අනුසස් දකිමින් සිල්පද රැකීම
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
ශක්‍ර දේවේන්ද්‍රයකු පැමිණිය යුතු කාලය එළඹ තිබේ.
අසන, දකින, බලන, කියවන හැම ජනමාධ්‍යයකින් ම අපට කලක පටන් දැන ගැනීමට ලැබෙන්නේ රටේ
කො තැනක හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බවයි. එය සංවිධානාත්මක කුලී ඝාතකයන් විසින් හෝ
වෙනත් පෞද්ගලික එදිරිවාදිකම් නිසා හෝ බලය නිසා හෝ ක්ෂණික කෝපය නිසා හෝ සිදු වන බව
පෙනේ. එය බුදුදහමට අනුව පන්සිල්හි පළමු සීලය ආරක්ෂා නො කිරීමෙන් සිදු වන ප්‍රාණඝාත
අකුසල කර්මයයි. පසුගිය දිනෙක විද්‍යුත් මාධ්‍යය මඟින් දක්නට ලැබුණේ දහසය හැවිරිදි
පිරිමි දරුවකු පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට ඒ දරුවාගේ පියා සහ මව
පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවයි.
එසේ ම පෙර අපට අසන්නට ලැබුණේ ඉතා සුළු දෙයක් සොරකම් කළ බවට තොරතුරු ය. ඒ අතර
රුපියල් ලක්‍ෂ තුන හතර සොරකම් කළ අවස්ථා ද විය. එහෙත් ඒවා විරල ය. වර්තමානයේ සිදු
වී ඇතැයි හෙළිදරව් වන්නේ රුපියල් මිලියන ගණන් වූ සොරකම් ය.
මීට බොහෝ කලකට පෙර කෙසෙල් කැනක් වැනි සුළු සොරකම් සිදු කර හසු වූයේ නූගත්, නැති
බැරි අහිංසක දුප්පතුන් ය. දැන් දැන් මිලියන ගණනින් සොරකම් කොට සැක පිට හසුවන්නේ,
වංචා කොට හසු වන්නේ දැන උගත් රාජ්‍ය නිලධාරීන් හා යමක් උගත් හා නූගත් දේශපාලනයේ
යෙදුණු මැති ඇමතිවරුන් ය.
කවර තරාතිරමේ අයකු සොරකමක්, වංචාවක් කළත් එතැන ඒ වරද සිදු වන්නේ පන්සිල්හි දෙවන
සිල් පදය ආරක්ෂා නො කිරීමෙනි.
පවුල් අවුල් වී දරුවන් අනාථ අසරණ වීමට ප්‍රධාන හේතුව තෙවන සිල් පදය නො රැකීමයි. මේ
වරද ස්ත්‍රී-පුරුෂ දෙ පිරිස විසින් ම අඩු වැඩි වශයෙන් සිදු කරනු ලබයි. තාවකාලික ව
ඉඳුරන් පිනවීමට යාමෙන් සදාකාලික ව තම දිවි අගාධයට පත් කර ගත් අය දිනපතා ජනමාධ්‍ය
වෙතින් දැක ගැනීමට ලැබේ.
බොරුකීම තරම් බියකරු රුදුරු පාපයක් නැත්තේ එමඟින් පවුලක් නොව රටක් විනාශ කළ හැකි
හෙයිනි. බොහෝ දෙනකු බරපතළ වැරැදි සිදු කර ඇත්තේ සිහියෙන් නො වන බව පොලිස් පරීක්ෂණවල
දී හෙළි වී ඇත. ස්ත්‍රී දූෂණ, මිනිමැරීම්, මංකොල්ලකෑම් හා පහරදීම් වැනි භයානක අපරාධ
සිදු කිරීමට සිත එඩිතර වන්නේ කුමක් හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමෙනි. ඒ පන්සිල්හි
පස්වන සිල් පදය ආරක්ෂා නො කිරීමේ අනිටු ප්‍රතිඵලය යි.
