Print this Article


බ්‍රාහ්මණ සමාජයෙන් බුදු සමයට එල්ලවූ අභියෝග ජයගත් හැටි

සෝණදණ්ඩ සූත්‍රය ඇසුරෙන්

බ්‍රාහ්මණ සමාජයෙන් බුදු සමයට එල්ලවූ අභියෝග ජයගත් හැටි

බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සිදුකළ සමයේ භාරතීය සමාජය විවිධාකාර ආගමික ශාස්තෘවරු හා දාර්ශනිකයන්ගෙන් ගහනව ගිය, විමුක්තිය සොයා යන කුතුහලයෙන් යුක්ත වූ ගවේෂකයන් බහුල වූ අභියෝගාත්මක සමාජයකි.

ශ්‍රමණ සම්ප්‍රදායට ම අයත් වූ ෂඩ් ශාස්තෘවරු ලෙස ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇති ආගමික ගුරුවරු අට දෙනකුගෙන් යුක්ත වූ, තවත් ජටිල, පරිබ්‍රාජක ආදි විවිධාකාර ආගමික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකල භාරතීය සමාජයේ විය. බ්‍රාහ්මණ වේදයට අනුව පෙළගස්වා පාලනය කරන ලද එකල භාරතීය සමාජය තුළ නව මෙන්ම වෙනස් වූ විමුක්ති මාර්ගය ප්‍රචාරය කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේට පහසු වූ කාරණයක් නොවී ය. විවිධාකාර ආගමික ශාස්තෘවරුන්ගෙන් හා සමාජ කණ්ඩායම් මඟින් උන්වහන්සේ අභියෝගයට ලක් වූ අවස්ථා ත්‍රිපිටකයේ සූත්‍ර පුරා දක්නට ඇත. එවැනි ම කතා පුවතක් ඇතුළත් සූත්‍රයක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ග පාළියේ එන සෝණදණ්ඩ සූත්‍රය හැඳින්විය හැකි ය.

එහි කියැවෙන ආකාරයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරා අඟු රට, වම්පා නුවර, ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරන අවස්ථාවක මෙම සූත්‍ර දේශනාව සිදුකරන්නට කටයුතු සිදුකර තිබේ. සූත්‍රයේ සඳහන්ව ඇති ආකාරයට මෙය මගධයේ එවකට අධිරාජ්‍යයා වූ බිම්බිසාර රජු විසින් ත්‍යාගයක් ලෙස සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා වෙත ප්‍රදානය කෙරුණකි. එකල්හි ඔහු එම චම්පා නුවර ප්‍රධානියා ලෙස බොහෝ පරිවාර සම්පත් විඳිමින් වාසය කරයි.

එකල ගෞතම බුදු රජාණන් වහන්සේ මගධය හරහා පෙර නොඇසූ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරමින් යන සමය යි. උන්වහන්සේ යම් ගමක්, නුවරක් කරා වැඩම කළ විට හාත්පස ඒ පිළිබඳ පුවත ඉතා ඉක්මනින් පැතිර යයි. එලෙසින්ම ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සහිත ව තම නුවර වන චම්පා නුවරට වැඩි බව එම නුවර බමුණු ප්‍රධානීන් හට සැලවිය. අරහත් වූ ද, දන්නා සියල්ල තමන් විසින්ම අවබෝධ කරගත්තා වූ ද, සියලු සීලයෙන් සම්පූර්ණ වූ ද, මනා ගමනින් යුක්ත වූ ද, සියලු මිනිසුන් දමනය කිරීමට සමත් වූ ද,දෙව් මිනිසුන්ට අනුශාසක වූ ද, සියලු කෙලෙසුන් නසා මුල, මැද, අග යන තුනම යහපත් වූ සම්පූර්ණ දහමක් දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය හාත්පස පැතිර යන්නට වූ අතර උන්වහන්සේ දැකීම පිණිස චම්පා නුවර බමුණු ප්‍රධානීන් විවිධ දිශාවලින් මහත් පිරිස් සහිතව ගග්ගරා නදී තීරයට එක්වන්නට විය.

