Print this Article


සම්මා සම්බුදුරජාණන් වහන්සේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ

සුද්ධෝදන මහ රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවිය දරු ප්‍රසූතිය පිණිස, මහ ගෙදරට හෙවත් දෙව්දහනුවර රජ මාලිගාවට යෑම පිණිස, සුද්ධෝදන රජතුමාගේ අවසරය හා අනුග්‍රහය මත, කිඹුල්වත්නුවර සිට දෙව්දහනුවර දෙසට ගමන් කරමින් සිටියා ය.

ඒ මහ පිරිස් පිරිවරෙන් යුතු ව ගමන් කළ ඇයට, කිඹුල්වත් පුරවරයත්, දෙව්දහ පුරවරයත් අතර වූ ‘ලුම්බිණී’ නම් මනහර පුෂ්පයන්ගෙන් සමලංකෘත ව, සිත ඇද බැඳ ගැනීමෙහි සමත්, සල්උයන දැක ගන්න ලැබිණ. ඒ වෙසඟ මස පුනු පොහෝ දිනය යි. එදා, මහාමායා දේවිය පිරිමි දරුවකු වැදූ, මවු කුසෙන් ලොව එළිය දුටු ඒ කුමාරවරයා සත් පියුමෙක් දෙපාවන්ගෙන් මැඬගෙන ඉදිරියට ගොස්.

“අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස - අයමන්ති මා ජාති නත්ථීදානි පුනබ්බවො” යන උදාන වාක්‍යය ප්‍රකාශ කළේ ය.

තථාගතයන් වහන්සේ වෙතින් ලියැ වුණු බුද්ධ චරිතයක් නැති එහෙත් උන්වහන්සේ හා සම්බන්ධව සිදුවූ සිද්ධි කෙරෙන් ත්‍රිපිටකයේ සඳහන් චරිත ලක්ෂණ පවතී. ඒ ආශ්‍රයෙන් කවියන් වෙතින් නිර්මාණයෙක් ය අද අපට “බුද්ධ චරිතය” වශයෙන් දැක බලා ගැනීමට පවතින්නේ. ඒ ගැන විමසීමකට මේ ලිපිය උපයෝගී වේ.

චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්තායින් අනතුරුව, පළමු වශයෙන් පස්වග තපසුන් මුල් කොට, දේශනා කොට වදාළ “ධම්මචක්කපවත්වන” සූත්‍ර දේශනාවේ දී “එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා, තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණී. ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති ලෙස දේශනා කර ඇතියෙන් බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් යෝජනා කරගත් හඳුනා ගැනීමේ පදය හෙවත් නාම පදය “තථයට හෙවත් සත්‍යයට පැමිණි තැනැත්තා” යන තේරුම සහිත “තථාගත” යන නාම පදය යි. ඒ එසේ වතු දු තථාගතයන් වහන්සේ අරබයා අද බොහෝ සේ භාවිත වෙනුයේ “සම්මා සම්බුදු රජාණන් වහන්සේ” යන නාම පදයයි. ඒ ඇයි? තථාගතයන් වහන්සේ අනන්ත ගුණ, අනන්ත ඤාණ, අනන්ත බුද්ධි, අනන්ත විද්‍යා ආදී ශ්‍රේෂ්ඨත්ත්වයන්ගෙන් සමන්විත වූ සේක. ඒ නිසා උන්වහන්සේ විෂයයෙහි අනන්ත පරියාය නාමයන් බිහිවිය. ඉන් බොහෝදුරට ජනපි‍්‍රය වූ පරියාය නාම පදය “සම්මා සම්බුද්ධ” යන්නයි.

තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ” යන නාම පදය භාවිත වෙන්නේ ඇයි? යන්න සාකච්ඡා කරන ‘බුදුගුණ අලංකාරය’ කවිපොත සම්පාදනය කළ වීදාගම මෛත්‍රිය” කවි ස්වාමීන් වහන්සේ

තුන් කල්හි මැ පැවති

පදරුත් සියල් ලොවැ ඇති

අතැඹුල සෙ දැන ගති

එයින සම්මා සම්බුදුන යෙති” ලෙස විවරණීය කරන සේක. උන් වහන්සේ එයින් පෙන්වා වදාරන සේක්, “අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයට ම අයත් පද (හේතු) අරුත් (ඵල) අතට පත් ඇඹුල හෙවත් නෙල්ලි ගෙඩියක් සේ විවිධ ව දැන, දැන වදාළායින් තථාගතයන් වහන්සේට “සම්මා සම්බුද්ධ” යැයි ප්‍රකාශ කරන බවයි. ඒ නිදොස් ය.

