නිර්වාණාවබෝධයට අෂ්ට මහා පුරුෂ විතර්ක
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
අනුරුද්ධ කුමරා පැවිදිව, මුල් වස්කාලය තුළ ම දහසක් ලෝකයන් බැලිය හැකි දිවැස් නුවණ
ලබා ගැනීමට සමතෙක් විය.
මෙසේ දිවැස් නුවණ ලැබ ගත් අනුරුද්ධ හිමියෝ දිනක් සැරියුත් මාහිමියන් වහන්සේ වෙත
පැමිණ
“ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස, මා මිනිසැස ඉක්මවා දහසක් ලෝක බැලිය හැකි දිවැස්
නුවණ ලබා ඇත. මා සිහියෙන් යුතුව, දැඩි සේ වීර්යය කරන නමුත් මගේ සිත ආශ්‍රව ධර්ම
(.කෙලෙස්) වලින් මිදෙන්නේ නැතැ’යි කීහ.
එවිට ශාරිපුත්‍ර මාහිමියන් වහන්සේ “ඇවත් අනුරුද්ධය මම මිනිසැ’ස ඉක්මවා දිවැසින්
දහසක් ලෝකයන් බලමි” යන මේ ඔබගේ හැඟීම මාන සහගත වූවකි. “මා විසින් වීර්ය පටන් ගන්නා
ලදී. සිහිය පිහිටුවා ගන්නා ලදී. මගේ සිත සමාහිත විය” යන මේ ඔබගේ හැඟුම උද්ධච්ච සහගත
ය. “මෙසේ තිබියදීත් මගේ සිත කෙලෙසුන්ගෙන් නොමිදේ ය” යන ඔබගේ හැඟුම කුක්කුච්චසහගත ය.
අනුරුද්ධය, එය නො මැනවි. අනුරුද්ධය ඔබ මේ තුන අමතක කොට අමෘත ධාතුයෙහි සිහිය
පිහිටුවා ගතමනා යැයි අවවාද කොට කමටහන් දුන් සේක.
එසේ කමටහන් ගත් අනුරුද්ධ මාහිමියෝ චේති ජනපදයෙහි පාචීනවංස නම් මුව වනයට වැඩම කොට
එහි අඩමසක් සක්මනින්ම කල්ගෙවා ක්ලාන්ත වූයෙන් එක් උණ පඳුරක් යට විවේකී ව හුන්සේක්”
මේ නව ලොවුතුරු දහම ලබාගන්නට නම් අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස” යනාදි
වශයෙන් මහා පුරුෂ විතර්ක හතක් සිහි කරමින් හුන් සේක. මෙසේ මහා පුරුෂ විතර්ක හතක්
සිහිකරමින් අට වැනි මහා පුරුෂ විතර්කයෙහි සිත නො වැටෙමින් හුන් අනුරුද්ධ මාහිමියන්
වහන්සේ දුටු භාග්‍යවතුන් වහන්සේ සග්ග ජනපදයෙහි භේසකලා වන මිගදායයෙන් අතුරුදන්ව
අනුරුද්ධ මාහිමියන් වහන්සේ ඉදිරියෙහි පහළ වූ සේක. පහළ වැ මේ අටවැනි මහා පුරුෂ
විතර්කයත් සිහියට ගන්නැයි අටවැන්න දේශනා කළ සේක.
අෂ්ට මහා පුරුෂ විතර්ක යන මෙහි මහා පුරුෂයෝ නම් සතරමඟ සතර ඵල නිවන යන නව ලොව්තුරු
දහම් සිය සතන්හි උපදවා ගන්නට සැදී පැහැදී වෙසෙන උතුමෝ ය. ඒ මහා
පුරුෂයන්ගේ සිතිවිලි මහා පුරුෂ විතර්ක නමි. ඒවා අටෙකි.
