Print this Article


වීතරාගී සිතකින් විඳිය හැකි අසිරිය

වීතරාගී සිතකින් විඳිය හැකි අසිරිය

නොවේ කාමය - ලොව සොඳුරු බව

සැබවින් ම කාමය -  කිළුටකි මිනිස් සිතෙහිම

පවතියි එලෙසින් ම - ලොව ඒ සොඳුරු බව නම්

දනිති නුවණැති දන - එය කාමයෙන් තොර ව ම

නසන්ති සූත්‍රයෙන් දැක්වෙන පාලි භාෂාවේ සිංහල අර්ථය රැගත් ඉහත පැදි පෙළ බුදු දහම හා සෞන්දර්යය කලා රසවින්දනය අතර බැඳියාව මෙන් ම යථාර්ථය ද මැනවින් ප්‍රකට කරයි. ආත්මාර්ථකාමී අපේක්ෂාවන්ගෙන් තොර ව වීතරාගී ව නිකෙලෙස් පිවිතුරු සිතින් කලාව හා සාහිත්‍ය විවිධ අයුරින් සුන්දරත්වයෙන් අත්විඳීමට සුපැහැදිලි මාර්ගයක් බුදු දහමින් බෞද්ධයාට පෙන්වා දී තිබේ. සංයුක්ත නිකායේ සඳහන් වන්නේ.

නථෙ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨංති තතේව චිත්‍රානි ලෝකේ
අතේථ ධීරා විනයන්ති ජන්දං

වශයෙනි. ලොව සොඳුරු බව නොවේ කාමය. සුන්දරත්වය හා කාමය යනු දෙකක්. මේ කාමය රාගය වැනි දේවල් මිනිසුන්ගේ සිත්වල ඇතිවන පහත් හැඟීම් පමණයි. ලෝකයේ හැමදාමත් පවතින සෞන්දර්යය බුද්ධිමත් පුද්ගලයා කාමයෙන් රාගයෙන් තොරව විඳ ගනී. විශේෂයෙන්ම රහතන් වහන්සේට එය විඳගත හැකියි. එය විඳගත් ආකාරය ථෙර ගාථා ථෙරි ගාථා තුළින් හමුවේ. ස්වභාව ධර්මය වින්දනය කළ ආකාරය සප්පක හිමියන්ගේ ගීතිකාවක සඳහන් ව ඇත. බවුන් වඩමින් ස්වභාවික පරිසරය හා එක්ව ජීවත් වුණු සප්පක හිමියෝ සුන්දර අජකරණීය නදිය අසබඩ වැඩ සිටි අවස්ථාවක බියපත් වුණු සුදු පියාපත් ඇති කෙකිණියක පිළිබඳව මේ අයුරින් වින්දනය කර ඇති බව සඳහන් වේ.

සුදු පියාපත් ඇති කෙකිණී
දැක කළු මේ කුළක්
තැති ගත්තී බියෙන්
සොයන්නී සැඟවෙන තැන්
නොරැඳෙයි පලා යයි
මෙවන් අසිරිය ඇති
නදිය අජකරණී
තුටු කරයි මා සිත
වේය එය අතිරමණී

මේ ගාථාවෙන් කියවෙන්නේ ජීවිතයේ යථාර්ථයයි. මිනිස් ජීවිතය මහලුව වියපත් ව ජරාවට පත් ව යන බව අපි අවබෝධ කොට ගත යුතුයි. එය සනාථන ධර්මයයි. එය සත්‍යයයි. මේ තුළ ගැබ්ව ඇත්තේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාව ධර්මයයි. හේතුඵලවාදය ස්වභාව ධර්මයයි. චතුරාර්ය සත්‍යයෙන් අර්ථවත් වන්නේ ස්වභාව ධර්මයයි. බුදු දහම යනු ජීවිතය හා සොබාව දහම පිළිබඳ දහමක්. ඒ නික්ලේසී වූ රහත් උතුමන් වහන්සේ සොබාදහම් අසිරිය විඳගත් ආකාරයයි.

“අතේථ ධීරා විනයන්ති ජන්දං” සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස අයිතිකර ගැනීමේ අපේක්ෂාවන්ගෙන් කටයුතු කළත් රහතන් වහන්සේට කිසිවක් තමන් සතු කර ගැනීමේ අභිප්‍රායක් නැත. උන්වහන්සේ නිකෙලෙස් ඇසින් ස්වභාව ධර්මය වින්දනය කරයි. බුදු දහමේ හරය ලෙසින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දර්ශනය ගෙනහැර දැක්වුව ද ඒ ත්‍රිලක්ෂණය ම පිහිටමින් සෞන්දර්යය වීතරාගීව විඳීමේ අවකාශය බෞද්ධයාට ඇත.