තථාගතයන් වහන්සේ, තමන් වහන්සේ, දැනැ, දැකැ, භාවිත කළ අවබෝධ මාර්ගය පිළිබඳ පස්වග තාපසයන් කෙරෙහි සංක්‍ෂිප්ත විවරණයෙක් කරමින්

1. චක්ඛුං උදපාදි :– භෞතික කාම ලෝකය දකිනැ ඇස පහළ විය

2. ඤාණං උදපාදි :– මනෝමය රූප ලෝකය දකිනැ ඤාණය පහළ විය

3. පඤ්ඤා උදපාදි :– සංඥාමය අරූප ලෝකය දකිනැ සඤ්ඤාව පහළ විය

4. විජ්ජා උදපාදි :– එකී නාම රූප ,අරූප යන තුන් ලෝකයක් හා සමඟ ම ලෝකයෙන් එතරෙනුත් දකින විද්‍යාව (ඇත්තේ ඇති සැටිය) පහළ විය.

5. ආලෝකෝ උදපාදි :– එකී තුන් ලෝකයන්, එකී තුන් ලෝකයෙන් ම එතරත් දැනැ, දැක, භාවිතයෙන්, සංසාර අන්ධකාරයෙන් මිදීමේ දීප්තිය පහළ විය.

මේ පැහැදිලි කිරීම අනුව, තථාගතයන් වහන්සේ, අතීතය දැනැ දැකැ ගන්නා “පුබ්බේ නිවාසානුස්සති” (පෙර වුසූ කඳ පිළිවෙළ මෙනෙහි කරනැ ඤාණය) ලැබූ සේක.

වර්තමානය දැන දැක ගන්නා, “චුතූපපාත” (සත්ව උත්පත්තිය, මරණය දත හැකි ඤාණය) ලැබූ සේක. අනාගතය දැනැ - දැකැ ගන්නා “ආසවක්ඛය” (කාමාදී ආශ්‍රවය න් නසා මඟ හෙවත් කෙලෙසුන් කෙරෙන් මිදීම පෙනෙනැ ඤාණය) ලැබූ සේක. මේ සුවිශේෂී ‘ත්‍රි විද්‍යාවෙන්” පොහොසත් නිසා ඒ තුන් කාලටම අයත් හේතු ඵල විනිවිදව දැනැ, දැක, භාවිත කළ නිසා’යි තථාගතයන් වහන්සේට “සම්මා සම්බුදුරජාණන් වහන්සේ “ යැයි ද නාමයෙක් වූයේ.

ඒ බව තථාගතයන් වහන්සේ හමුවේ ඇසුරේ කල - යල ගත කළ අය මතු නොව, අන්‍යය ලබ්ධික ශ්‍රමණ, බ්‍රාහ්මණ, තීර්ථකාදීන් පවා පිළිගෙන තුබු බව, ඔවුන් තථාගතයන් වහන්සේ හැඳින්වීමට “ තෙ විජෙජා සො භවාං ගොත මො” යන පරියාය නාමයෙන්ද හඳුන්වාගෙන හැඳින්වී ඇති බැවිනි.

ඒ වූ මතු තත්ත්වය පාදක කරගෙන බුද්ධ චරිතය ඉදිරිපත් කිරීම, බුද්ධ චරිත චරිත කතාව ලියූ සාහිත්‍යකරුවාගේ අභිමාර්ථය විය.

සාහිත්‍යය යනු තියෙන දෙය ම නොවේ. එසේම නැති දෙයක්ද නොවේ. තියෙන දේ ඒ හැටියෙන්ම කීම , සාහිත්‍යකරුවාට අයිති වැඩක් නොවේ. ඒ වාර්තාකරුවන් කරයි. ඒ වගේම සාහිත්‍යකරුවාට නැති දෙයක් කීමට ද අවසරයෙක් නැත. මක් නිසා ද යත්? ඒ කීම අවිශ්වසනීය නිසා පිළිගත නො හැකි බැවිනි. සාහිත්‍ය ඵලය රසය දීම යැයි අයෙක් කියති. නැත නැත. ඒ වාර්තාකරුවාගේ වගවීමයි. එසේ නම් කවියාගේ, සාහිත්‍යකරුවාගේ වගවීම කුමක්ද? ‘රස’ දීම නොව ‘නළු රස” හෙවත් නාට්‍ය රසය ලබා දීම යි.