1. අප්පිච්ඡස්සායං -
ධම්මො- නායං ධම්මො මහිච්ඡස්ස
මේ නව ලොව්තුරු දහම අල්පෙච්ඡයාට මිස මහෙච්ඡයාට නො ලැබෙයි. මෙහි ධම්ම ශබ්දය නව
ලොවුතුරු දහම පවසයි. - අධිගම - ධුතංග අල්පෙච්ඡතාවය ද පච්චය වශයෙන් සතරකි. එයින්
පච්චය අප්පිච්ඡතාවය නම් වැඩි - පරියත්ති මනත් සිවුපසය නො පැතීමයි. වැඩිපුර සිවුපසය
නො පතන පුද්ගලයා තමනට වැඩිපුර දෙනවිට මඳක් ගනියි. මඳක් දෙන කල්හි එයිනුත් මඳක් ගනී.
හෙතෙම සිවුපසය ගොඩ ගසා ගැනුම ප්‍රතිපත්ති පූරණයට මහත් ම බාධාව බව වටහා ගනියි.
එහෙයින් තම දිවිපෙවෙත ගෙන යාමට ප්‍රමාණවත් වන තරමට මිස ඉන් වැඩි කිසිවක්
බලාපොරොත්තු නොවෙයි. අධිගම අප්පිච්ඡතාව නම් සිය සන්තානයෙහි උපදවා ගත් මාර්ගඵලාදිය
අන්‍යයන්ට නො දැන්වීම ය. මාර්ග ඵලලාභීහු තමන් විසින් මේ මේ මඟ පල ලබන ලදැයි කීමෙක්
නැත. යම්විටෙක තමන්ගෙන් කමටහන් ගැනීමට පැමිණි කෙනකුන් විසින් කිනම් මඟඵල ලබාගත්
සේක් දැයි අසනු ලැබුවොත් තමන් මේ මේ මඟඵල ලබන ලදැයි ප්‍රකාශ කිරීම සිරිත ය. නො
එසේනම් උන්වහන්සේ නිහඬ ව වෙසෙති.
පරියත්ති අප්පිච්ඡතාව නම් තම උගත්කම අනුනට නො ඇඟවීමයි. මේ ගුණයෙන් යුක්ත වූවෝ තුමු
ත්‍රිපිටකධාරී වුව ද ඒ බව නො දන්වති. කියා නො පාති, එහෙත් තමන්ගෙන් ඉගෙනීම පිණිස
බලාපොරොත්තු වන්නවුනට නො සඟවා කියා දෙති. ධුතංග අප්පිච්ඡතාව නම් ධුතංග රක්නවුන්
විසින් තමන් රක්නා ධුතංග නො ඇඟවීමයි. ධුතංග ධර්ම හෝ අන් ගුණ දහමක් හෝ රක්ෂා කරන්නකු
ඒවා අනුනට පෙන්නීමට, ඇඟවීමට සිතතොත් එය ඉතා පහත් අදහසෙකි. ගුණ දහම් රක්නේ අන්‍යයනට
පෙන්වීමට නොව සිය සන්තානය පිරිසුදු කොට ගැනීම පිණිස ය. එහෙයින් හරි අදහසින් ගුණ
දහම් රක්නා මහා පුරුෂයෝ තමන් සමඟ එක කුටියෙහි වසන්නවුන්ටවත් නො දැනෙන සේ සිය ගුණ
දම් පුරති. මෙකී සිවු ආකාර අප්පිච්ඡතාවයෙන් යුත් පුද්ගලයාට ම නව ලොවුතුරු දහම
උපදවාගත හැකි ය. මහෙච්ඡයාට (මෙයින් තොර වුවහුට) ඒ නව ලොවුතුරු දහම් නො ලැබෙයි.
2.
