Print this Article


අධික නිදිමත අලසබව මඟහරිමු

අධික නිදිමත අලසබව මඟහරිමු

නින්ද යනු අපගේ කායික සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. මනෝවිද්‍යාව තුළ පුද්ගලයා මුලිකව නින්ද සදහා ප්‍රමුඛස්ථානයක් හිමිවේ.

ඒ අනුව සාමාන්‍යයෙන් වයස 18 හෝ ඊට වැඩි අයකු නිදාගතයුතු කාලය පැය 6-8 අතර යැයි සඳහන් වේ. මෙවැනි නින්දක් ලැබීම තුළ පුද්ගලයාට ශාරීරික  ප්‍රකෘතිය, මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම, චිත්තවේග නියාමනය, සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනයට උපකාරී වේ.

නමුත් නියමිත කාලයක් නින්ද ලැබුව ද පසුවත් නිදිමත එයිනම් මානසික රෝග නිර්ණයන්ට අනුව   දක්වනුයේ  අධිනිදිමත අක්‍රමතාව ලෙසයි.

ඒ අනුව  ප්‍රධාන නින්දේ කාලය ප්‍රමාණවත් වුව ද දිනය තුළ අධික නින්ද, නැවත නැවත නින්දට වැටීම හෝ දිගු නින්දෙන් පසුවද අවදිවීමට අපහසුවීම, පැය 9කට වඩා නිදා ගත්තේ නමුත් විවේකයක් නොදැනීම, අවදිවීමට උත්සාහ කිරීමේ දී ව්‍යාකූල බවක් දැනීම යන ලක්ෂණ සතියකට දින තුනක් හෝ මාස තුනක්වත් පවතින නින්දේ ව්‍යාධියක් ලෙසයි.

බොහෝ අය තම ජිවිතයේ විවිධ අවස්ථාවල දී නින්ද නොයාම හෝ අධික ලෙස වෙහෙසට පත්ව හෝ සිටිති. රැකියාවේ දී, පාසලේ දී පුද්ගලයකුගේ හැකියාවන්ට බලපාන බැවින් අධි නිදිමත අක්‍රමතාව ගැටලුකාරි විය හැකි ය.

අධික නිදිමත ඇති වීමට බලපාන අවධානම් සාධක ලෙස ආතතිය. අධික මධ්‍යසාර භාවිතය, වෛරස, ආසාදනවල පෙර ඉතිහාසය, හිසේ පෙර තුවාලවීම්, ජානමය බලපෑමි, ඇල්සයිමර් හා සම්බන්ධ වෛද්‍ය ඉතිහාස හේතු වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සෙම කිපීමෙන් අධිනිද්‍රාව, දිවා නිද්‍රාව අතීතයට ආසා කිරීම. සිදුවන බව සඳහන් වේ.

බෞද්ධ මූලාශ්‍රයන්ට අනුව අධි නිදිමත ඇතිවීමට මුල හේතුව මිද්ධය හෙවත් මැළිකමයි. මිද්ධය ඇතිවන්නේ අරති, තන්ධි, විජම්භිතා, බත්ත සම්මද, චිත්තලින්නා යන හේතු 5 සමඟ ය. මිද්ධය, ථීතය නම් චෛතසිකය ද සමඟ සැමවිටම එකට සිටින නිසා ථීනය හෙවත් අලස බව ද අධික නිදිමතට හේතුවේ. අධික නිදිමත පාලනයට මෙම රෝගකාරක නැති කිරීම කළ යුතු ය.

සම්බුදු දහමේ යථෝක්ත අක්‍රමතාවයට හේතු වන ථීනය සහ මිද්ධය ප්‍රහීණ කරන ආකාර අටක් සඳහන් වේ. 

ඔබට කුමන සිතිවිල්ලක දී නිදිබර ගතිය පැමිණියේ ද එම සිතිවිල්ල මත අවධානය යොමු නොකළ යුතු ය.  එය ගැන නිතර මෙනෙහි නොකළ යුතු ය. (යම්කිසි කාර්යක නියළී සිටිය දී විශේෂයෙන් ම පාඩම් කරමින් හෝ නැතිනම් භාවනා කරමින් හෝ සිටී නම් වහාම එම කාර්යය නවත්වන්න.) 

නිදිමත පහව නො යන්නේ නම් ඔබ විසින් අසා ඉගෙන ඇති පරිදි ධර්මය ගැන සිතා මෙතෙහි කළ යුතුය. ඔබ මනසින් එය විමර්ශනය කළ යුතුය.

එසේ කිරීමෙනුත් නිදිබර ගතිය පහව යන්නේ නැතිනම්, ඔබ අසා ඉගෙන ඇති පරිදි ධර්මය කට පාඩම් කළ යුතු ය. ශබ්ද නඟා කිය යුතුය.

එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැති නම්, ඔබ දෑතින් කන් පෙති දෙක දෙපැත්තට ඇද දෙ අත්ලෙන් දෙ අත පිරිමැද ගන්න. එවිට ඔබට නිදිමත නැති වේවී.

එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුණේ නැතිනම්, ඔබ අසුනෙන් නැඟිටින්න. මුහුණ සෝදා ගන්න. අවට සෑම පැත්තම බලා අහසේ තාරකා දෙස උඩ බලන්න. එවිට ඔබට නිදිමත නැති වේවි.

එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුණේ නැත්නම්, දහවල් කාලයේ නම් ඉර හා ආලෝකයත්, රාත්‍රියේ නම් තරු බලන්න. එවිට ඔබට නිදිමත නැති වේවී.

එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් තමා ඉදිරියේත් පසුපසත් ඇති දේ ගැන සිහියෙන් යුතු ව සක්මනෙහි යෙදෙන්න.”

දකුණු ඇලයට හැරී මොහොතක් නිදාගන්න. ක්‍රමයෙනුත් ඔබට නිදිමත නැතිවූයේ නොමැති නම් ඔබ දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් එක පයක් උඩ අනෙක් පය තබා පැහැදිලි සිහියෙන් යුක්ත ව යළි පිබිදීමේ සිතැතිව වැතිර යළි නැඟිටිවිට ඔබ කළ කාර්යයේ යෙදෙන්න. 

මේ ආකාරයට මුගලන් හාමුදුරුවන් සඳහා බුදුරදුන්  අධික නිදිමත නැති කර ගැනීමට පියවරාත්මක ව ක්‍රමවේද පෙන්වා දුන් අතර, ප්‍රායෝගික ජීවිතයේ දී පුද්ගලයන්ට ද  දෛනික කටයුතු කර ගැනීමට බාධාවක් වන අධික නිදිමත, කම්මැලිකම, අලසකම නැති කර ගැනීමට මෙම ක්‍රමවේද අනුගමනය සාර්ථක බව කාලීන ව භාවිත කිරීමෙන් පෙන්වා දියහැකි ය.