Print this Article


සතිමත්බව වඩන ආනාපානසති භාවනාව

සතිමත්බව වඩන ආනාපානසති භාවනාව

ආන+ අපාන - ආනාපාන වශයෙන් සැලකේ. ආශ්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම කෙරෙහි සිහිය පැවැත්වීම ආනාපාන සතිය යි.

හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම කෙරෙහි සිහිය පැවැත්වීමට සතිමත්භාවය දියුණු කරන්නා උත්සහ ගත යුතු ය. මෙහිදී පළමුකොට නිවැරැදි ව හිඳගැනීම ඉතා වැදගත් ය. එනම්, කොඳු ඇටපේළිය හෙවත් කශේරුකාව ඍජුව තබා ගැනීම අවශ්‍ය වේ. එය කොන්දේ වේදනාව ඇති නොවීමට හේතු වේ. එරමණියා ගොතාගෙන වාඩිවීමට අපහසු අයට පහසු අයුරින් හිඳගත හැකි ය. පුටුවක, බංකුවක වුව ද වරදක් නැත.

“උජුං කායං පණිධාය’ යනුවෙන් දක්වන්නේ කොන්ද ඍජුව තබා ගැනීමයි.

ආනාපානසති භාවනාව වැඩීමේ දී භාවනානුයෝගියා විශේෂයෙන් තම හුස්ම කෙරෙහි සිත රඳවා ගැනීමට උත්සාහ ගත යුතු ය. සෝ සතෝව අස්සසති. ඔහු සිහියෙන් ම ආශ්වාස කරයි. සතෝ පස්සසති. සිහියෙන් ප්‍රශ්වාස කරයි. මෙහිදී බාහිර වාතය හෙවත් එළියෙන් ශරීරයට ඇතුලු වන සුළඟ කෙරෙහි අවවධානය යොමු කරන්න. එම සුළඟ පළමුකොට ම කෙනකුගේ නාසිකාග්‍රයෙහි ස්පර්ශ විය හැකි ය. තවත් කෙනකුගේ උඩුතොලෙහි ස්පර්ශ විය හැකි ය. ආරම්භක අවස්ථාවෙහි දී සුළඟ ස්පර්ශ වන හෙවත් හැපෙන තැන හඳුනා ගැනීමට අපහසු විය හැකි ය.

ඒ පිළිබඳ යෝගාවචරයා (භාවනා වඩන්නා) කලබල විය යුතු නොවේ. කාලයක් පුහුණුවීම්වල යෙදෙනවිට වාතය ස්පර්ශ වන ස්ථාන හඳුනා ගැනීමට හැකි වනු ඇත. එසේම අභ්‍යන්තර වාතය (ශරීරය තුළ තිබූ සුළඟ) නාසිකාග්‍රයේ වැදෙමින් පිටවන විට ඒ පිළිබඳ ව ද බවුන් වඩන්නා විශේෂ අවධානයකින් යුතු ව සිටිය යුතු ය. මෙසේ බාහිර වාතය නාසිකාග්‍රයේ වැදීගෙන ඇතුළු වන හැටි සහ අභ්‍යන්තර වාතය නාසිකාග්‍රයේ වැදීගෙන පිටවන සැටි ද මැනවින් නිරීක්ෂණය කළ යුතු ය.

එවිට භාවනා වඩන්නා ක්‍රමානුකූල ව සිහිය ආශ්වාස සහ ප්‍රශ්වාසය කෙරෙහි රඳවා ගැනීමට සමත් වනු ඇත. මෙසේ හුස්ම ගැනීම, හුස්ම පිටකිරීමට අවධානය යොමු කරන විට ක්‍රමයෙන් දීර්ඝ හුස්ම ගැනීම්, දීර්ඝ හුස්ම පිටකිරීම් ඇති බව ද කෙටි හුස්ම ගැනීම්, කෙටි හුස්ම පිටකිරීම් ඇති බව ද යෝගාවචරයා මැනවින් හඳුනා ගනී. මේ පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයෙහි ආනාපානසතිය තුළ විස්තර කොට ඇත.

තව ද විවිධ ක්‍රම ඔස්සේ ආනාපානසතිය වඩන අයුරු විශුද්ධි මාර්ගයෙහි දක්වා ඇත. ආධුනික භාවනා වඩන්නා බොහොම සරල ව මෙම ආනාපානිසති භාවනාව රසවත් අත්දැකීමක් කර ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.

මෙසේ විනාඩි 20ක් 30ක් සක්මන් භාවනා කොට පසුව නතර නොකර ආනාපානසතිය ද විනාඩි 20ක් 30 ක් කිරීමට උද්යෝගී වන්න.

නැවත නැවත නො නවත්වා ම මේ පුහුණුකිරීම් දෙකෙහි යෝගාවචරයාට යෙදිය හැකි ය. ටිකෙන් ටික දියුණු වන විට පැයක් සක්මන් කොට පැයක් ආනාපානසතියෙහි යෙදීමට පහසුවෙන් හැකි වනු ඇත.

එවිට ඔබට පාලුව, කාන්සිය, කම්මැළිකම දුරුවනු ඇත. මම තනිව ම සිටිනවා නේද? යන හැඟීම පහවනු ඇත.