Print this Article


සඟ ගුණ සිහිකරමි

සඟ ගුණ සිහිකරමි

අපගේ ශාස්තෘ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක වූ ආර්ය සංඝරත්නය ගැන අග්ගප්පසාද නම් සූත්‍ර දේනාවේ දී මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත ශ්‍රාවක සඟරුවන ම යි ඒ සියලු පිරිස්වලට වඩා අග්‍ර වන්නේ උන්වහන්සේ උතුම් යුගල වශයෙන් හතරක් ද, වෙන් වෙන් වශයෙන් උතුම් පුරුෂ පුද්ගලයෝ අට දෙනයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ආහුණෙය්‍යයි, පාහුණෙය්‍යයි, දක්ඛිණෙය්‍යයි, අංජලිකරණීය යි, ලොවට උතුම් පින් කෙතයි, පින්වත් මහණෙනි, එබඳු ශ්‍රාවක සඟපිරිසක් කෙරෙහි පැහැදුනේ නම් ඔවුන් පැහැදී සිටින්නේ අග්‍ර වු පිරිසකටයි. අග්‍ර වූ පිරිසකට පැහැදුන විට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.”

ගණනින් සීමා කළ නො හැකි වූ ඒ අපිරිමිත අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සඟරුවනේ උත්තම ගුණ සමුදාය මෙනෙහි කරමින් වඩන භාවනාව ‘සංඝානුස්සතිය’ කියා හඳුන්වනවා.

සංඝානුස්සති භාවනාව පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස ම, නො ඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. ඒ එක දෙය නම් සංඝානුස්සතිය යි.”

තවද සංඝානුස්සති භාවනාවේ ආනිශංස, සම්බුදු රජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජුහට මෙලෙසින් ද වදාළා.

“මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩයි. එසමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත සංඝරත්නයේ ගුණ අරබයා ඍජු බවට පත්වූයේ වෙයි. ඍජූ බවට පත්වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදියි. පී‍්‍රති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති ශ්‍රාවකයා සැපයක් විඳියි. සැප ඇති නම් සිත සමාධියමත් වෙයි.

මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද, දහම් සැඩ පහරට පැමිණියේ සංඝානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

ධම්මපද ගාථා රත්නයන්හි දී සංඝානුස්සතිය වඩන ශ්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා.

“යමෙක් දහවලටත්, රාත්‍රියටත් නිතරම සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදුසමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

තවත් අවස්ථාවක දී විශාඛා උපාසිකාවට සංඝානුස්සතිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ආර්ය සංඝරත්නයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේෂ අත්නම් ඒවා ප්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා සංඝ උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

මේ ආකාරයට මහත්ඵල මහානිශංස ලබාදෙන අග්‍ර වූ පින් රැස් වෙන සංඝානුස්සති භාවනාව අපි කවුරුත් නිරන්තරයෙන් පුරුදු පුහුණුූ කර ගනිමු. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඔබ සිංහ නාද කරන්න. පළමුවෙනි ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයා, දෙවෙනි ශ්‍රමණයා වන සකදාගාමී ශ්‍රාවකයා, තුන්වන ශ්‍රමණයා වන අනාගාමී ශ්‍රාවකයා, හතරවන ශ්‍රමණයා වන රහතන් වහන්සේ යන ශ්‍රාවකයන් දැකිය හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති බුද්ධ ශාසනයක දී පමණයි කියා.” ඒ ශ්‍රාවකයන් වහන්සේ සදාකාලික පිවිතුරු ජීවිතයක් පතාගෙන නිමල ගමනක යෙදුන පිවිතුරු පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ගැන නිරන්තරයෙන් ම සිහි කරමින්, ශ්‍රද්ධාව දියුණු කරගෙන අපිත් සැබෑ ම ශ්‍රාවකයන් බවට පත් වී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමු.

සංඝානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම පිණිස සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙළකට පිළිපන් හෙයින් සුපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ උජුපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඤායපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ්‍රී සද්ධර්මය ම ලෝකයෙහි පතුරුවා හරින හෙයින් සාමීචිපටිපන්න වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචිපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සාමීචි පටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග ඵල ලාභී, සකදාගාමී මාර්ග - ඵල ලාභී, අනාගාමී මාර්ග – ඵල ලාභී, අරහත් මාර්ග - ඵල ලාභී වශයෙන් ගත් කල උතුම් ශ්‍රාවක යුගල සතරක් වන්නාහු ය.

වෙන් වෙන් වශයෙන් ගත් කල සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය. සෝවාන් වූ ශ්‍රාවකයා ය. සකදාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය. සකදාගාමී වූ ශ්‍රාවකයා ය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය. අනාගාමි වූ ශ්‍රාවකයා ය.

අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය.අරහත් වූ ශ්‍රාවකයා ය යනුවෙන් උතුම් ශ්‍රාවක පුද්ගලයන් අට දෙනෙක් වන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය යුගල වශයෙන් සතරක් ද, පුද්ගල වශයෙන් අටක් ද වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ, පුද්ගල වශයෙන් අටක්වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ, පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් සතරක් වූ, පුද්ගල වශයෙන් අටක් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී උතුම් සංඝරත්නය පුද පූජා ලැබීමට සුදුසු වන සේක. දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙළ කොට පූජා කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්‍ය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආහුණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී උතුම් සංඝරත්නය ආගන්තුකයන් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව්පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු හෙයින් පාහුණෙය්‍යය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පාහුණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකා ගෙන, මහත්ඵල මහානිශංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ඛිණෙය්‍ය වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට, ගෞරවාභිවාදනයට සුදුසු වන හෙයින් අංජලිකරණීය වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අංජලිකරණීය වූ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මාර්ගඵලලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක. මෙසේ දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි. මෙසේ දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.