Print this Article


සබරගමුවට මිණිපහනක් වූ කෑලිගම විජිතනන්ද නාහිමිපාණෝ

සබරගමුවට මිණිපහනක් වූ කෑලිගම විජිතනන්ද නාහිමිපාණෝ

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, රත්නපුර මහවල ශ්‍රී ධර්මායතන පිරිවෙන් විහාරාධිපති, ග්‍රන්ථ විශාරද, සාහිත්‍ය ශූරී, කෑලිගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට, කළ සේවාව ඇගයීම්වස් අභිනන්දන උපහාර උළෙලක් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනි දින රත්නපුර මහ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

කෑලිගම නාහිමිපාණන් වහන්සේ උතුම් සඟ ගුණයෙන් යුක්ත ය. නිහතමානී, සුහද සිනාවකින් හැමෝම ආමන්ත්‍රණය කරනු ලබති. මල්වතු මහානායක හිමිපාණන් ප්‍රධාන කාරක සංඝසභාව විසින් සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය වැනි රාජපූජිත පදවියකින් උන්වහන්සේ පුදනු ලැබූහ.

උන්වහන්සේ ව්‍යක්ත ය. විශාරද ය. ග්‍රන්ථකරණයේ යෙදුණු නා හිමියෝ වටිනා ග්‍රන්ථ රාශියක් එළිදැක්වූහ. ලක් බුදුසසුන හා ස්‍යාම නිකායික සංඝ පරම්පරාව සබරගමුවේ ව්‍යාප්තවීම, පිරිවෙන් අධ්‍යාපනය හෙවත් සම්භාව්‍ය දේශීය අධ්‍යාපනය හා තවත් කෘති රාශියක් ඒ අතර වේ. උන්වහන්සේගේ කාලයෙන් වැඩි කොටසක් කැප වූයේ ග්‍රන්ථකරණය සඳහා ය.

උන්වහන්සේගේ දින චරියාව ඉතා සරල ය. දිනපතා සවස් යාමයේ බුද්ධ වන්දනාව සඳහා මල් නෙළීමට කුඩා කෙක්කක් සහ මල් පැස රැගෙන වඩින උන්වහන්සේ දැකීම පි‍්‍රය දසුනකි. එක් මල් ගසකින් මල් දෙකක් පමණ නෙළති. එය මහත් ශ්‍රද්ධාවෙන් කරන්නකි. සවස බුද්ධ වන්දනා කර, වත පිරිත් කියා දෙවියන්ට පින් දී සියලු දෙනාට ආශිර්වාද කිරීම සිදු කරයි.

අපේ නාහිමිපාණන් නවක භික්ෂූන්ට ආදර්ශයකි. පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් සේවය කළ කාලයේ විහාරස්ථානයේ සිට රත්නපුර නගරයේ පිහිටි ශ්‍රී සද්ධර්මාලංකාර මහා පිරිවෙනට ගුරු සේවාව සඳහා නිතිපතා වැඩම කරන්නේ පා ගමනින් ය. සැතපුම් තුනක් පමණ දුර ආපසු වැඩම කරන්නේ ද එසේ ම ය.

මහවල ගම්පියසට ප්‍රධාන මාර්ගයේ සිට ගමන් කළ යුතු වූයේ දිය පහර හරහා වැටුණු අඩි පාරකිනි. උන්වහන්සේගේ මැදිහත්වීමෙන් ගමට මාර්ගය සකස් කෙරිණි. එම මාර්ගය කාපට් අතුරා වැඩිදියුණු කිරීම් මේ දිනවල සිදු කරයි.

උන්වහන්සේ නිරතුරු ගමන් බිමන් වැඩම කළේ පොදු මගී සේවාව උපයෝගී කරගෙන ය. පෞද්ගලික සුඛ විහරණය නොතැකූ උන්වහන්සේ විසින් රචිත වටිනා සාහිත්‍ය ග්‍රන්ථ තම වියදමින් නැවත නැවත මුද්‍රණය කර නවක භික්ෂූන් පැමිණි කල්හි පරිත්‍යාග කිරීමට කටයුතු කරති. උන්වහන්සේගේ අදහස වූයේ ධර්ම ඥානය ලබා දීම ශාසනයේ චිර පැවැත්මට ඉවහල් වන බවයි.

මෙසේ රට, දැය, සම්බුදු සසුන වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කරන අපගේ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයෙන් යුතු දිගාසිරි පතමු.