ඒ මූලධර්මය හෙවත් සිද්ධාන්තය මත පිහිටා බුද්ධ චරිත සාහිත්‍යයකරුගේ බුද්ධ චරිතය විචාරාක්ෂියයෙන් බලමු. අප බෝධිසත්වයන් වහන්සේගේ පරිනිර්වාණ (සො’ පටිසෙස, අනුපටිසෙස) දෙකක්වා සේ ම උපත් (ලෞකික - ලෝකෝත්තර වශයෙන්) දෙකෙක් ද විණි. ඒ ලුම්බිණි සල් උයනේදි “සල් ගසෙක් මුල දි හා ගයා පෙදෙසේදී ඇසතු රුකෙක් මුලදිය. ඒ උපත් දෙක අතරින් බෝධි සත්ව උපත සල්ගස අබියස ය. බුදු උපත ඇසතු රුක අබියස ය. උක්ත උපත් දෙක ම එක තැනෙකට ගත් කවියා ලුම්බිණි සල් උයනේ ද ‘ජාතිය’ ලබා දෙයි. සෑම ජාතියකම හෙවත් ඉපදීමෙක හට ගැනීමෙක සොබාවය කුමක්ද? ජාන වූ තැනැ සිටම පරණ වේ (ජාති පච්චයා ජරා) එ පමණද නැත. විනාශ වේ. (මරණ) සත්වයා එයට රුචි නැත. ඒ නිසා පසුතැවෙයි. (සෝක) හඬයි. (පරිදේව) කායික ව දුක් වෙයි. (දුක්ඛ) මානසික ව දුක්වෙයි. (දෝමනස්ස) ඒ ආශ්‍රයෙන් උපකල්පනයෙන් තැබෙයි.

(උපායාස) මේ තත්වය කරපින්නාගෙන ම ය බුදු බෝධිසත්වයන් වහන්සේ මහාමාය දේවී මවු කුසයෙන් මේ ලෝකයට බිහි වූයේ. ඒ ඉපදීමේ අභිමතාර්ථය ම ජරාව, මරණය, සෝකය , පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය, පාගා පොඩිකර දැමීම යි, විනාශ කිරීමයි. ඒ උපන් අවස්ථාවේ ම නිරූපණය කිරීම කවියාගේ වගකීමයි. වගවීමයි.

උක්ත දායාදයන් කර පින්නාගෙන ම භෞතික උපත ලද බුදු බෝධි සත්වයන් වහන්සේගේ අභිමතාර්ථය වූයේ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස සපුරා මැඬලීමයි. ඒ අභිමාර්ථය පෙරදැරියෙන් මා - පිය සම්භවයෙන් හා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගණ්ධ, රස, ඕජා යන ක්ෂුධාෂ්ටකයේ සමවායමෙන් මේ ලොවට බිහිවූ කුමාරයා කෙරෙන්ද කුමාරයාගේ උපතේ අභිමාර්ථය පෙන්වීමට කවියාට වුවමනා විය. ඒ සඳහා ඔහු ප්‍රයෝජනයට ගත්තේ, තමා සතු “ප්‍රතිභා” ශක්තියයයි. හෙවත් පෙරැ නොවූ විරූ පවතින දෙයක් ප්‍රමාණ නො කළැකි සේ සැකසීමේ හැකියාව යි. එහිලා ගොඩ බිමෙහි ජලජ පුෂ්ප හතෙක්ම ප්‍රමාණ කර මැවීය. ඒ කුමකටද? ඒ මොහොතේ ම උපන් කුමාරයාට පයින් මැඬගෙන ඉදිරියට යෑමටයි. ඒ ජලජ පුෂ්ප හතෙන් සංකේතවත් කැරුවේ මත්තේදී මේ උපත ලද දරුවා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පාගා, පොඩිකර විනාශ කර දමන වගයි. උක්ත සාධක හත හා ඊට මූලසාධක වූ ‘ජාති’ ය වෙනත් කිසිවක් නොව සපුරා දුකමයි. ඒ දුක, දුක්ඛ = දුක

සමුදය = දුක ඇතිවීමට හේතුව

නිරෝධ - දුක නැති කිරීම

මග්ග = දුක නැති කිරීමේ විධිය ලෙස සතරාකාරයෙන් දැනීම (සත්‍යය) දැකීම (කෘත්‍යය) භාවිතය (කෘත) ආකාරයෙන් අවබෝධ කර ගැනීමම” සම්මා සම්බුද්ධත්වය යි.