Print this Article


යුද්ධයේ දී මියයන්නේ මනුෂ්‍යත්වය යි

යුද්ධයේ දී මියයන්නේ මනුෂ්‍යත්වය යි

ඕනෑම යුද්ධයක දී පළමුව මියයන්නේ මනුෂ්‍යත්වයයි. සෑම මිනිසකුට ම සතුටින්, සෙනෙහසින් ජීවත් වීමට නම් සාමය අත්‍යවශ්‍ය වේ.

රටවල් සහ ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගය, සහජීවනය, සහෝදරත්වය නැති විට මානව වර්ගයාට ම බොහෝ දේ අහිමි වේ. සාමය යනු සංස්කෘතියකි. යුද්ධය සහ හිංසාවේ අභාවය සාමය වන්නේ ය. සාමය විවිධ ජන කොටස් අතර සමඟිය හා සහෝදරත්වයේ සුසංයෝගයෙන් පහළ වන්නකි. මිනිසුන් අතර පමණක් නොව සෙසු සත්ව කොටස් ඇතුළු සමස්ත ස්වභාවික පරිසරයේ පැතිර යා යුතු ඉතාමත් වටිනා ධර්මතාවකි, සාමය.

යුනෙස්කෝ සංවිධාන ව්‍යාවස්ථාවේ ඇතුළත් ප්‍රකට වගන්තියක් වන්නේ යුද්ධය පළමුව පහළ වන්නේ මනුෂ්‍යයන්ගේ චිත්ත සන්තානයේ බව යි. ඒ නිසා සාමයේ පවුරු ගොඩනැඟිය යුත්තේ ද ඔවුන්ගේ චිත්ත සන්තානයේ ය. මනුෂ්‍යයාගේ ආක්‍රමණශීලිත්වයට සහ හිංසාවට යොමු වූ ශක්තිය සාමය වෙනුවෙන් පරිවර්තනය කළ හැකි නම් මොනතරම් වටී ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මනුෂ්‍යයා තුළ සාමය පහළ වන්නේ ප්‍රඥාව සහ මෛත්‍රිය අවදි කර ගැනීමෙන් බව ය.

සාමය මනුෂ්‍ය විඥාන වර්ධනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයාගේ විඥානයේ පහළ වන එය කෙමෙන් පටු මමත්වයේ සීමාව බිඳ සමාජ විඥානය බවට පැමිණේ. සාමකාමී ව ජීවත් වීමට නම් උසස් පුද්ගල සංවර්ධන මට්ටමක් අවශ්‍ය වේ. බුදුදහම හිංසනය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරයි. සාමකාමී පුද්ගලයා හිංසාව මුළුමනින් ම අත්හළ තැනැත්තෙකි. ආක්‍රමණශීලීත්වය මනුෂ්‍යයාට පරිනාමයෙන් උරුම වූ සහජාශාවක් බව සාපේක්ෂ සත්‍යයකි. එහෙත් ගැටුම්වලින් තොරව සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම ඉතා හොඳින් සහ නිරවුල් ව දේශනා කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ අපමණ වෙහෙසක් දරා අවබෝධ කර ගත් මෙම වටිනා දහම පුරාම දක්නට ලැබෙන්නේ මිනිසා හා සමාජය මුහුණ පා සිටින ඉතා සංකීර්ණ ගැටලු විසඳා ගැනීමේ මාර්ගයකි. බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජයේ ඇතිවන ගැටලු අස්වාභාවික ලෙස නොදකී. අසුබවාදී හෝ සුබවාදී ලෙස ද නොදකී. විසඳුම් නොමැති ගැටලු ලෙස ද දකින්නේ නැත. අපූර්ණත්වයේ සිට පූර්ණත්වය කරා පැමිණිමේ දී ඉතා හොඳ එළැඹුමක් ඉදිරිපත්කොට ඇත. එනම් යෝනිසෝමනසිකාරයෙන් බැලීමයි. එය ගැටලුවක් හෝ ප්‍රශ්නයක් ඇති වූ විට එදෙස මුල සිට අග දක්වා විචාරශීලී ව හා විධිමත් ව කරුණු විමසා බැලීමේ ක්‍රමයකි. එයින් මිනිසා මුහුණපාන ඕනෑම ගැටලුවක් විසඳා ගත හැකි බව බුදුසමය අවධාරණය කරයි.

දඬුවමට, මරණයට තමන් බිය වන්නාක් මෙන්ම සෙසු සියලු සතුන් ද බිය වන බව නිතර මෙනෙහි කිරීම වැදගත් ය. ප්‍රඥාව සහ කරුණාව පෙරදැරි කරගෙන, ශාක්‍ය හා කෝළිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීමේ දී ඇති වූ ගැටුම බුදුරජාණන් වහන්සේ ඍජු ලෙස ම මැදිහත් ව විසඳුවේ සාමයේ අර්ථවත් බව ලෝකයට ම වටහා දෙමිනි. කොසඹෑ නුවර ධර්මධර සහ විනයධර භික්ෂූන් අතර ඇති වූ ගැටුම සමඟියේ අනුසස් පෙන්වා දෙමින් විසඳීමට ගත් උත්සාහය අසාර්ථක වූ විට බුදුරදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කර හුදෙකලාව ජීවත් වීමෙන් සාමයේ වැදගත්කම අවබෝධ කර දීමට උත්සාහ ගත්තේ ය. මෙසේ බුද්ධ චරිතයෙන් මෙන්ම බුද්ධ දේශනාවලින් බෙදී වෙන් නොවී ජීවත්වීමේ වැදගත්කම අර්ථවත් ලෙස පෙන්වා දී ඇත. වසල සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දී ඇත්තේ කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් හෝ නොවන බවයි. වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වන්නේ් ඔහු කරන ක්‍රියාව අනුව යි. වාසෙට්ඨ සූත්‍රයේ දී මිනිස් වර්ගයා ම එකම ජාතියකට අයත් බව තර්කානුකූල ව පෙන්වා දී තිබේ. මජ්ක්‍ධිම නිකායේ මදුපින්ඩික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, සත්ත නිපාතයේ කලහ විවාද සූත්‍රය, දීඝ නිකාය දසුත්තර සූත්‍රය වැනි සූත්‍රවලින් ආශාව හේතුකොට ගෙන පාප ක්‍රියා වන ගැටුම්, කළකෝලාහල, අමනාප සහගත ඛේදනීය තත්ත්වයන් ඇති වන බව අප තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.

සියලු අයිතීන් සහ වරප්‍රසාද තම රටට පමණක් ලැබිය යුතු යැයි සිතීමත්, තම ආගමිකයන්ට පමණක් වරප්‍රසාද දිය යුතු යැයි සිතීමත් සාමයට හා සහජීවනයට බාධා පමුණුවන බව අප හැමෝම තේරුම් ගත් සත්‍යයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අප සියලු දෙනාම එකම මිනිස් කුලයකට අයත් බව අවබෝධ කර ගැනීමට ප්‍රඥාව තිබේ නම්, ලෝකයේ එකිනෙකා මරා ගන්නා, විනාශකාරී ගැටුම් ඇති නොවේ. ඒක පාර්ශ්වීය වීම, වෛරය, හිංසාව, පළි ගැනීම සහිත ක්‍රියාමාර්ගවලින් ගැටුම්වලට විසඳුම් සෙවීය නොහැකි ය.

අපාදකෙහි මේ මෙත්තං - මෙත්තං දිපාදකෙහි..... සියලු සත්ව වර්ගයා වෙත ම මෙත් වැඩීමට බුදුදහම අපට උගන්වා ඇත.