Print this Article


නිවීමට සැනසීමට කරණීය මෙත් සුතුර

නිවීමට සැනසීමට කරණීය මෙත් සුතුර

පන්සියයක් භික්ෂුන් වහන්සේ වනගත ව බවුන් වඩන අවස්ථාවේ දී දැක්ක හා ඇසුණු බියජනක සිද්ධීන් නිසා සිත වික්ෂිප්ත වී කායික හා මානසික පීඩනයට ලක්වූ බවත්, එයට පිළියමක් වශයෙන් බුදු පියාණන් වහන්සේ එම උපද්‍රව මැඬලීම සඳහා උන්වහන්සේට කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරමින් එය භාවනාමය කමටහනක් කරගෙන වීරියෙන් යුතු ව වාසය කරන ලෙසට උපදෙස් දුන්හ.

එයට එකඟ වූ උන්වහන්සේ නැවත වනයට ගොස් අදාළ උපදෙස් අනුව භාවනා කළහ.

කරණීය මෙත්ත සූත්‍රයට අනුව භික්ෂුන් වහන්සේගේ සිත් තුළ ධර්මය වැඩෙන්නට වූයේ සූත්‍රය තුළ ගැබ්වී ඇති ගුණ දහම් උන්වහන්සේගේ සන්තානයෙහි රෝපණය වීමත් සමඟ ය. උන්වහන්සේගේ නොවැඩුණු සිත වැඩෙන්නට විය. ඉන්ද්‍රිය ධර්ම වැඩෙමින් සිත ශක්තිමත් වූයේ කුසල් දහම් මත ය. මෙයින් ඉතා සතුටට පත් අදෘෂ්‍යමාන දෙවි දේවතාවන් හා අමනුෂ්‍යයන් ගෞරවයෙන් යුතු ව ශ්‍රද්ධාවෙන් වස් කාලය අවසන් වන තෙක් ඇප උපස්ථාන කළහ. අවසානයේ භික්ෂුන් වහන්සේ පන්සිය නම ම රහත් භාවයට පත්වූහ.

අමනුෂ්‍ය බලවේග ඉවත් කිරීමේ ද්වේශ සහත වැඩපිළිවෙළක් පිරිත් සජ්ඣායනා තුළ නැත. කරණීයමෙත්ත සූත්‍රය වැනි බලගතු සූත්‍රයක් සජ්ඣායනා කිරීමෙන් පමණක් එහි වටිනා ආනිශංස ලබා ගත නොහැක. සාර්ථක වූත්, සතිමත් වූත්, ගුණ යහපත් සත්පුරුෂයකු ඉපිදවීමට සමත් වටිනා ප්‍රතිපදාන මෙම සූත්‍රය තුළ සැඟවී ඇත. එපමණක් නොව උතුම් වූ නිර්වාණ මාර්ග හඳුනාගෙන ගමන් කරන පින්වතකුට කළ යුතු නොවරදින වැඩපිළිවෙළක් මෙහි ඇත.

මේ රහස හඳුනාගත් හේතු සම්පත් ඇති පින්වත් අය සූත්‍රය කමටහනක් කරගෙන එහි ගුණාංග ජීවිතයට හුරු පුරුදු කිරීමට උත්සාහ ගනිති.

“යං තං සන්තං පදං” යන පාඨය මෙහි ප්‍රධාන මාතෘකාව ලෙස ගතහොත් ඉන් කියැවෙන්නේ ශාන්ත පද යැයි කියනු ලබන නිවන ලබා ගැනීමට කැමැති,අභිවෘද්ධියේ දක්ෂයාට ඒ සඳහා මේ දෙය කළ යුතු යැයි අපූරු වැඩ කොටසක් මෙහි යෝජනා කර ඇත.

එහි පළමු වැඩ කොටස ලෙස සඳහන් කර ඇත්තේ “සක්කෝ” කියන ශක්තිමත් පාලි වචනය යි. එහි තේරුම දක්ෂතාවයි. කුමකට දක්ෂ විය යුතුද? අත්තකුසලය වැඩි දියුණු කිරීම සඳහා හෙවත් සතර සම්‍යක් ප්‍රධන් වීර්ය වැඩීම සඳහා දක්ෂ විය යුතු ය. “සමබර මිග“ ජාතක කථාවෙන් “නහී චින්තාමයා භෝගා ඉත්තියා පුරිසස්සවා” යන ගාථා පාඨයෙන් කියැවෙන්නේ කිසියම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ හිතපු දෙය නොකර හිත හිතා සිටීමෙන් පමණක් එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකි බවයි. එසේ නම් මෙය කරණීය මෙත්ත සූත්‍රයට ගළපා ගතහොත් දුකින් මිදීම සඳහා කළ යුතු දේ නොකර සජ්ඣායනා කර කර සිටීමෙන් පමණක් එහි අවසන් ප්‍රතිඵලය කරා ළඟා විය නොහැකි බවයි.