මෙලෙස තම නුවර ප්‍රධානීන් විශාල පිරිස් සහිතව ගග්ගරා නදිය දෙසට ගමන් කරනු දුටු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා, තමා හට උපදෙස් ලබා දෙන ඛත්ත ඇමැතිගෙන් ඒ පිළිබඳ විමසා සිටියේ ය. එම ඇමැති ද පෙර කී ලෙස ම බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ වර්ණනා කර උන්වහන්සේ දකින්නට එලෙස පිරිස් ගග්ගරා නදිය දෙසට ගමන් කරනා බව සෝණදණ්ඩ බ්‍රාහ්මණයාට සැලකර සිටියේ ය. එය ඇසූ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා තමන් ද එම ප්‍රධානීන් සමඟ ගෞතම බුදුරදුන් දකින්නට යෑමට සිත් ඇති බවත්, එතෙක් නවතින ලෙස බමුණු ප්‍රධානීන්ට පවසන ලෙසත් ඛත්ත හට උපදෙස් ලබා දුන්නේ ය. ඇමැතිවරයා ද එලෙසම කළේ ය.

මෙය සැළ වූ චම්පා නුවරට පිටතින් පැමිණ සිටි බ්‍රාහ්මණයන් පිරිසක් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා හමුවීමට ගොස් ඔහුගේ කුලයේ උසස් බව, උගත්කම හා පරිණත බව ආදිය වර්ණනා කොට, ඔහු වැනි බ්‍රාහ්මණ සමාජයේ උසස් පුද්ගලයකු ගෞතම බුදුරදුන් දකින්නට යෑමෙන් ඔහු බ්‍රාහ්මණ සමාජය තුළ ගර්හාවට ලක් විය හැකි බවත්, ගෞතම බුදුරදුන්ගේ යසස ඉන් ඉහළ යා හැකි බවත් පෙන්වා දෙමින් ඔහු වළක්වන්නට උත්සාහ කරන ආකාරය සූත්‍රය තුළ සඳහන් ව තිබේ. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේගේ උසස් බව හා ගුණ පැහැදිලි කර දෙන සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර, පසේනදි කෝසල වැනි මහා අධිරාජ්‍යයන් විසින් සරණ ගිය බවත් ගුරු තැන්හි තැබූ බවත්, නොයෙක් බ්‍රාහ්මණයෝ ද උන්වහන්සේ පිරිස් ලෙසින් සරණ ගිය බවත් පිරිසට පැහැදිලි කර දී, අවසානයේ එකී සියලු දෙනා සමඟ බුදුරජාණන් වහන්සේ දකින්නට ගග්ගරා නදී තෙරට පැමිණෙයි.

එලෙස පැමිණි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙලෙස සිතයි.

“මා විසින් ගෞතම බුදුරදුන්ගෙන් ගැටලුවක් විමසා, එය එසේ නො විමසන ලෙසත්, විමසිය යුත්තේ මෙලෙසින් බවත් එසේ නැතිනම් විමසූ ගැටලුවකට දෙන පිළිතුරකට, පිළිතුරු දිය යුත්තේ එලෙස නොවන බවත්, පිළිතුර දිය යුත්තේ මෙලෙස බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහොත්,ගෞතම බුදුරදුන් සතුටු වන ලෙස පිළිතුරු දෙන්නට මට නොහැකි වූ බැවින්, මා අනුවණ බව අන් අය සිතයි. මා හට නිග්‍රහ කරනු ලබයි. නිග්‍රහ ලබන අයගේ කීර්තිය පිරිහෙයි. කීර්තිය පිරිහෙන විට භෝග සම්පත් පිරිහෙයි. ආපසු හැරී ගියත් පරිභවයට ලක්වෙයි. එවිටද පෙර කී ආකාරයෙන්ම පිරිහීමට ලක් වෙයි.”

