Print this Article


ගැටමාන්නේ ධම්මින්ද නාහිමියෝ 89 වැනි වියට පා තබති

ගැටමාන්නේ ධම්මින්ද නාහිමියෝ 89 වැනි වියට පා තබති

වලස්මුල්ල, දළුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද නාහිමියෝ 89 වැනි වියට පා තබති.

සි.දො. සමරනායක සහ සිරිමලී කොඩිතුවක්කු යන දම්පතීන්ගේ පුත්‍රයකු ලෙස ගැටමාන්නේ දී උපත ලබා 1952දී පනන්වෙල ගණේගොඩ පුරාණ විහාරාධිපති ගෞරවාර්හ නෙරලම්පිටියේ චන්දානන්ද හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගැටමාන්නේ ධම්මින්ද නමින් පැවිදි බිමට ඇතුළත් විය.

පසුව උන්වහන්සේ 1956 වසරේ දී මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටා 1962දී සරසවි වරම් ලැබ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලදහ.

මාතර පුෂ්පාරාම පිරිවෙන් ගුරුවරයකු වශයෙන් වසර 10ක් පමණ අධ්‍යාපනික සේවාවේ ද නිරත උන්වහන්සේ මාතර මන්තින්ද උපාධි පීඨයේ ද බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන අතරතුර ශාස්ත්‍රපති උපාධිය ද ගැනීමට සමත් වූහ. පසුව උන්වහන්සේ 1976දී රජයේ ගුරු සේවයට සම්බන්ධ වූහ.

1960 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ආගමික වැඩසටහන්වලට සහභාගිී වූ ධම්මින්ද හිමියෝ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම චින්තා සහ බෞද්ධ කථා ඉදිරිපත් කරමින් ශ්‍රාවක ජන ප්‍රසාදය දිනා ගැනීමට සමත් වූහ.

ප්‍රවෘත්ති පත්‍ර, සඟරා ආදියට ලිපි සැපයීමෙන් සහ ‘මන්තින්දය’ ‘මැදුම් පිළිවෙත’ සිංහල පරිනිබ්බාණ සූත්‍රය වැනි ග්‍රන්ථ සම්පාදනයෙන් උන්වහන්සේ ශාස්ත්‍රීය සේවයක් ද ඉටු කරති. ඉන්දියාව, නේපාලය, ජපානය වැනි රටවල ද ධර්මදූත මෙහෙවරක් ඉටු කළ උන් වහන්සේගේ සුවිසල් මෙහෙවරක් වූයේ දළුවක්ගොඩ ශ්‍රී ධර්මායතනය ආරම්භ කිරීමයි.

වලස්මුල්ල දිසා රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකරවීම ද උන්වහන්සේ කළ ප්‍රශංසනීය කාර්යයකි.

89 වැනි වියට පා තබන ගෞරවාර්හ ගැටමාන්නේ ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් නීරෝගි සම්පත් සහ දීර්ඝායු සම්පත් සැලසේවා!යි ආශිංසනය කරමු.