Print this Article


කොස්ගම හාමුදුරුවෝ දිවිසැරියේ සැටවස් සපුරති

කොස්ගම හාමුදුරුවෝ දිවිසැරියේ සැටවස් සපුරති

1966 වර්ෂයේ පෙබරවාරි දෙවැනි දින ඌව කොස්ගමු වලව්වේ උපත ලද කුල කුමරුවා 1977 වර්ෂයේ බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයට පැමිණි අතර, අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ අතිපූජනීය ගැටඅරලුවේ ධම්මරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සහ අමරපුර මහානිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ අනුනායක, පූජනීය පල්ලේවෙල විසුද්ධාජීව නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් කරන ලදී. මූලික අධ්‍යාපනය තම ගුරුදේවයන් වහන්සේ සමීපයේ සහ අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ සමීපයේ සම්පූර්ණ කළ කොස්ගම විනීතජීව සාමණේරයන් වහන්සේ 1986 වර්ෂයේ දී නිට්ටඹුව ශාරිපුත්‍ර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් ව ගුරුභූමිකාවට අවශ්‍ය කුසලතා සපුරා ගත්හ.

වර්ෂ 1988 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා බිමට පත් වූහ. වසර තිහකට වැඩි කාලයක් ගුරු වෘත්තියෙහි නියැළෙමින් ප්‍රදේශයේ දුවා දරුවන් රැසකගේ නැණස පෑදීමට කටයුතු කළ උන්වහන්සේ පසුගිය දා විශ්‍රාම දිවියට පත්වූහ.

ග්‍රන්ථධුරය වැඩීම සහ සමාජ සේවා ඉටු කිරීම ප්‍රධාන කාර්යයක් කොට සැලකූ කොස්ගම හාමුදුරුවෝ අධ්‍යාපනික, ආගමික, සංස්කෘතික හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය කෘති දහසයක් පමණක් රචනා කර ඇත. “සුදර්ශන ලේඛා, සසර ගනුදෙනු, සිරිත් විරිත්, රූපවාහිනී මාධ්‍යයේ සුභ අසුභ” යනු ඉන් උදාහරණ කිහිපයකි. ජාතික පුවත්පත් හා සඟරා ආදියට නිරන්තරයෙන් ලිපි සපයමින් ද උන්වහන්සේ තම ශාස්ත්‍රීය සේවය පුළුල් කළහ.

ඉඹුල්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ ලෙස 2000 වසරේ සිට වසර විස්සකට වැඩි කාලයක් වගකීම් දරමින් එය උපරිමයෙන් ඉටුකරනු වස් ප්‍රදේශයේ දහම් පාසල් සහ විහාරස්ථාන වෙනුවෙන් අවශ්‍ය කරන සේවාවන් නොමඳ ව සපයා දුන්හ. දිවා රෑ නොබලා එම වගකීම නිසියාකාරව ඉටු කිරීමට තම කාලය, ධනය, ශ්‍රමය සහ බුද්ධිය කැප කළහ. බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානය සියලු විහාරාරාගයන්ගෙන් පරිපූර්ණ ව ගොඩනැඟීමට දිවිය කැප කළහ.

ප්‍රදේශයේ දුවාදරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමට මැදිහත්වීම, සෙවණක් අහිමි අයට නිවාස ඉදිකරවාදීම යනාදී සමාජ සේවාව වෙනුවෙන් උන්වහන්සේගේ මැදිහත්වීම, පරිත්‍යාගශීලීත්‍වය සහ ඇප කැප වී ඒවා ඉටුකළ ආකාරය ප්‍රශංසනීය වේ.

තමන්ගේ ධර්මඥානය බෙදා දීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ විවිධ රූපවාහිනී නාලිකා මාධ්‍ය කර ගනිමින් ධර්ම දේශනා,

ධර්ම චින්තා සහ ධර්ම සාකච්ඡා ආදිය සිදුකරමින් තම ශාසනික සේවාව දේශීය ව විදේශීය වශයෙන් ද පුළුල් කරමින් වියට්නාමය, බුරුමය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවලට විවේක ලද අවස්ථාවල වැඩම කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවාව ලෝකයා වෙත ඉටු කිරීමට කැපකිරීම් කළහ.

අපවත්වී වදාළ අතිපූජනීය ගැටඅරලුවේ ධම්මරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ වියපත් සමයේ උන්වහන්සේ ඉතා ගෞරවයෙන් සහ ආදර භක්තියෙන් රැක බලා ගනිමින් තම ගුරු ගෞරවය සහ කෘතඥ බව ද ප්‍රකට කළහ. බෞද්ධ භික්ෂුවකගේ ප්‍රධාන කාර්යය විය යුතු “පරත්‍ථං පටිපජ්ජථ”, “බහුජනහිතාය බහුජනසුඛාය” යනාදී බුදු වදන් සිතෙහි තබාගෙන ඉටුකරනු ලබන ආගමික, ශාසනික, සමාජයීය හා ජාතික සේවාවන් තවත් ශක්තිමත් ව ඉටුකිරීම සඳහා සමස්ත ලංකා සාම විනිසුරු පදවියේ වගකීම් ද දරාගත් කොස්ගම හාමුදුරුවෝ වර්තමානය වනවිට විශ්‍රාම සුවයෙන් වැඩ සිටියත් තව තවත් පුළුල් ව සිය සේවාවන් දෙස් විදෙස් වශයෙන් ම ඉටුකරමින් සිටිති.

දිවිසැරියේ සැටවැනි සැතපුම් කණුවට එළඹෙන උන්වහන්සේට සිය සේවාවන් තවත් ශක්තිමත් ව සමාජයට ඉටු කිරීමට සියලු ආශිර්වාදය වේවා යැයි සුභාශිංසනය කරමු.