පසුව සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදු රජාණන් වහන්සේ සමඟ සතුටු පිළිසඳරෙහි යෙදී එකත්පස්ව හිඳගත් අතර එහි සිටි ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව වාඩි වූ බවත් ඇතැමෙක් පිළිසඳර කතාවේ යෙදී වාඩි වූ බවත්, ඇතැමෙක් එකත්පස්ව ඇදිලි බැඳ වාඩි වූ බවත්, ඇතැමෙක් සිය නම්ගොත් පවසා වාඩි වූ බවත්, තවත් ඇතැමෙක් නිශ්ශබ්දව

එකත්පස්ව වාඩි වූ බවත් සූත්‍රයේ දැක්වෙයි. ඒ අනුව සියලුම දෙනා එකම ආකාරයේ ප්‍රසාදයකින් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණි වග අපට අවබෝධ කර ගත හැකි ය.

නැවත පෙර සේ ම ගැටලු විමසීම ගැන උකටලී වන සෝණදණ්ඩ බ්‍රාහ්මණයා, “ගෞතම බුදුරදුන් ආචාර්යවාදයට අයත් ත්‍රිවිද්‍යාව ගැන මාගෙන් විමසන්නේ නම් කොතරම් අගනේද” යැයි සිතයි. නුවණින් ඔහුගේ අදහස දකින කාරුණිකයාණන් වහන්සේ විසින්

“බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයකු ලෙස සලකන්නේ කුමන අංගවලින් යුත් පුද්ගලයකු ද, මම බ්‍රාහ්මණයකු වෙමියි කියන්නටත්, එය මුසාවාදයක් නොවන්නටත් හේතු වන කරුණු කවරේද” ලෙස සෝණදණ්ඩගෙන් විමසා සිටින සේක.

එයට පිළිතුරු දෙමින් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා පරම්පරාවෙන් උරුම වන සුජාත බව, වේද මන්ත්‍රවල උගත් බව, රූපවත් බව, සීලයෙන් වැඩුණු බව, යාග කිරීමේ දී ලැබෙන ප්‍රමුඛස්ථානය යන අංග පහ සම්පූර්ණ වීම මත සැබෑ බ්‍රාහ්මණයකු වන බව ප්‍රකාශ කරයි. එයට අදාළව බුදුරජාණන් වහන්සේ විමසන කරුණු සඳහා පිළිතුරු ලබා දෙන සෝණදණ්ඩ බ්‍රාහ්මණයා හට යමකු සැබෑ බ්‍රාහ්මණයකු වන්නේ කෙලෙසද, එලෙසින්ම කෙනකු සැබෑ භික්ෂුවක් ලෙස සැලකිය හැකි ආකාරය පැහැදිලි කරමින් සිල්වත් භාවයේ සිට ක්‍රමයෙන් ප්‍රථම, දෙවන, තෙවන, සතරවන ධ්‍යානය හෙවත් සමාධිය උපදවා නැවත උපතක් නොමැති බව අවබෝධයෙන්ම දැන ප්‍රඥාව ලබනා අයුරු විස්තර කර දේශනා කර සැබෑ බ්‍රාහ්මණයා නම් සීලයෙන් හා ප්‍රඥාවෙන් සම්පූර්ණ පුද්ගලයා බව සෝණදණ්ඩ බ්‍රාහ්මණයා හට පැහැදිලි කර දෙන සේක.

මෙය ඇසූ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ඉතා පී‍්‍රතියට පත්ව “භාග්‍යවතුන් වහන්සේ යටට හරවා තිබූ දෙයක් උඩට හැරවූ සේ ම, වසා තිබූ දෙයක් හැර පෙන්වූවා සේ ම, මං මුළා වූ අයකුට නියම මඟ පෙන්වූවා සේ ම, ඇස් ඇති අයට අඳුරේ දකින්නට තෙල් පහනක් දැල්වූවා සේ ම, පැහැදිලි ධර්ම දේශනා කළ සේක. මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද සරණ යමි. හෙට දිනයේ අප නිවෙසේ දානයට වඩින සේක්වා” යි දානයට ආරාධනා කර සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද එය ඉවසා සිටි සේක.

පසුදින දානය සකස් කළ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා, ඒ බව බුදු රජාණන් වහන්සේට දන්වා යැවීමෙන් අනතුරුව උන්වහන්සේ ඇතුළු මහා සංඝයා සෝණදණ්ඩගේ නිවෙසට වැඩමකොට දානය වළඳා අවසන් කළ පසු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මිටි අසුනක් ගෙන එකත්පස්ව හිඳ මෙසේ කියන්නට විය.