මෙම සූත්‍රයෙහි නිවන් දැකීමට කැමැති දක්ෂ පුද්ගලයාට කළ යුතු වටිනා කරුණු ප්‍රධාන වශයෙන් 15ක් දක්වා ඇත. පළමුවැන්න දක්ෂතාවයි. අනෙකුත් ගුණධර්ම වැඩීමට මූලික වන දක්ෂතාව නොමැති නම් සෙසු ගුණ ධර්මය ද වියැකී යෑමට අවකාශය ඇත.

කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන “උජූච සූජූච” යන වචන දෙකින් කියැවෙන අර්ථය ඉතා ගැඹුරු ය. ඔබ අනුන්ගේ වැරැදි සොයමින් කාලය ගත නොකර තමන්ගේ වැරැදි දකින අවංක පුද්ගලයකු විය යුතු ය. කපටි නැති, අවංක ව, කෙළින් වැඩ කරන අයකු වීමට ඔබ දක්ෂ විය යුතු ය. තමන්ගේ ගුණ පෙන්වීමට උත්සාහ දරමින් යටි අරමුණු සඵල කර ගැනීමට සටකපටකම් කරන අයකු නොවීමටත් උත්සාහ දැරීම තුළ ඔබ ගුණගරුක අයකු වේ.

“සුවචෝ” හෙවත් කීකරු අයකු වීමට ඔබ උත්සාහ දැරිය යුතු අතර “මුදු” හෙවත් දරදඬු සංකල්පනාවලින් තොර අවවාද අනුශාසනා පිළිගැනීමටත්, ඇහුම්කම් දීමටත් හැකි දක්ෂයකු නම් ඔබ කරණීය මෙත්ත සූත්‍රයට අදාළ ප්‍රතිපදාවේ යෙදෙන අයෙකි.

“අනතිමානී” ගුණය නම් ධනය, කුලය, බලය, ශීලය, රූප ස්වභාවය ආදියෙන් ඔළමොළ ගති ඇතිව මම උසස් යැයි සිතා ක්‍රියා නොකොට මාන්නයෙන් තොරව විසීමට උත්සාහ දැරීමයි. මම කියන සංකල්පය දෙදරා යන අයුරින් (සෙයිය මාන, සදිසි මාන, හීන මාන) සිත හුරුපුරුදු කිරීමට කරණීය මෙත්ත සූත්‍රය ඔබට ආරාධනා කරයි. ඉන් අත්තුක්ඛන්සන, පරවම්භන’ යන කෙලෙස් ගැලවී යනු ඇත.

ලැබෙන දෙයින් සතුටු වීමේ ගුණය ගැන කියවෙන්නේ “සන්තුස්සකො” යන පාලි වචනයෙන් ය. තමන් කැමැති අකැමැති දේ තෝරා බේරා ගැනීමට අද බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙති. “යම් පිච්චං න ලභති තම්පි දුක්ඛං’ කැමැති දේ නොලැබුණුූ තැන බොහෝ දෙනා ගැටෙති. දුක් වෙති. හඬති. සෝක වෙති. එසේ නොවීමට ඔබ උත්සාහ දරනවා නම් එය ඔබගේ හොඳ ගුණයකි.

“සුභරෝ” පහසුවෙන් පෝෂණය කළ හැකි ගුණය ඔබ ළඟ තිබේ දැයි බලන්න. ඔබ, ඔබ දෙස බලා නිරීක්ෂණය කරන්න. නිවෙස තුළ තිබෙන සතුට දෙදරා යෑමට හේතුවක් වන්නේ බොහෝ දෙනා සෑහීමකට පත්නොවීමයි. පංච කාම සම්පත්තිය උදෙසා හඹා යන බෞද්ධ ශ්‍රාවකයාට තමන්ගේ මෙම දුර්වලකම දැන ඉන් මිදීමට උත්සාහ ගත්තේ නම්, ඔහු නිතර නිතර කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කළාට ද වරදක් නැත. ඔහු එහි ගුණ පුරුදු පුහුණුූ කරන නිසා ඔහුට එහි ආනිසංස ලැබෙනු ඇත. ‘ජාතකො පස්සකො” දැන ගෙන යන ගමනක් නිසා කුසල් අකුසල් තේරුම් බේරුම් කර ගැනීමට ඔහු සමත් වනු ඇත.

