Print this Article


පිරිත හා සබැඳි සත්‍යක්‍රියා

පිරිත හා සබැඳි සත්‍යක්‍රියා

“පරිසමන්තෝ තායති
රක්ඛතී’ ති පරිත්තං”

හාත්පසින් ම නැතහොත්, සියලු දෙසින් ම පැමිණෙන උවදුරු, විපත්, කරදර නසා ආරක්ෂාව සලසන යනු මෙහි අදහස යි. “පරිත්ත” යන වචනය අටුවාචාරීන් වහන්සේ විසින් විග්‍රහ කර ඇත්තේ මෙසේ ය.

“පරිසමන්තතෝ තායති
රක්ඛතීති පරිත්තං”

හාත්පසින් රැකවරණය දෙනුයේ පිරිත නම් වේ.

“අන්තරායං පරිහරන්තං
තායතී’ ති පරිත්තං”

අනතුරු දුරුකර ආරක්ෂා කෙරේනුයි පිරිත නම් වේ.

“පරිතෝවා සබ්භුපද්ධවතො
තායතී’ති පරිත්තං”

හාත්පසින් සකලාකාර උපද්‍රවයන්ගෙන් රැකදෙනුයේ පිරිත් නම් වේ.

මහාතේජවන්තාය සමන්තතෝ සත්තානං භයං උපද්දවා උපසග්ගං ච තායති රක්ඛතී’ති පරිත්තං”

මහත් තෙජ බලයෙන් “හාත්පසින්” සත්ත්වයන්ට බියෙන් හා උපද්‍රවයෙන් රැකවල් දේනුයේ පිරිත් නම් වේ.

මෙකී නිර්වචනයන්ගෙන් කියැවෙන සාමාන්‍ය පොදු අදහසට අනුව පිරිත යනු උපද්‍රවයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන පලිහක් බව සඳහන් කළ හැකි ය. සාමාන්‍යයෙන් ආගමක් ප්‍රධාන කාර්යයන් තුනකින් සමන්විත වේ. එනම් දාර්ශනික කාරණා, ආචාර ධර්ම, ශාන්තිකර්ම යනු ඒ අංග තුනයි. බුදු සමයෙන් එන දාර්ශනික අදහස් යටතට ගැනෙන්නේ නිර්වාණාවබෝධය සඳහා වන ගැඹුරු සිද්ධාන්තගත දේශනා ය. පැවිදි ගිහි දෙපක්ෂයට ම වඩාත් ශිෂ්ට සම්පන්න පැවැත්මක් උදෙසා සීලාචාර සමාජ වට පිටාවක් උදෙසා කළ දේශනා ආචාර ධර්ම ගණයට ගැනේ. බුදු සමයෙහි සංස්කෘතික අංශයට ඇතුළත් පුද පූජා, පිරිත් ආදිය අයත් වන්නේ ශාන්තිකර්ම ගණයට යි.

“එතෙන සච්ච වජ්ජෙන සොත්ථි තෙ හෝතු සබ්බදා”

අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ ඛන්ධ පරිත්ත දේශනා කර තිබෙනුයේ සියලු දෙනාගේ ආරක්ෂාවට සතර අහිරාජ කුලවලට මෙන් ම අපා, දෙපා, සිව්පා, බහුපා, සියලු දෙනාට ම මෛත්‍රී කිරීමෙන් අවශ්‍ය ආරක්ෂණය ප්‍රකට කරනු පිණිස ය. ඒ අනුව එහි දැක්වෙනුයේ “එක්තරා භික්ෂු නමක් සර්පයකු විසින් දෂ්ඨ කරන ලදුව මිය ගිය බවත්, මේ භික්ෂු නම මිය ගියේ විරූපක්ඛ, ඵරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හා ගොතමක යන සර්පයන් කෙරෙහි මෙත් සිත නො පැතිර වූ බැවින් බවත්, ඔහු මෙත් සිත ප්‍රගුණ කළේ නම්, නොමියන බවත් ය.