බුදුසස්නෙහි සිව්වණක් පිරිස අතරින් භික්ඛු, භික්ඛුනීන්ට ද බුදුහිමියන් පැණ වූ සිල්
ඇතත් බොහෝ සෙයින් බුදුහිමියන් ඉගැන්වූ මඟ අතහැර එක්කෝ තමන්ට රුචි පරිදි බුදු බණ
වෙනස් කර ගිහියන් මෙන් අර්ථ ලාභය ගැන පමණක් සිතා හැසිරෙන ඇතැම් භික්ෂූන් හා
භික්ෂූණියන් නිසා බුදුසසුනේ පරිහානිය ඉක්මන් වී ඇතැයි විවිධ ජනමාධ්‍ය හා සමාජ
මාධ්‍ය චෝදනා කරනු පෙනේ. එහි සත්‍යයක් නැතුවා නො වේ. මේ සියල්ලට ම හේතුව සිල්වත් නො
වීමයි. සිල් නො රැකීමයි.
කසුප් බුදුහිමියන්ගේ ශාසනය බොහෝ කාලයක් පැවතුණු පසු පිරිහීමට පත්වී ඇත්තේ ද ඉහත
දැක්වූ පරිදි අප රටේ වත්මන් සමාජ පරිහානිය ලෙසිනි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් සිදු නොකරන ලෙස දේශනා කොට වදාළ කරුණු 21ක්
අතුරින් ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන කරුණු සිදු කිරීමයි.
*
භික්ෂූන් හා මෙහෙණින් වහන්සේට තහනම් කර තිබූ දේ සිදු කරමින් පැවිද්ද අතහැරීම.
*
උපාසක උපාසිකාවන් පන්සිල් හා අටසිල් සමාදන් නොවී එම සිල් ආරක්ෂා නොකර අත්තනෝමතිකව
ජීවත් වීම.
*
බ්‍රාහ්මණයන් ද බ්‍රාහ්මණ ධර්‍මය අතහැර සාමාන්‍ය ජීවිත ගත කිරීම
*
ඉහත කී සියලු දෙනා දස කුසල් වෙනුවට දස අකුසල් ම සිදු කිරීම.
දෙව්ලොව ඉපදීමට නම් මෙලොව දී පින්කම් කළ යුතු ය. ඒ අය මිය ගිය පසු දෙව්ලොව උපදිති.
කසුප් බුදුසසුනේ අවසාන කාලයේ ජීවත් වූ අය දස අකුසල් කිරීම නිසා මිය ගොස් ඉපදී ඇත්තේ
අවීචිය ආදි අපායවල ය. මේ නිසා දෙව්ලොව ජනගහනය ක්‍රමයෙන් හීන විය. සක් දෙවිඳු මීට
හේතු සොයා දැන ගෙන තම රියදුරු මාතලී තරුණ අශ්වයකු තරමේ සුනඛයකුගේ වෙස් ගන්වා ඇම්බුං
කෙසෙල් හා සමාන දත් මවා දම්වැල් පහකින් සුනඛයාගේ සිරුර පස් පළකින් බැඳ සක් දෙවිඳු
වැද්දකුගේ වෙස් ගෙන බරණැස් නුවරට ගොස් ඇත.
එහි දී ඒ සුනඛයා ‘මේ නගරය ඉවරයි, විනාශයි’ කියා මහා හඬ නඟා ඇත. ඒ මහා බියකරු හඬට
බිය වූ මිනිසුන් ඇතුළු නුවරට දිව ගොස් රජුට දන්වා ඇත. රජු නගරයට ඇතුළු වන දොරවල
අගුළු දමා ඇත. වැද්දා බියකරු සුනඛයා සමඟ රියන් 18ක් උස තාප්පයෙන් පැන සුනඛයා ලිහා
දමා ඇත. ඉන් බියට පත් රජු වැද්දාගෙන් විමසුවේ ‘මේ සුනඛයා කුමකට ගෙනාවේ ද? මහ හඬින්
හඬන්නේ ඇයි ද’ කියායි. වැද්දා කීවේ ‘බඩගින්නට කෑ ගසන’ බවයි. එවිට රජු ඇතුළු නුවර
සියලු දෙනාට ම සැකසූ ආහාර සුනඛයාට දුණි. ඒවා සුනඛයා එක කටට ගිල දමා යළි කෑ ගසන්නට
විය. රජු එවිට ඇසුවේ මෙපමණ ආහාර කෑ සුනඛයා යළි කෑ ගසන්නේ ඇයි ද කියායි. වැද්දා එවිට
කීවේත් බඩගින්නට කෑ ගසන බවයි. රජු ඒ මොහොතේ ඇත්, අස් ආදීන්ට සැකසූ ආහාර දෙවීය. ඒවා
ද එක කටට ගිල දැමූ සුනඛයා යළි බියකරු ලෙස හඬ දෙන විට රජු යළි වැද්දාගෙන් ඇසුවේ
කුමකට දැන් හඬ දේ ද කියායි. ඒ මොහොතේ ද වැද්දා කීවේ බඩගින්නට කියායි.
