Print this Article


අසිහිය සිහිගැන්වීම

සුවපත් මනසක් සුවබර දිවියක් - 42 කොටස:

අසිහිය සිහිගැන්වීම

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

සුමට සේ පෙනෙන මෙම චලනයන් සංකීර්ණ කුඩා ගැස්සීම් මාලාවකින් නිර්මාණය වී ඇති ආකාරය දැකගන්න. කිසිවක් මඟ නො හරින්න. ඔබගේ සංවේදීතාව වර්ධනය කර ගැනීම සඳහා චලනයන් කොටස්වලට වෙන්කර ගන්න.

සෑම පියවරක දී ම පාදය ඉහළට එසවීමක්, ඉදිරියට ගෙන යෑමක් හා පහතට හෙළීමක් ඇත. සෑම කොටසකට ම පටන් ගැනීමක්, මධ්‍යයක් හා අවසානයක් ඇත. චලනයන්ට හුරුපුරුදු වීම සඳහා සෑම පියවරක් ම මනසින් සනිටුහන් කර ගැනීම ආරම්භ කරන්න.

“ඔසවනවා, පැද්දෙනවා, පහළට හෙළනවා, පොළව ස්පර්ශ කරනවා, අඩිය බිම තබනවා” වැනි මානසික සටහන් ඇතිකර ගන්න. මෙම පුහුණුවීම, චලනයේ සමස්ත අනුක්‍රමය පිළිබඳ ව ඔබ දැනුවත් වීමට හා කිසිවක් ඔබට මඟ නො හැරෙන ලෙසට වගබලා ගැනීමට වෙයි. නිමක් නොමැති සියුම් සිදුවීම්වලට අවදි වන ඔබට වචන සඳහා කාලයක් නැති වෙයි. අඛණ්ඩ ව ගලායන චලනයේ දැනීම තුළ ගිලී යන බව ඔබ වටහා ගනියි.

පාදයේ අඩිය ඔබගේ මුළු විශ්වය බවට පත්වෙයි. ඔබගේ සිත දුවන විට ඒ බව දැනගෙන ඔබගේ අවධානය සක්මන් කිරීම වෙත ගෙන එන්න. මේ සියල්ල කරන අතරතුර ඔබගේ දෙපා දෙස බැලීම හෝ ඔබගේ පාදය පිළිබඳ චිත්තරූප පවත්වා ගැනීමට හෝ නො සිතන්න. දැනීම පමණක් පවත්වා ගන්න. පාදය පිළිබඳ සංකල්පයක් හෝ පින්තූර ඔබට අවශ්‍ය නොවේ. ගලායන සංවේදනා ඒ මොහොතේ ම සනිටුහන් කර ගන්න. ආරම්භයේ දී, සමහරවිට, ඔබට සමතුලිතතාව පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ඔබ පාදයේ මාංශපේශීන් නව ආකාරයකට පාවිච්චි කරන බැවින් ඉගෙනුම් කාලයක් ඇතිවීම ස්වභාවික ය. ඉච්ඡාභංගත්වය නැඟුන විට ඒ බව දැකගෙන ඒවාට යන්න හරින්න. අනෙක් සියලු දේ පසෙකට තල්ලු කර ඔබගේ උඩුසිත සරල සංවේදනාවලින් පිරවීම සඳහා පිරවීම සඳහා විපස්සනා සක්මන් භාවනා ක්‍රමය සැලසුම් කර ඇත. එහි සිතිවිලි සඳහා ඉඩක් නැති බැවින් ආවේග හෝ හැඟීම්වලට ද ඉඩක් නො ලැබේ. අල්ලා ගැනීමට හෝ ක්‍රියාවක් සංකල්පයකට නැඟීමට හෝ වෙලාවක් නැත.

තමා යන හැඟීම ඇතිකර ගැනීමට ද අවශ්‍යතාවක් නැත. එහි තිබෙන එකම දෙය ස්පර්ශ කළ හැකි චාලක සංවේදනා පිළිබඳ පූර්ණ අවබෝධය හා නිමක් නැති නො කඩවා වෙනස්වන අත්දැකම් ධාරාවකි. යථාර්ථය මඟ හැරීමට නොව යථාර්ථය තුළට වැදීමට අපි මෙහිදී ඉගෙන ගනිමු. මෙහිදි ලබා ගන්නා කවර හෝ අත්දැකීමක් මතවාදයන්ගෙන් පිරි අපගේ ජීවිතයට ඍජුව ම අදාළ වෙයි.

ඉරියව්

අපගේ පුහුණුවේ අරමුණ වන්නේ අපගේ අත්දැකීම්වල සියලු පැතිකඩම අඛණ්ඩ ව මොහොතින් මොහොත ගලායන සැටි පූර්ණ අවදියෙන් බැලීමයි. අප කරන බොහෝ දේ හා අපගේ අත්දැකීම් බොහොමයක් අවධානයකින් තොරව සිදුවෙයි. මනස මුළුමනින් ම වෙනතක යොමු වී තිබෙයි. දවල් සිහින හා බාහිර කල්පනාවෙන් පිරුණු සිතැති ව අපි ස්වයංක්‍රීය ව දුවන රථයක් මෙන් අපගේ කාලයෙන් වැඩි කොටසක් ගතකරමු.

අප බොහෝවිට සැලකිල්ලක් නො දක්වන ජීවිතයේ අංගයක් වන්නේ අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වය යි. හිතේ දුවන වෛවර්ණ කාටූන් සංදර්ශනය අප ආකර්ශනය කර ගන්නා විට ශාරීරික සංවේදනාවලින් අපගේ අවධානය ඉවත යයි. සෑම තත්පරයක දී ම ස්නායු හරහා මොළයට තොරතුරු ගලා ගිය ද අපි එය බොහෝවිට අපගේ දැකීමෙන් වෙන්කර තබමු. මනසේ පහළ කොටසට පමණක් ළගාවන එය ඉන් ඔබ්බට නො යයි. වාන් දොරටු හැර, එයට දැනීම වෙත ළඟාවීම සඳහා බෞද්ධයන් විසින් අභ්‍යාසයක් සකස් කර ඇත. එය තවත් ආකාරයක අසිහිය සිහිගැන්වීකි. (අවිඥානය, විඥානික කිරීමකි)