Print this Article


පරපුරෙන් පරපුරට දායාද කළ යුතු සත්වත පද

පරපුරෙන් පරපුරට දායාද කළ යුතු සත්වත පද

අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතංගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතෝ සදා

 මහාලි කුමරු සක්‍ර දේවේන්ද්‍රයාගේ සැප සම්පත් පිළිබඳ ව  බුදුරජාණන් වහන්සේගෙන් විමසයි .එහිදී බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ උපත සහා එවැනි සැප සම්පතක් ලබා ගැනීමේ පෙර භවයන්හි කරන ලද  මහා කුසල කර්මයන්ගේ  බලමහිමය පෙන්වා දුන්හ.

පෙර භවයක මගධ රට ‘මචලගම’ ගුණයෙන් නැණයෙන්,බලයෙන් හෙබි  මඝ නම් තරුණයකු වාසය කළේ ය .

මොහු ශ්‍රමදාන සිදු කරමින් ගම රට දියුණු කිරීමට මහත් වෙහෙසක් ගත්තේ ය. නැති බැරි අය සඳහා  නිවෙස් සාදා ළිං පොකුණු මාර්ග සකසා  ප්‍රදානය කළේ ය. මේ සදහා තවත් තරුණයන් තිස් දෙදෙනකුගේ ද සහාය ඇති ව  ස්වේච්ඡාවෙන් ම ශ්‍රමදාන කටයුතු සිදුකරමින් ජනතාවට විශාල සේවාවන් සිදු කළේ ය. ඒ නිසාම මඝ ජනතාවගේ මහත් ආදරයට ගෞරවයට පාත්‍රවිණ.

ඇතැමුන් තමන් සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කළ ද කිපෙමින් තරහින් කටයුතු කළේ නැත. මොවුහු  “සත්වතපද” එලෙසම  ආරක්ෂා කරමින් ජීවත් වූහ.

මවුපියන්ට සැලකීම, කුල දෙටුවන් පිදීම, මෘදු , සත්‍ය වචන කතා කිරීම , කේළාම් නොකීම, පරිත්‍යාගශීලි බව, කිසිවිටෙක  නොකිපීම.  මඝ මානවක ඇතුළු  පිරිස  මෙම සත්වතපද පිළිපදිමින් ජීවත් වුහ.

මෙම කරන ලද කුසල කර්ම මහිමයෙන් මිනිස් ලොවින් පසුව තව්තිසා දෙව්ලොවට  අධිපති සක් දෙව් රජ ව  උපන් බවත්, අනෙක් අය ද  සක්දෙව් රජුට පිරිවර ලෙස උපන් බවත් බුදුරජාණන් වහන්සේ එහිදි  දේශනා  කළහ.

මවුපියන්හට නො සලකන දරුවන් සිටි. දෙමව්පියන්ට පහරදෙන,මහ මඟ දමා යන ඇතැම් දූ දරුවන් පිළිබඳ අසන්නට ලැබීම කනගාටුවට කරුණකි.

එසේම භික්‍ෂූන් වහන්සේට මෙන්ම අනෙකුත් පූජකතුමන්ට ගෞරව කිරීම, ඇප උපස්ථාන කිරීම සිදුකළ යුතු ය. උන්වහන්සේ අර්ථයෙන්, ධර්මයෙන් අපට අනුශාසනා කරමින් සමාජය යහමගට ගනිමින් රටක් ලෙස දියුණුව කරා යෑමට මඟ පෙන්වීම සිදුකරයි. එය කෘතවේදී ව සිහිපත් කරමින් කටයුතු කළ යුතු ය.

තව කෙනකුගේ සිතක් නො රිදවීම , මෘදු වචන, සත්‍ය වචන කතා කිරීම, කේළාම් නොකීම, අප්‍රමාදීව කටයුතු කිරීම  මහත් කුසල් ගෙන දෙන්නේ ය. ඒවා ප්‍රගුණ කළ යුතු  උසස් ගුණාංගයන් ය.

මිනිසුන් ලෙස අපට හුදෙකලාව ජීවත් විය නොහැකි ය. අන්‍යොන්‍ය සම්බන්ධකම්, උදව් උපකාර අවශ්‍ය වේ. එමනිසා පරිත්‍යාගශීලී සිතක්  ඇති කර ගත යුතු ය. එය සමගිය, සාමය, සහජීවනයට මහඟු පිටිවහලකි.

මෙම උතුම් ගුණාංග  රටක් ලෙස ගොඩනැගීමට උපකාරී වෙයි. බුදු දහමේ දේශනා කළ මෙම උතුම් ගුණාංගයන්ගෙන් හෙබි ඇතැම් මිනිසුන් පසුගිය ආපදා තත්ත්වය පැවති සමයේ ද දක්නට ලැබිණ.උන්හිටි තැන් අහිමි වූ ජනතාවට වාසය කරන්නට ස්ථාන ලබා දෙමින්, ආහාර පාන ඇඳුම් පැලදුම් ලබා දෙමින් නිවාස පිරිසිදු කිරිමට කටයුතු කළහ. මඝ මානවකයන්හට සක් දෙව් රජ වීමට මුල්වු කුසල ධර්ම අප තුළ ද ජනිත කරවා ගත යුතු ය. එවිට අපගේ මෙලොවත් පරලොවත් ශාන්තිය උදාකර ගත හැකි ය.