පමණ විහාර භූමියේ රෝපණය කර ඇත.
එමඟින් විහාරස්ථානයේ පූජනීය බව මෙන්ම ස්වභාවික සෞන්දර්ය ද වැඩිදියුණු වූ අතර, බෞද්ධ
සහෝදර සංගමයෙන් සරසවියේ හින්දු, කතෝලික, ඉස්ලාම් ආගම්වලට අයිති භූමිවල ද මේ රුක්
රෝපණ පින්කම සිදු කරන ලද්දේ ආගමික සංහිඳීයාව අර්ථවත් කරමිනි.
සරසවි සිසුන්ගේ ඉමහත් කැපවීම මත දින 10ක් වැනි කෙටි කාලයකදී ඉදිකිරීම් නිමකොට මහත්
වූ පූජෝපහාර මධ්‍යයේ මෙම ධාතු මන්දිරය බුදු සසුනට පූජා කළහ.එම පින්කම එවකට
අනුරාධපුර මහමෙව්නාව භාවනා අසපුවාසි බණ්ඩාරවෙල මුදිත හිමියන් විසින් මෙහෙයවන ලදී.
2019. 03. 09 වැනි දින අඩි 5ක් පමණ උසැති ඉතා මනරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්
මහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවා ධාතු මන්දිරයේ වඩා හිඳුවන ලදී.
යාපනය සරසවි සිසුන් විසින් මාස හතරක් වැනි කෙටි කාලයකදී ඉදිකළ යාපනය සරසවි මහා සෑයේ
කොත් පලඳා ධාතුන් වහන්සේ නිදන් කිරීම 2020 ජනවාරි මස 27 වැනි දින සිදු විය.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේ හතර නමක් ද, මහරහත් ධාතුන්
වහන්සේ නමක් ද රන් පාත්‍රා හතරක සහ රිදී පාත්‍රාවක තැන්පත් කරන ලදී. තනි රිදී
කරඬුවක නිල් මැණිකකින් චූඩා මාණික්‍යය පලඳවා එහි රන් සහ රිදී පාත්‍ර තැන්පත් කරන
ලදී. එම රිදී කරඬුව පිත්තල කරඬුවක තැන්පත් කර සතරැස් කොටුවේ නිදන් කරන ලදී. තඹ
පත්වල ලියූ පිරුවානා පොත් වහන්සේ ද සතරැස් කොටුවේ නිදන් කරන ලදී. සක් දෙවිඳුන්
වෙනුවෙන් හක් ගෙඩියක් සතරැස් කොටුවේ නිදන් කරන ලදී. සියලු ඉදිකිරීම් කටයුතු මැනවින්
නිම කිරීමෙන් අනතුරුව, ශ්වේත වර්ණයෙන් බැබළෙන සරසවි මහා සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු
සසුනට පූජා කිරීමේ මහා මංගල්‍යය 2020 මාර්තු මස 7 වැනි දින කිරිබත්ගොඩ ඤාණානන්ද
ස්වාමීන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.
වැඩකටයුතු නිම කරන ලද ජය ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය, ආනන්ද බෝධි ප්‍රාකාරය, කිරිපලු
බෝධි ප්‍රාකාරය, දොළොස්මහේ පහන, සිරිපා විහාරය (සමන් දේවාලය) සහ මුළුතැන්ගෙය බුදු
සසුනට පූජා කිරීම, සරසවි විහාරයේ 5 වැනි සංවත්සරය යෙදෙන 2023 සැප්තැම්බර් මස 24 වන
දින සිදු විය.
සියලු වැඩකටයුතු නිම කරන ලද වර්ග අඩි 5000ක් වන ධර්ම ශාලාව සහ භාවනා කුටි හතරක්
බුදු සසුනට පූජා විය. මෙම පුණ්‍යකර්මය යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති,
මහාචාර්ය එස්. කන්නදාසන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. ඒ සඳහා සේරුවිල රාජමහා
විහාරාධිපති අලුදෙණියේ සුබෝධි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළහ.
සරසවි විහාරයේ සියලුු වැඩ අවසන් කොට ගෞතම බුදු සසුනට පූජා කිරීම යාපනය
විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය එස්. ශ්‍රී සත්ගුණරාජා මහතා අතින් සිදු විය.
මෙම අවස්ථාවට මහමෙව්නා අසපු සඟරුවන ගෞරවයෙන් වැඩම කරවන ලදි. අංග සම්පූර්ණ යාපනය
සරසවි විහාරය අත්පැන් වත්කර ගෞතම බුදු සසුනට පූජා කරමින් මෙම මහා පුණ්‍යකර්මය අවසන්
වූ අතර, සියල්ලෝ පින සතුටින් අනුමෝදන් වෙත්වා.
මහමෙව්නාව භාවනා අසපුවාසී
යටිබේරියේ සෝමඤාණ හිමි |