සන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස
මේ ධර්මය ත්‍රිවිධ සන්තෝෂයෙන් සන්තෝෂ වන්නාට ලැබෙනවා මිස එසේ සතුටු නො වන්නට
නොවෙයි. මෙහි ත්‍රිවිධ සන්තෝෂ නම් ලද දැයෙකින් සතුටු වීම ය. කියන යථාලාභ සන්තෝෂය,
ලැබුණත් සිය බලය (ශක්තිය) කොතෙක් දැයි සිතා මතා තමනට නො ගැළපෙන්නා වූ හෝ බර වූ හෝ
දැය වෙතොත් ඒවා පරිභෝගයට සුදුසු සබ්‍රම්සරුනට දී තමන් තතු සිතා තමනට ගැළපෙන්නේ
විසිතුරු නොවූ සැහැල්ලුවූත් දෙයැයි සලකා එයින් තුටු වීමය යි කියන යථා බලසන්තොෂයය,
ලැබුණත් එය තමාට ගැළපෙතත්, තම පිරිසුදු ආජීවය කිලිටි නො කරන දැයකින් ම තුටුවීය යි
කියන යථාසාරුප්ප සන්තෝෂය ය යනු ඒ ත්‍රිවිධ සන්තෝෂ යෝ යි. මෙකී ත්‍රිවිධ සන්තෝෂයෙන්
සන්තෝෂ වන්නට හැකි අයට ම මේ නව ලොවුතුරු දහම සැපයෙනවා මිස එසේ නො වන්නාට සැපයෙන්නේ
නැත.
3. පවිචිත්තස්සායං ධම්මො නායං ධම්මො සංගණි කාරාමස්ස
මේ ධර්මය උසස් විවෙක ඇත්තහුට මිස පිරිස් සමඟ හා කෙලෙස් සමඟත් ගැටෙමින් වසන්නහුට
නොවේ. මෙහි විවේක තුනකි. කාය - විත්ත - උපධි වශයෙන් කාය විවේකය නම් ගණ සංගණිකායෙන්
(නොයෙක් දෙනා සමඟ එක්ව විසීමෙන්) තොරව තනියම යම්කිසි භාවනාවෙකැ නියැළී විසීමයි. එසේ
භාවනා කරන්නහුට යම්විටක අෂ්ට සමාපත්ති ලැබේ නම් එවිට ඔහු චිත්ත විවේකයෙන් යුතු ය. ඒ
චිත්ත විවේකයෙන් නො නැවතී ඒ අෂ්ට සමාපත්ති (ධ්‍යාන) පාදක කොට ගෙන විදර්ශනා භාවනා
කොට රහත් වන්නට සමර්ථ වුවොත් එවිට උපධි විවෙකය ලබන ලද්දේ ය. උපධි නම් කෙලෙස් ය.
රහත් වීමෙන් සියලු කෙලෙස් මුලු සුන් කොට නසන හෙයින් ඒ උතුමා උපධි විවේක ප්‍රාප්ත
වූයේ යැයි කියනු ලැබේ. නොයෙක් පිරිස්හි ගැවසෙමින් කෙලෙස් අදහස් පහළවීමට ඉඩ දී
වසන්නහුට නව ලොවුතුරු දහම ලැබෙන්නේ නැත.
4. ආරද්ධවීරියස්සායං ධම්මො නායං ධම්මො කුසීතස්ස.
මේ ධර්මය පටන්ගන්නා ලද වීර්යය ඇත්තාට මිස කුසීතයාට නො ලැබෙයි. වීර්යය වනාහි කායික
වීර්යය, චෛතසික වීර්යැයයි දෙයාකාර ය. නව ලොවුතුරු දහම ලැබීමේ අදහසින් කය වෙහෙස
කරවීම කායික වීර්යය නමි. එය හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් වශයෙන් සිරුර වෙහෙස
කිරීමයි. අදහස මුදුන් පැමිණෙන තුරු මේ වීර්යය අත් නොහරිමි, යි දැඩි ව ගත් අධිට්ඨාන
චිත්තය චෛතසික වීර්ය ය යි. මේ දෙ වැදෑරුම් වීර්යය ඇත්තාට නව ලොවුතුරු දහම සැපයෙනවා
මිස මෙකී වීර්යය නොමැති කුසීතයාට කිසිසේත් නව ලොවුතුරු දහම සැපයෙන්නේ නැත.
