දුක්ඛිත සසරින් එතෙර වූ සොයුරියන් සත් දෙනා
විනී නානායක්කාර
මෙයින් කල්ප ලක්ෂයකට පමණ පෙර සිදු වූ සිදුවීමකි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ
කාලයේ දී පටන් දාන මානාදී විවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් සසර සැරිසරා
කාශ්‍යප බුදුරදුන් ලොව පහළ වූ කාලයේ කිකී නම් රජතුමන්ට දාව එක කුසහොත් රාජ
කුමාරිකාවන් සත් දෙනකු බවට පත්ව බුද්ධෝපස්ථානයේ යෙදී සිට අවසන ගෞතම බුදුන්වහන්සේ
ජීවමාන ව වැඩ විසූ සමයේ දී අමාමහ නිර්වාණය සාක්ෂාත් කර ගත් රහත් තෙරණින් වහන්සේ සත්
නමක් පිළිබඳ රසවත් කථා පුවතක් එළිදක්වනුයේ එදා මෙදා තුර වැඩ විසූ සමස්ත භික්ෂුණී,
උපාසිකා පරපුර වෙත පිරිනැමෙන පූජෝපහාරයක් වශයෙනි.
සමණනී, සමනගුත්තා, භික්ඛුණී, දාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා යන නාමයෙන් යුතු
එසමයෙහි හඳුන්වන ලද රජ කුමරියන් සත් දෙන පැවිදි දිවියක් ගත කිරීමට අපේක්ෂා කළ මුත්
පියරජතුමාගේ අවසරය නො ලදින් බුදුහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඇප උපස්ථාන කරමින්
දිවි ඇති තෙක් කුමරි බඹසරව වාසය කළහ. ගෞතම බුදුන් දවස දඹදිව නොයකුත් ස්ථානවල උපත
ලබා නිවන් මඟට පිළිපන් එම උත්තමාවියන් පිළිබඳ තොරතුරු බිඳක් පහත දැක්වේ.
පටාචාරා
රහත් තෙරණින් වහන්සේ
සැවැත් නුවර සිටුවරයකුගේ දියණියක් වුව ද සිය නිවසේ වූ සේවකයකු සමඟ මිත්‍ර වී රහසින්
පැනගොස් යුගදිවි ගෙවමින් සිට දෙවැනි දරු උපත සඳහා මවුපියන් වෙත පැමිණෙමින් සිටිය දී
එකම දිනක් තුළ දරු දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද දෙමාපියන් හා එකම සොයුරාද මියගිය දුක්
මුසු පුවත බෞද්ධයන් පමණක් නොව වෙසක් තොරණ නරඹන අබෞද්ධයන් පවා මැනවින් දන්නා කතාවකි.
මුහුණ දුන් දරුණු ඛේදවාචකය හේතුවෙන් සිහිවිකල් ව ඇඳිවතට ද අස්වාමිකව දෙව්රම් වෙහෙර
කරා දිව ආ පටාචාරා ‘නැඟණියනි, සිහිය උපදවා ගන්න’ යන කාරුණික බුදු වදනින් ප්‍රකෘති
තත්වයට පත් වූවා ය. (පටාචාරා යන වචනයේ අදහස සළු නැතිව සිට සළුලද්දී යන්න ය.) ප්‍රථම
ධර්ම දේශනාවේ දී ම සෝවාන් ඵලයට පැමිණ පැවිදි උපසම්පදා ලබා බවුන් වැඩීමෙන් අනතුරුව
දිනෙක පා සේදූ ජලය පොළවට උරා ගන්නා ආකාරය දැක අනිත්‍ය මෙනෙහි කොට උතුම් වූ අරහත්
ඵලයට පත් වූවා ය. ඇය විනයවාදී භික්ෂුණීන් අතර අගතනතුර දැරීය.