“භාග්‍යවතුන් වහන්ස, මා පිරිසක් මැද සිටියදී හුනස්සෙන් නැඟී සිට ඔබ වහන්සේට වන්දනා කළහොත්, ඒ බ්‍රාහ්මණ පිරිස මට පරිභව කරයි. එලෙස පරිභව ලබන්නාගේ කීර්තිය පිරිහෙයි. එයින් භවභෝග පිරිහෙයි. අප භවභෝග සම්පත් ලබන්නේ කීර්තිය නිසා ම ය. ඒ නිසා යම් විටක මා පිරිසක මැද සිටිය දී ඔබ වහන්සේ දැක ඇඳිලිබැඳ ආචාර කරයි නම්, එය මා හුනස්නෙන් නැඟිට කළ ගෞරවයක් ලෙස සලකනු ලබත්වා. යම් ලෙසක මා හිස් වෙළුම මුදා අතට ගත්තේ නම්, එය හිස නමා කළ වන්දනාවක් ලෙස පිළිගනිත්වා. රථයක ගමන් ගන්නා කල මා කෙවිට බිමට පහත් කර ඉදිරියට නැමූයේ නම් එය මා රථයෙන් බැස කළ වන්දනාවක් ලෙස ද, කුඩයක් ඉහළා සිටිත් නම් එය පසෙකට හරවා පහළට නමන්නේ නම් හිස නමා කළ වන්දනාවක් ලෙසට ද පිළිගනිත්වා’යි ප්‍රකාශ කරයි.

ඔහුගේ අදහස තේරුම් ගන්නා භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ගුණ කියා ඔහු සතුටු වන හා කුසලයෙහි උනන්දු වන ලෙස ධර්මය දේශනා කොට ආපසු වැඩම කරයි.

සූත්‍රයේ දැක්වෙන ආකාරයට සෝණදණ්ඩ යනු එවකට බ්‍රාහ්මණ සමාජයේ ප්‍රබල චරිතයකි. අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය උපාසකයකු වුව ද, තෙරුවන් ප්‍රසිද්ධියේ පිළිගෙන කටයුතු නොකිරීමට හේතුවන බ්‍රාහ්මණ සමාජයේ තිබූ ප්‍රතිගාමී බලවේගයේ ප්‍රබලත්වය මෙම සූත්‍රයේ මුල් කොටසේ අනෙක් බ්‍රාහ්මණයන් සෝණදණ්ඩ හට භාග්‍යවතුන් වහන්සේ හමු නොවන ලෙස කරනා කරුණු දැක්වීම ද, මැද භාගයේ කරුණු විමසීමට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා පැකිළෙන ආකාරයෙන් ද, විශේෂයෙන් ම අවසාන කොටසේ තමන්ගේ ගෞරවය භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වනා සංකේතමය ක්‍රමයක් ප්‍රකාශ කිරීමෙන් ද, මනාව පැහැදිලි වෙයි. පෙර කී බිම්බිසාර, පසේනදි කෝසල ආදි අධිරාජ්‍යයෝ පවා තෙරුවන් සරණ ගිය ද, සමස්ත සමාජය ම වඩා ප්‍රබල වූ බ්‍රාහ්මණ වේදික ක්‍රමවේදයට අනුව පාලනය වූ බවත්, ඊට ප්‍රමුඛස්ථානය ලැබීම නිරායාසයෙන් ම සිදු වූ බවත් පැහැදිලි කරුණකි. එවැනි සමාජයක ශ්‍රමණ ප්‍රවෘජ්‍යාවෙන් සිදුකළ සද්ධර්ම ප්‍රචාරය කෙතරම් අභියෝගාත්මක වන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය.

පන්සාළිස් වසක් පුරා පා ගමනින් ම ගව් ගණනක් වැඩම කරමින් එතරම් උත්සාහයෙන්, සියලු ලෝවැසියාගේ හිතසුව පිණිස නිර්වාණ මාර්ගය දේශනා කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වඩ වඩාත් වර්ධනය කර ගැනීමටත් මේ සටහන ඔබට උපකාරී වනු ඇත.