Print this Article


සඟසතු දෑ‘හි ධර්මාර්ථය

සඟසතු දෑ'හි ධර්මාර්ථය

සංඝ සමාජය යනු ලොව තවත් එක් පූජ්‍ය පක්ෂයක් නොව, තථාගතයන් වහන්සේගේ දේශනාව කෙරෙහි පැහැදී “නිවන” සාක්ෂාත් කර ගැනීම පිණිස පිළිවෙත් පුරන සුවිශේෂි අනුගාමික පිරිසකි.

උන්වහන්සේගේ ජීවන පිළිවෙත ගොඩනැඟී ඇත්තේ භව ගමන කෙරෙහි ඇති තණ්හාව තුනීවන පරිදි ය. නමුත්, ලෝකයට නො ඇලෙන්නට කියා උන්වහන්සේ නිරර්ථක ප්‍රතිපත්ති පිරීමෙන් ද වැළකී සිටිති. ඇතැම් ආගමිකයන් ආහාරයට ඇති ඇල්ම නැති කරන්නට ය කියා ආහාරපාන දැඩි ව සීමා කරද්දී සංඝයා වහන්සේගේ පිළිවෙත වන්නේ ගන්නා ආහාරය නුවණින් විමසමින් වැළඳීම ය. එබැවින්, නිවන පිණිස කිසිසේත් උපකාර නො වන්නා වූ අත්ථකිලමතානුයෝගය හැර දමා මැදුම් පිළිවෙතක් අනුගමනය කරමින් තණ්හාව සර්වාකාරයෙන් ක්ෂය කර දැමීම උන්වහන්සේගේ ක්‍රමවේදය යි.

සංඝයා වහන්සේට ප්‍රත්‍ය අවශ්‍ය වන්නේ සිය නිර්වාණගාමී අරමුණ ඉටු කර ගන්නා තෙක් ජීවිතය නො නැසී පවත්වා ගැනීම පිණිස පමණි. එය අකුසලයෙන් තොර වූ කුසලයට නැමුණු සිතිවිල්ලකි.

එසේම, උන්වහන්සේ තම දිවි පැවත්ම ආරක්ෂා කර ගැනීමට තරම් ප්‍රමාණවත් වූ ප්‍රත්‍ය ලද පසු තවත් දෑ සෙවීමෙන් වැළකී සිටිති. දායකයන් වෙතින් ලැබෙන අතිරික්ත යමක් වේ නම් ඒවා අවශ්‍යතා ඇති භික්ෂූන් වහන්සේ වෙත පවරා දෙති. භික්ෂූන් වහන්සේ වෙත ප්‍රත්‍ය පූජා කිරීමේ දී සමස්ත මහා සංඝරත්නයේ ම ප්‍රයෝජනය අරමුණු කර ගනිමින් ඒවා පරිත්‍යාග කිරීම ඉතා යහපත් බව බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාරා ඇත්තේ එබැවිනි.

එබැවින්, යම් භික්ෂූන් වහන්සේ නමක් සතු ව පවතින්නේ උන්වහන්සේට යැපීමට ප්‍රමාණවත් තරම් දෙයක් පමණි. ඒ ස්වල්ප දෙයත් පවිටු පුද්ගලයන් විසින් උදුරාගනු ලැබූ කල්හි උන්වහන්සේගේ දිවි පැවැත්ම තවත් අසීරු වේ.

තමන් කුසගින්නේ සිටින බවත් සැබෑ ය. ජීවිතය රැක ගත යුතු බවත් සැබෑ ය. නමුත්, පන්සලට ගෙන ආ දානයත්, අනෙකුත් ප්‍රත්‍යත් පූජාකර ඇත්තේ කා වෙනුවෙන් ද යන්න සහ කුමක් නිසා ද යන්න දහමට අනුව සිතා බලන තැනැත්තා තම නැතිබැරිකම් නිසාවත් සංඝයා වහන්සේගේ ප්‍රයෝජනය වෙනුවෙන් දුන් යමක් නො ඉල්වයි.

නුවණැති තැනැත්තා නැති බැරිකම් නිසාවත් තමන් මෙතෙක් පුරුදු කර ගෙන ආ සිල්වත්කම්, ගුණවත්කම් හැර නොදමයි. ඒවායින් වියුක්තවීම, දැනට සිටිනා තත්වයෙන් තවදුරටත් පිරිහීමකට විනා අභිවෘද්ධියකට හේතු නොවන බව ඔහු දනී.

කිසිවකුත් ඉදිරිපත් නො වන ඇතැම් අවස්ථාවක අපට උපකාරයක් බලාපොරොත්තු විය හැකි එක ම පිරිස විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ විය හැකි ය. උන්වහන්සේ වෙතින් ලැබෙන දෙයින් තම ජීවිතය යම් පමණකට ගොඩනඟාගත් පසු එම උපකාරවලට ගිජු නොවී එතැනින් ඉවත් ව යාමට තමන් වගබලාගත යුතු ය. එසේ නොවුණහොත් එය දිළිඳු බවේ නාමයෙන් සඟ සතු දෑ පරිහරණය කිරීමට සමාන වේ. එය තමා විසින් ම තම සිත රවටා ගැනීමකි.

සඟ සතු දෑ පරිහරණය කිරීමෙන් දුගතිගාමී වූ තැනැත්තන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් රැසක් පේතවත්ථුවෙහි සහ ඉපැරැණි ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. ඇතැම්හු එම කතා අසා සඟසතු දෑ පරිහරණයට බියවෙති. නමුත්, තණ්හාමුක්ත නොවූ චිත්ත සන්තාන ඇති අපට, පවට ඇති බිය, විවිධ හේතු ඉදිරිපත්වීමෙන් පහ ව යා හැකි ය. එහෙත් “සඟසතු දෑ” යන්නෙහි ධර්මානුකූල අර්ථය සලකා බලා කටයුතු කරන අයකුට බියකට එහා ගිය පැහැදිලි අවබෝධයකින් යුතු ව සංඝයා වහන්සේ සමඟ කටයුතු පැවැත්විය හැකි ය. එවැනි අවබෝධයක් සංඝ සමාජයෙහි මෙන් ම ගිහි සමාජයෙහි ද යහපැවැත්ම පිණිස හේතුවනු නොඅනුමාන ය.