Print this Article


සුව පහසු පරිසරයකට ස්වයං විනය විනී නානායක්කාර

සුව පහසු පරිසරයකට ස්වයං විනය

Seiri - සෙයිරි - සුසංහරණය - අනවශ්‍ය දෑ ඉවත් කිරීම.

Seiton -  සෙයිතෝන් - සුසංයෝජනය - අනවශ්‍ය දෑ පැමිණෙන මූලයන් නැවැත්වීම.

Seiso -  සෙයිසෝ - සුපසන්නතාව - භාණ්ඩ පිළිවෙළකට තබා ගැනීම.

Seiketsu -  සෙයිකෙත්සු - සුසංස්ථාපනය - ගුණාත්මක භාවය

Shitsuke - ෂිත්සුකේ - සුසංවේදය - ස්වයං විනය

Seiri - සෙයිරි - සුසංහරණය

නිවසක් තුළ ඇති අනවශ්‍ය දෑ කවරේද යන්න නිවැරැදි ව තීරණය කිරීම ප්‍රථම පියවරයි. යම් ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් හෝ අවශ්‍යද? අනවශ්‍ය ද? ඉඳහිට අවශ්‍ය වන්නක් ද? කොහෙත්ම අවශ්‍ය නොවන දෙයක් ද? යන්න තීරණය කිරීම කෙනකුට එක් වරම අපහසු විය හැක. එබැවින් බොහෝ විට කෙනෙක් දැනට අවශ්‍ය නොවන දෙයක් අනාගතයේ දී අවශ්‍ය විය හැකි යයි සිතා රඳවා ගනී. ඉවත් කිරීමේ තීරණයට නිර්භය ව එළඹීමට කෙනෙක් පසුබට වෙයි.

මෑතක සිට පොලිතීන් කවර හා ප්ලාස්ටික් භාජන භාවිතය බරපතල පාරිසරික ප්‍රශ්නයකට හේතු වී ඇත. මිලදී ගැනුම්වල දී හැකිතාක් දුරට එවැනි අපද්‍රව්‍ය ආයතනයක් හෝ නිවසක් තුළට නොදැනුවත්වම ඇතුලුවීම වැළැක්විය යුතු ය. ඇතැම් රෝහල් රෝගීන්ට දීම සඳහා තැඹිලි ගෙඩි පිටින් ගෙන ඒම තහනම් කර තිබෙන්නේ එවැනි විධිවිධානයන් ලෙසට ය.

Seiton - සෙයිතෝන් - සුසංයෝජනය

පිළිවෙළකට තැබීම

අනවශ්‍ය දෑ ඉවත් කළ පසු ලැබෙන ඉඩකඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් අවශ්‍ය දෑ පිළිවෙළකට තබා ගැනීම කළ යුතු ය.

මෙහිදී සෑම භාණ්ඩයකට ම නිශ්චිත ස්ථානයක් තීන්දු කොට පරිහරණයෙන් පසුව එම ස්ථානයේ ම ආපසු තැබිය යුතු ය. එමඟින් එම භාණ්ඩය හෝ උපකරණය හෝ අවශ්‍ය වූ විටෙක එය සෙවීම සඳහා අනවශ්‍ය ලෙසට කාලය නාස්තිවීම වළකී.

මෙම කාර්යයේ දී ආයතනයක, නිවසක හෝ විහාරස්ථානයක හෝ ඇති සියලු උපකරණ පෞද්ගලික හා පොදු වශයෙන් වර්ග කර ගත යුතු අතර පෞද්ගලික උපකරණ ස්වකීය පරිහරණය පහසු කරවන අන්දමින් ද, පොදු උපකරණ හැමට අනවශ්‍ය කරදර ඇති නොවන අන්දමින් ද තබා ගැනීම වැදගත් වේ.

Seiso -  සෙයිසෝ - සුපසන්නතාව

සෙයිසෝ යන්නෙන් අදහස් කරනුයේ පිරිසුදු කිරීමයි. ලී බඩා උපකරණ, ගොඩනැඟිලි හා භූමි භාගය කාලසටහනකට අනුව නිතිපතා ශුද්ධ පවිත්‍ර කර ප්‍රසන්න ලෙස තබා ගැනීම ඕනෑම ආයතනයක අභිවෘද්ධියට හෙතු වේ. මේ සඳහා කාලසටහනක් සකස් කිරීමේ දී දිනපතා උදේ සවස කළ යුතු පිරිසුදු කිරීම් හා සතිපතා කළ යුතු පිරිසුදු කිරීම ආදී වශයෙන් නිශ්චිත කාලවකවානුවලට අනුව සියලු වත්කම් ශුද්ධ පවිත්‍ර කොට නඩත්තු කළ යුතු ය. පවිත්‍රතාව රැක ගැනීමට හැකි වනු පිණිස නිසි පෝස්ටර් දැන්වීම් නොයෙකුත් ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතු ය. එමඟින් පිරිසුදු කිරීම පමණක් නොව අපිරිසුදු වීම වැළැක්වීමට ද හැකි වේ.

හෙළ සිරිත්වලට අනුව අනිවාර්යයෙන් ම වසරක් ගෙවී නව වසරක් ලබන අවස්ථාවේ දී බඩු මුට්ටු, බිත්ති, දොර ජනෙල් හා ගෙබිම පමණක් නොව ජලය ලබා ගන්නා ළිඳ ද ශුද්ධ පවිත්‍ර කරනු ලැබේ. තමන් ආහාර පාන ගන්නා පිඟාන කෝප්පය පවා එම අවස්ථාවේ දී ම ලොකු කුඩා හැම අයකු විසින් ම පිරිසුදු කිරීම ගැමි පුරුද්දකි.

Seiketsu -  සෙයිකෙත්සු - සුසංස්ථාපනය

මෙහි අදහස ප්‍රමිතිකරණයයි. කරනු ලබන සෑම කාර්යයක ම ප්‍රමිතියක් තිබිය යුතු ය. ගුණාත්මක බව පිළිබද මනා පාලනයක් තිබිය යුතු ය. ප්‍රමිතිය ආරක්ෂා කිරීම වෘත්තීය ගුණාංගයකි. ඉහතින් සඳහන් කරන ලද කරුණු 3 අඛන්ඩ ව පවත්වා ගෙන යාමෙන් වෘත්තීය ගුණාංග ආරක්ෂා වේ.

Shitsuke - ෂිත්සුකේ - සුසංවේදය

මින් අදහස් කරනුයේ ස්වයං විනයයි. මේ හැම කාර්යයක් ම අණ කිරීමකින් තොරව ස්වේච්ඡාවෙන් ම සිදුවිය යුතු ය. සෑම මට්ටමක ම සේවකයින් හා නිලධාරීන් අණ කිරීමකින් තොරව මෙකී පාලන කාර්යයන්හි නිරත විය යුතු ය. නිසි පරිදි පුහුණුවක් ලබාදීම හා විනය සුරැකීම ද ශික්ෂණය ද වැදගත් ය.