උප්පලවන්නා
රහත් තෙරණින් වහන්සේ
මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක රහත් මෙහෙණින් වහන්සේ නමකට
අග්‍රශ්‍රාවිකා තනතුර පිරිනමනු දුටු එවක ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් වූ මෙතුමිය බුද්ධ
ප්‍රමුඛ මහා සංඝරත්නයට සත් දිනක් මහදන් දී මම ද සම්මා සම්බුදු නමකගේ
අග්‍රශ්‍රාවිකාව වේවා’යි පැතීය.
අනතුරුව දෙව් මිනිස් සැප විඳ එක් භවයක මිනිස් ලොව ඉපිද පසේ බුදුරජාණන් වහන්සේ නමකට
උපුල් මල් පූජා කොට මාගේ සිරුර උපුල් මල් පැහැයෙන් යුක්ත වේවා’යි කළ ප්‍රාර්ථනය
ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ට සිද්ධ විය. තමන්ට මෙහෙණි සසුනට ඇතුළු වීමට දෙමාපියන්ගෙන්
අවසරය ලබාගෙන අන්ධ වනයේ හුදෙකලාව වැඩ වසමින් භාවනා වඩා ඉතාමත් කෙටි කාලයකින් මහ
රහත් භාවයට පත්විය.
නෑකමින් එතුමියගේ මස්සිනා වූ නන්ද නැමැත්තා ඇය විවාහ කර ගැනීමට දැරූ උත්සාහය
අසාර්ථක වූයෙන් සිදු කළ පාපී ක්‍රියාවට විපාක වශයෙන් ක්ෂණයකින් ගිනිදැල් වෙළාගෙන
අවීචි මහා නිරයේ පතිත වූ බව බොහෝ දෙනා දනිති.
කුණ්ඩලකේසී
රහත් තෙරණින් වහන්සේ
රජගහ නුවර ඉසුරුමත් සිටු නිවසක විසූ සොළොස් හැවිරිදි සිටු දියණියක් උඩු මහලේ සිට
මාර්ගය දෙස බලද්දී දඬුවම් වශයෙන් ගල් පර්වතයකින් පහතට හෙළා මරණයට පත් කිරීමට කස පහර
දෙමින් වධක බෙරය හඬවමින් රැගෙන යන තරුණ සොර දෙටුවකුගේ හැඩි දැඩි උඩුකය නිරුවත්
සිරුර දකී. කාමයෙන් මත් වූ තරුණ සිටු දියණිය තමන් ඔහුට විවාහ කර නො දුනහොත් දිවි
නසා ගන්නා බවට මවුපියන්ට තර්ජනය කරයි. සිය ඉසුරුමත් භාවයට ද, කුලයට ද සරිලන රුවැති
කුමාරයකුට සරණ පවා දීමට කටයුතු කරන බව දෙමාපියන් පැවසුව ද ඇය එය නො පිළිගනී. මසුරන්
දහසක් අල්ලස් වශයෙන් වධක නිලධාරීන්ට දී සොර දෙටුවා ගලවා ගන්නා දෙමාපියන් ඉතාමත්
අකැමැත්තෙන් දියණිය ඔහුට පාවාදී සිටු නිවසේ රඳවා ගනී.
දින කීපයක් නිවසේ රැඳී සිටි සොර දෙටුවා තමන් ගල් පර්වතයට අධිගෘහිත දේවතාවාට භාරයක්
වූ බවත්, එය ඔප්පු කිරීමට දෙදෙනා ම එහි යා යුතු බවත් කුමරියට දන්වා ඇය සියලු
අබරණින් සරසවා ගෙන පර්වතය මුඳුනට නඟී. බාරහාර ඔප්පු කිරීමක් සිදු නොවූ අතර, ඇය
පර්වතයෙන් පහළට හෙළා මරා දැමීමට ඔහු සැරසෙන බව කුමරියට දැනුණි. සිය ජීවිතයේ අවසාන
මොහොතේ දී ස්වාමි පුරුෂයා තෙවරක් පැදකුණු කොට වැඳීමට අවශ්‍ය බව පවසා උපක්‍රමශීලීව
ඔහු පර්වතයෙන් පහළට තල්ලු කර දමා මරණයට පත් කළා ය.