එවිට රජු කල්පනා කළේ මූ සුනඛයකු විය නොහැක. මහා බලයක් ඇති යකකු විය යුතු ය කියායි.
එසේ සිතා රජු වැද්දාට කීවේ මෙතරම් විශාල ප්‍රමාණයක් කෑම කා තව දුරටත් බඩගින්නට කෑ
ගසන්නේ ඌරන්ගේ, මුවන්ගේ, ගෝනුන්ගේ මස් කන්නද?- එසේ නැතිනම් මිනී මස් කන්න ද? කියා
යි. එය ඇසූ වැද්දා රජුට කියා ඇත්තේ මිනීමස් ඉල්ලා කෑ ගසන බවයි. එහි දී රජු
වැද්දාගෙන් අසා ඇත්තේ ඔබේ තරහකාරයන්ගේ මස් කෑමට ඉල්ලන්නේ ද කියායි.
එවිට වැද්දා රජුට කියන්නේ සිල් නො රකින දුසිල්වතුන්ගේ මස් ඉල්ලා සුනඛයා කෑ ගසන
බවයි. එහි දී දුසිල්වතුන් කවුරුන් දැයි වැද්දා රජුට මෙසේ පැහැදිලි කර ඇත.
ගිහියන් ලෙස දිවි ගෙවන භික්ෂූන්, හොර රහසේ කම්සැප විඳීන මෙහෙණින්, අපිරිසිදු වී
තපස් රකිමින් ගිහියන්ට ණයට මුදල් ආදිය දී ගිහියන් මෙන් දිවි ගෙවන තවුසන්, සම්පත්
අපේක්ෂාවෙන් ඉල්ලීමක් නැති ව යාග හෝම කොට සම්පත් ගන්නා බමුණන්, සිය මවුපියන්ට නො
සලකන දරුවන්, මවුපියන්ට නින්දා අපහාස කරන දරුවන්, තම සුළු මව, මිතුරන්ගේ බිරියන්,
නැන්දා, ගුරුවරයාගේ බිරිය යන අය කෙරෙහි වැරැදි කරන අය, මඟ රැක සිට මිනීමරා වස්තුව
පැහැර ගන්නා අය, කළ යුතු දේ නො කර නො කළ යුතු දේ කරන බමුණන්, පර පුරුෂ හා පරදාර
සේවනය කරන ස්ත්‍රී - පුරුෂයන්, පස් පව් දස අකුසල් කරන ස්ත්‍රී - පුරුෂයන්
මෙවැනි දුසිල්වතුන්ගේ මස් කෑමට ඉල්ලා සුනඛයා කෑ ගසන්නේ යැයි කියා වැද්දා මිනිසුන්
සිටින දිසාවට සුනඛයා උසි ගන්වා මිනිසුන් බියට පත් කර ඇත.
ඉන් පසු වැදි වෙස් අතහැර සක් දෙව් වෙස් මවා ගෙන රජුට අවවාද කොට, රජතුමා බුද්ධ ශාසනය
හා බුද්ධානුශාසනාව පිරිහෙනු බලා සිටිය නොහැකි ව යළි එය දියුණු කිරීමට පැමිණියෙ’මි
කියා බොහෝ පිරිසට අවවාද දී ශක්‍ර භවනයට ගොස් ඇත.
එදා සිට මිනිසුන් තමන් කරමින් සිටි අකුසල් අතහැර දස කුසල්හි යෙදී භික්ෂූ භික්ෂුණීන්
ද, උපාසක උපාසිකාවන් ද අඛණ්ඩ ව ප්‍රතිපත්ති පූජා සිදු කරමින් සිල් රැක තිබේ. ඉන්
පසු බොහෝ කලක් එම සමාජය ගුණධර්මවලින් පිරි සිල්වත් ජන සමාජයක් බවට පත්ව තිබේ. |