දීඝ නිකායේ ‘සක්කපඤ්ඤ’ සූත්‍රයේ පංචශිඛව බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සේ අගය කර ඇත. ගායනය, වාදනය හා මැනවින් ගැළපෙන බවත් වාදනය ද ගායනය හා ගැළපෙන බවත් දේශනා කළ බුදුරජාණන් වහන්සේ පංචශිඛව වර්ණනා කරමින් ඔහුගේ ගීතය බුද්ධ, ධම්ම, අරහත් යන අංගයන්ගෙන් මෙන් ම කාමයෙන් ද යුක්ත බව දේශනා කළහ. පංචශිඛ නම් ගාන්ධර්වයා තමන්ගේ පෙම්වතිය වූ ‘සුරියවච්චසා’ වර්ණනා කරමින් අනුරාගික ප්‍රේම ගීයක් ගයමින් වීණාව වාදනය කළ ආකාරය මේ ආකාරයෙන් සඳහන් වේ.

සොඳුරිය සුරියවච්ඡසාවෙනි,
මා හද පිනවීමට ඔබ ව
මෙලොව බිහි කළ
ඔබ දයාබර පියාණන් තිම්බරු
මම බැතියෙන් වඳිමි
දහදියෙන් තෙමුනකුට
මඳ පවනක් සෙයින් ද
පිපාසාවෙන් පෙළෙනකුට
දිය පොදක් මෙන් ද
මහරහතුන්ට ධර්මය මෙන් ද

සොඳුරිය ඔබ මට පි‍්‍රය ය.
රෝගියකුට බෙහෙතක් මෙන්ද
බඩසයින් පීඩිතයකුට
අහරක් සෙයින් ද
ජලයට ගින්න මෙන් ද
සොඳුර හඳ ගිනි නිවන්න

මල්පෙති රොන්සුණු අතුල
සිහිල් දියෙන් යුතු පොකුණක
ගී‍්‍රස්මයෙන් පෙළුණු ඇතකු
ගිලෙන සේ
ඔබ පියයුරු අතර ගිලෙමි මම
ඔබ වටොරින් මුළා වූ මම
මත් වූ ඇතෙකු මෙන්
හසරක් නොදකිමි.

දෛනික ගෘහ ජීවිතයට බුදු දහමින් වදාළ ධර්මය පන්සිල්ය. පන්සිල් ආරක්ෂා කරමින් ඕනෑම පුද්ගලයකුට පස්කම් සැප වින්දනය කළ හැකිය. අප අවබෝධ කරගත යුතු වන්නේ ජීවිතය විඳිමින් ම ඒ සියල්ලෙහිම අවසානය අනිත්‍ය බවයි. ආහාර ගැනීම, නිදා ගැනීම, ලිංගිකත්වය දෙස බැලිය යුත්තේ ධර්මයේ සඳහන් ශික්ෂණට අනුවමයි. බුද්ධිමත්ව වීතරාගීව සෞන්දර්යය විඳින්න උපරිම අවකාශය බුදු දහමින් ලබා දී ඇත. සුන්දරත්වයටම ගිජුව මෝඩ බොළඳ අයුරින් ජීවිතයේ අර්ථයක් ගොඩනඟා ගත නොහැකි වූ පුද්ගලයාට බුදු දහම නිවැරැදි මාවත පෙන්වා දී ඇත. අඹු - සැමියන් එක්ව ජීවත්වීමෙන් ලබන සතුට, දරු මල්ලන් ඇතිකර ගැනීමෙන් ලබන සතුට බුදු දහම ප්‍රතික්ෂේප කර නැත. එය වින්දනය කළ යුතු අයුරු සිඟාලෝවාද සූත්‍රයේ සඳහන්ව ඇත. ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන කරුණු නිවැරැදිව පිළිපදිනවා නම්, නිවැරැදිව ධාර්මිකව ජීවිතය වින්දනය කරනවා නම්, ඊළඟ ආත්ම භවයේදීත් මේ ආත්මයේ අඹු සැමියනට එකිනෙකා සමඟ ජීවත්වීමේ හැකියාව පවතින බව නකුල සූත්‍රයේ සඳහන් වේ.