දෙමාපියන් වෙත ආපසු යාමට අකැමැති වූ කුමරිය පරිබ්‍රාජිකාවන් වෙසෙන ආරාමයකට ගොස්
දහසක් වාද ඉගෙන අතිදක්ෂ වාද කරන්නියක් බවට පත්ව ජම්බු අත්තක් අතින් ගෙන තැනින් තැන
යමින් සිටිය දී සැවැත් නුවර දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමඟ වාදයට ගොස් පැරැ දී
ධර්මය ශ්‍රවණය කොට අරහත් භාවයට පත්වී කුණ්ඩලකේසී යන නමින් ප්‍රසිද්ධියට පත්විය.
ඛේමා
රහත් තෙරණින් වහන්සේ
බිම්බිසාර රජතුමාගේ අගබිසව ඛේමා රූ මදයෙන් මත් වූ කාන්තාවකි. බුදු හිමියන් හමුවට
යාමට අකැමැති විය. මේ තත්ත්වය ගැන කනස්සල්ලට පත් රජතුමා බිසව බුදුරදුන් වැඩසිටි
වේළුවන උයනට යැවීමට උපායක් යෙදීය. විවිධාකාර අලංකාර පෙනුමක් ඇති කොට එම උයන වර්ණනා
කරමින් ගීත ගායනා කරවීය. දිනක් තමා මෙම උයන නැරඹීමට යන බව සඳහන් කළ විට බුදු
සමිඳුන් බැහැ දකින ලෙස ද රජතුමා ඇයට දැන්වීය. උයන් සිරි නැරඹීමෙන් අනතුරුව බුදු
හිමියන් බැහැදැකීමට යන විට තමන් කිසි දිනෙක නුදුටු දෙවඟනක් වැනි ඉතාමත් ශෝභමාන රූ
සිරියෙන් බබළන තරුණ කාන්තාවක් බුදු හිමියන්ට පවන් සලනු දුටු අතර සුළු වේලාවකින් එම
සුරූපී තරුණිය තුරුණු විය, මැදිවිය, මහලුවිය පසුකර මියගොස් ඇද වැටෙනු දැකීය.
මෙය රජ බිසවට පමණක් පෙනෙන සේ බුදු හිමියන් සිදු කළ මවා පෑමකි. කලකිරීමට පත්ව සිටි
දේවියට සිදු කළ ධර්ම දේශනාව අවසානයේ ඇය රහත්ඵලයට පත්විය. මාලිගාවට ගොස් රජුගේ අවසරය
ලබාගෙන පැවිදි දිවියට ඇතුළත් විය. ඛේමා මෙහෙණින් මනා පුහුණුව ඇති මෙහෙණින් අතුරෙන්
අග්‍රස්ථානයට පත්කොට වදාළ සේක.
විශාඛා
මහෝපාසිකාව
පදුමුත්තර බුදු රදුන් සමයේ උපත ලද සොයුරින් සත් දෙනා අතුරෙන් විශාඛා මහෝපාසිකාව
තුසිත දෙව්ලොව දෙව් සැප විඳිමින් සිටින අතර අනාගතයේ දී මහ රහත් භාවයට පත්වනු ඇත.