5. උපට්ඨිත සතිස්සායං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස.
මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාට මිස මුළා වූ සිහි ඇත්තාට නොවෙයි. මෙහි එළඹැ සිටි
සිහි ඇත්තා නම් සතිපට්ඨාන භාවනා වශයෙන් සිහිය පුරුදු කරන්නායි. දිගු කලක් සතිපට්ඨාන
භාවනා කොට සිහිය පුරුදු කර ගත යුතු ය. එසේ පුරුදු කොටගත් සිහි ඇත්තා මුළා නොවෙයි.
ඔහුට නව ලොවුතුරු දහම ලැබෙනවා මිස සිහිය පුරුදු නො කළහුට එවා ලැබීමෙක් නැත.
6. සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස
මේ ධර්මය සමාහිතයාට මිස අසමාහිතයාට නො
ලැබේ. සමාහිතයා නම් එක් කුසල් අරමුණෙක්හි එකඟ කොට ගත් සිත් ඇත්තායි. යම් කෙනකුට
කුසලාරම්මණයෙක්හි සිත පිහිටුවා ගත හැක්කේ නම්, එය නව ලොවුතුරු දහම ලැබීමෙහි ලා
මහෝපකාර ය. සමාහිත සිත් නැත්තාට කිසිසේත් නවලොවුතුරා දහම් ඉපැද්දෙක් නැත.
7. පඤ්ඤවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස
මේ ධර්මය ප්‍රාඥයාට මිස දුෂ් ප්‍රාඥයාට නො ලැබේ. මෙහි ප්‍රාඥයා නම් කම්මස්සක
ප්‍රඥායෙන් යුත් තැනැත්තායි. කම්මස්සක ප්‍රඥාව නම් කුසලාකුසල කර්මයන්ට තමන් අයත්
වන්නේ යැයි නිසැක කොට තේරුම් ගැනීම යි. එකී ප්‍රඥාව නැත්තාට නව ලොවුතුරු දහම් තබා
ඉන් මොබැ පවතින ගුණයකුදු ලැබ ගත නොහැකිය.
8. නිප්ප පඤ්චාරාමස්සායං ධම්මො නිප්ප පඤ්චරතිනො, නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරති
නොති.
මේ ධර්මය නිර්වාණ පදයෙහි ඇලුණාහුට මිස ප්‍රපංච ධර්මයන්හි ඇලුණාහුට නොවේ. මෙහි
නිප්පඤ්ච යනු නිර්වාණය යි. නිර්වාණ ධර්මය තණ්හා, මාන, දිට්ඨින්ට ගොදුරු නොවන හෙයින්
මේ නම ලබයි. තණ්හා, මාන, දිට්ඨින් නිසා ඇති වනුයේ ප්‍රපංචය යි. ප්‍රමාදය යි.
ප්‍රමත්තයා ඉදුරන් පිනවීමෙහි යෙදෙයි. ඉඳුරන් පිනවන්නා මෝක්ෂ මාර්ගයෙන් ඉවත් වූවෙකි.
එහෙයින් ප්‍රපංචයෙහි ඇලුණාහුට නව ලොවුතුරු දහම නො සැපයෙන බව දේශනා කළ සේක.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එතැනින් අතුරුදන්ව හේසකලාවන මිගදායයෙහි පහළ ව එහිදී
භික්ෂූන් වහන්සේ අමතා
“අප්පිච්ඡස්සායං භික්ඛවෙ ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස” යනාදී වශයෙන් අෂ්ට මහා පුරුෂ
විතර්කයන් දේශනා කළ සේක. මෙකී මහා පුරුෂ විතර්කයන් සිහි නො කරන්නෝ නිර්වාණාවබෝධය නො
කරති. එබැවින් නිවන් රිසියන් විසින් මේ මහා පුරුෂ විතර්කයන් සිත්හි ලා උපදවා ගෙන
ක්‍රියාරම්භ කළ යුතු ය. |