“අප්පකිච්චෝ” සහ “සල්ලහුකවුත්ති” යන ගුණය ගැන සූත්‍රයේ සඳහන් වෙයි. වැඩ අඩුවෙන් විවේකී ව සිටින ඔහු සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරයි. තරගකාරී සමාජය තුළ ඔබත් තරගකරුවකු ලෙස අවිවේකී ව සිටින්නේ නම්, ඉන් මිදීමට දක්ෂ විය යුතු ය. කාය විවේකය, චිත්ත විවේකය අවශ්‍ය වේ. ඉන් තොර වීම නිසා ආතතිය වැනි චිත්ත පීඩාවලින් පමණක් නොව බෝනොවන කායික රෝගවලින් ද පෙළෙන අයකු වන්නේ නම්, ඔබ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථයට පිවිසෙන්න. කායික හා මානසික සෞඛ්‍ය ඔබට අවශ්‍ය වන්නේ ගුණ දහම් වත් පිළිවෙත් වැඩීම සඳහා ය.

ඉහත සඳහන් ගුණධර්මවලට අමතරව සුවිශේෂ ගුණාංග රැසක් එම සූත්‍රය තුළ අන්තර්ගත ව ඇත. විශේෂයෙන් ම තමා ප්‍රඥාවන්තයකු වී සාහසික අසංවර අයකු නොවිය යුතු අතර, ඉන්ද්‍රිය සංවරය ඇතිි පුද්ගලයකු විය යුතු බව සඳහන් කර ඇත. ඔබගේ ඇස, කන ආදි පංච ඉන්ද්‍රියයන්ට අරමුණු වන රූප, ශබ්ද, ආදි බාහිර ආයතන ගැන මනා සිහිනුවණින් යුතු ව වැඩ කටයුතු කරන අයකු විය යුතු බව සඳහන් කරයි. නුවණැත්තන්ගේ දෝෂාරෝපණයට ලක්වන විදියේ වැරැදි වැඩවලින් ඈත් වීමේ ආනිසංස දක්වා ඇත.

ඉහත සඳහන් ගුණ සමුදායෙන් ගුණ කීපයක් හෝ ඔබ ඔබගේ ජීවිතයට පුරුදු පුහුණු කරන්නේ නම්, ඉතිරි ගුණයන් ද ඉබේ වැඩෙනු ඇත.

මෙම සූත්‍රයේ සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩීම පිළිබඳ විස්තරයක් දක්වා ඇත. සජ්ඣායනා කිරීමෙන් පමණක් මෙම ආනිසංස ඔබගේ දිවියට ළඟා කර ගැනීම පමා වනු ඇත. මේ සඳහා ඔබ සිහියෙන්, නුවණින් දවස ගෙවා දැමීමට දක්ෂ විය යුතු ය. සතර සතිපට්ඨානය තුළ සිත පුරුදු පුහුණු කරන්නේ නම් ඉහත සඳහන් ගුණ සමුදායන් තම චිත්ත සන්තානය තුළ වඩා වර්ධනය විය හැකි ය.

මේ තුළින් ‘ඉද නන්දති පෙච්ච නන්දති’ වශයෙන් එලොව මෙලොව සතුටින් වාසය කළ හැකි අතර, සදාතනික සැපය කරා ළඟා විය හැකි ය.

මේ සූත්‍රය සජ්ඣායනා කොට එහි ඇති එක ගුණයක් ගෙන වඩන්න පටන් ගන්න. එවිට ඔබ කරණීය මෙත්ත සූත්‍රය ඇතුළත ජීවත් වන, පරිණතභාවයෙන් හෙබි, මනා පෞරුෂයකින් යුත් කල්‍යාණ මිත්‍රයකු වන්නේ ය. ඔබ තව තව ගුණ වඩත්ම සූත්‍රය අවසානයට කියවෙන ආර්ය උත්තමයකු බවට පත්වේවි. ඒ, අනාගාමී ආර්ය ශ්‍රාවක උත්තම පුරුෂයා ය.