කිසාගෝතමී
රහත් තෙරණින් වහන්සේ
සිදුහත් කුමරු ගිහිගෙය හැරයාමට පෙර සිය නිවස ඉදිරිපිටින් යද්දී උඩුමහලේ සිට නිබ්බුත
පද සජ්ඣායනා කළ සිටු දියණිය වූ කිසා ගෝතමිය ගැන බොහෝ දෙනා අසා ඇත. එතුමිය මනා රූ
සපුවකින් හෙබි සිහින් සිරුරක් ඇත්තියකි. දෙමාපියන් විසින් සරිලන සිටු කුමරකුට
පාවාදීමෙන් පසුව ලත් බිළිඳා මිය යාමෙන් වාවාගත නොහැකි ශෝකයට පත් එතුමිය උමතු
විලාශයෙන් මළ සිරුර ලෙහි හොවාගෙන හඬා වැලපෙමින් දිව යද්දී නුවණැති පුරුෂයකු විසින්
ඇය බුදුසමිඳුන් වෙතට යොමු කරන ලදී. උන්වහන්සේගෙන් බෙහෙත් විමසූ විට නො මළ ගෙයකින්
අබ මිටක් ගෙනෙන්නැයි වදාළෙන් ගෙන් ගෙට ගිය ඇයට පියවි සිහිය මෙන්ම මරණය පිළිබඳ යම්
අවබෝධයක් ද ලැබුණි. මළ සිරුර ඉවතලා බුදුරදුන් හමුවට ගොස් ධර්මය ශ්‍රවණය කොට සෝවාන්
ඵලයටත්, පසු අවස්ථාවක දී මහරහත් ඵලයටත් පත්විය.
රජගහ නුවර ගිජුකුළු පව්වේ බුදුරදුන් වැඩ සිටි අවස්ථාවක සක්දෙව් රජු උන්වහන්සේගෙන්
ධර්මය ශ්‍රවණය කරමින් සිටිය දී කිසාගෝතමී අහසින් පැමිණ වැඳ නමස්කාර කොට පෙරළා වඩී.
සක්දෙව් රජු ඒ කවරෙක්දැයි විමසූ විට පිළිවෙත් අකුරට ම පුරන කිසාගෝතමි යැයි පිළිවදන්
දී ඇත.
ධම්මදින්නා
රහත් තෙරණින් වහන්සේ
රජගහනුවර බෙහෙවින් ධර්මානුකූල ව ජීවිතයක් ගතකළ සැදැහැති යුවලකි. විශාඛා සිටුතුමා හා
ධම්මදින්නා සිටු දේවිය රාජ්‍ය සේවයට ගොස් පෙරළා පැමිණෙන සිටුතුමා උඩුමහල් තලයේ
ජනෙල් කවුලුවෙන් එබී බලා අතින් සංඥා කරමින් ආචාර කරන දේවිය පඩිපෙළ බැසවිත් සිටුතුමා
පිළිගෙන අතින් අල්වාගෙන උඩු මහලට කැඳවාගෙන යාමේ පුරුද්දක් විය.
දිනක් සිටුතුමා අත ගසා දමා මේ සියලු සම්පත් රැගෙන මාපියන් වෙතට යන ලෙසට සිටු දේවියට
දන්වයි. එදින බුදු හිමියන්ගෙන් ධර්මය ශ්‍රවණය කොට අනාගාමී ඵලයට පත්වී සිටීම (ඒ බව
මුවින් ප්‍රකාශ නොකරයි.) ඊට හේතුවයි. ධම්මදින්නා පැවිදිවීමට පැතූ අවසරය විශාඛා
සිටුතුමා සතුටින් පිළිගත්තේ ය.
පැවිදි වූ ධම්මදින්නා මෙහෙණිය ඉතා කෙටි කලකින් මහ රහත් භාවයට පත්වී රජගහනුවර සමීපයේ
ආරාමයකට පැමිණ සිටින බවට වූ තොරතුර ලත් සිටුතුමා ඇය මුණ ගැසී විමසූ ප්‍රශ්න
තිස්ගණනක් චුලවේදල්ල සූත්‍රයේ අන්තර්ගත ය. ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේට වැඳ
නමස්කාර කොට ආපසු ගිය සිටුතුමා බුදු සමිඳුන් හමුවේ මෙම තොරතුරු ප්‍රකාශ කළ විට
උන්වහන්සේ සාධු නාද පවත්වා එම ධම්මදින්නා රහත් තෙරණිය දුන් පිළිතුරු ඇගයීමට ලක් කොට
වදාළ සේක. |