බුරුම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ
පස්නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් දිවයිනට
 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ මියන්මාරය (බුරුමය) අතර පවතින දීර්ඝකාලීන ආගමික
සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, බුරුම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ
පස්නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් පසුගියදා (21) දිවයිනට පැමිණියහ.
බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රහය සහ මෙහෙයවීම මත සිදුවන මෙම සංචාරය, මෙරට ශාසනික
ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කිරීමට නියමිත ය.
මෙම සංචාරයට සමගාමී ව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 163 වැනි නිකාය දිනය සහ 140
වැනි ආදිකර්තෘ ගුණානුස්මරණය වෙනුවෙන් ජනවාරි 29 වැනි දා පයාගල ශ්‍රී ධර්මගුප්ත
පිරිවෙන් මූල මහා විහාරයේ දී විශේෂ උත්සවයක් ද පැවැත්විණි. එදින ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුළෑවේ ශ්‍රී විමල මහානායක ස්වාමීන්
වහන්සේගේ මූලිකත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික
දායකත්වයෙන් සහ බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහයෙන් සංරක්ෂණය කරන ලද ශ්‍රී ධර්මගුප්ත
පිරිවෙන් මූල මහා විහාරය සතුව පැවති ඓතිහාසික පුස්කොළ පොත් සමුච්ඡය නැවත
විහාරස්ථානයට භාරදීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන්
පොත්ගුල විවෘත කිරීම සිදු කෙරිණි. |