පිරිතෙහි කුසල් බලය ද අන්තර්ගත වේ. ආරම්භයෙහි දී පන්සිල් ගැනීමත් මංගල, පරාභව, වසල, ආලවක සූත්‍රවලින් සැදැහැවත් ජීවිතයේ ප්‍රතිලාභයන් වර්ණනා කිරීමත්, ගෞරව සම්ප්‍රයුක්ත ව ධර්ම ශ්‍රවණය කිරීමත් කුසල පක්ෂය සංවර්ධනයට හේතු වේ. කුසල්සිත භාවනාවට පාදක වේ. සියලු රෝදුක් දුරු කරන නිසා, සියලු අකුසල්වලින් තොර වීමෙන් මනස පිරිසුදු කරයි.

පිරිත් සජ්ඣායනයෙන් රෝගීන් කෙරෙහි සුව දැනවීමත්, හානිකර දේ මඟහැරවීමත් අදහස් කෙරෙයි.”

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ අසීමිත ගුණ මහිමය, ස්ථිර අධිෂ්ඨාන ශක්තිය හා එක්තැන් වීමෙන් ගොඩනැඟෙන මහා බල ශක්තියට භූතයෝ ද අවනත වෙති. ඒ සඳහා ඔවුන් ගේ ප්‍රසාදය ද නොමඳ ව ලැබෙයි. විශාලා මහනුවර ඇති වූ රෝග අමනුෂ්‍ය හා දුර්භික්ෂ යන ත්‍රිවිධ භය ව්‍යපසමනය කළ රතන සූත්‍රය ශාන්තිකර්මය අතිශයින් යෝග්‍යය. රතන සූත්‍රයේ බුද්ධ භාෂිත එක්එක් ගාථාවක අණ කෝටි ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයන් විසින් පිළිගන්නා ලදැයි සාරත්ථ සමුච්චය නම් චතුභණවාර අටුවාවේ එන “ඉමිස්සාපි ගාථාය ආණා කෝටි සත සහස්ස චක්කවාළෙසු අමනුස්සාපි පටිග්ගහිතං” යන පාඨයෙන් තහවුරු වෙයි.

ඛන්ධ, පරිත්ත, මෙත්තානිසංස යන පිරිත් කරණීය මෙත්ත සූත්‍රයට අනුලෝමික ය. එහි එන කරුණු ලෞකික ලෝකෝත්තර සංසිද්ධියට හිතකර ය. සම්බුද්ධ ගුණානුස්මරණය කරන මෝර පරිත්ත, චන්‍ද පරිත්ත, සූරිය පරිත්ත යන තුන සහ ප්‍රත්‍යෙක බුද්ධ ගුණ ප්‍රකාශිත ඉසිගිලි සූත්‍රය අනුලෝමව ද යොදා ඇති බව දැක්වෙයි.

පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ විජය කුමරු සහ පිරිවරින් ලක්දිවට ගොඩ බසිනු දුටු සේක. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ සක්දෙවිඳු අමතා විජය ප්‍රධාන පිරිසත්, ලක්දිවත් රැක ගන්නට නියම කළ සේක. සක් දෙවිඳු ඒ අනුව, ලක්දිව රැකගන්නට විෂ්ණු දෙවියනට භාර දුන්නේ ය. විෂ්ණු, උපුල්වන් දෙවිඳුට ශ්‍රී ලංකාවත්, විජය ප්‍රධාන පිරිසත් රැක ගැනීමට භාර දුන්නේ ය. උපුල්වන් දෙව්රද වයෝවෘද්ධ තාපසයකුගේ වෙසින් පිරිත් පැන් දී පිරිත් නූල් බැඳ ඔවුන් ආරක්ෂා කර ගත්තේ ය. මෙවැනි මූලාශ්‍ර ගත තොරතුරු මඟින් හෙළිවන්නේ පිරිත තුළින් සියලු සත්ත්වයන් හට ආශීර්වාද පැතීම තුළ සත්‍යයක්‍රියාවන් ගැබ්ව ඇති බවයි.