Print this Article


සිසු දරුවන් හද ගුණදම් සපුරන උඩුනුවර කැලියල්පිටිය ශ්‍රී සෝභිත දහම් පාසල

සිසු දරුවන් හද ගුණදම් සපුරන උඩුනුවර කැලියල්පිටිය ශ්‍රී සෝභිත දහම් පාසල


ආචාර්ය මණ්ඩලය


තලාවේ සීලරතන හිමි

ඓතිහාසික මහනුවර පුරවරයේ උඩුනුවර කොට්ඨාශයේ කැලියල්පිටිය ග්‍රාමයේ පිහිටි පැරැණි ම විහාරය කැලියල්පිටිය පුරාණ විහාරයයි.

එකල මෙම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූයේ සෝභිත ස්වාමීන් වහන්සේ ය. පසු කලක විහාරස්ථානයේ දායකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ දහම් පාසල ශ්‍රී සෝභිත දහම් පාසල වශයෙන් නම් කරන ලදී.

වර්ෂ 1980 මාර්තු මස දහම් පාසල ආරම්භ වූයේ සිසුන් දස දෙනෙකුගෙන් සහ එක් දහම් ආචාර්යවරියකගෙනි. වරින් වර අප විහාරස්ථානයේ අධිපතිත්වය දරන ලද ස්වාමීන් වහන්සේ විසින් දහම් පාසල අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් හෝ නොකඩවා පවත්වාගෙන යන ලදී. 1984 වර්ෂයේ එවකට සිටි ප්‍රධානාචාර්යවරිය විසින් තරුණ බෞද්ධ සංගමයේ ලියාපදිංචි කරන ලදී.

අප විහාරස්ථානයේ වත්මන් විහාරාධිකාරී තලාවේ සීලරතන ස්වාමීන් වහන්සේ ආචාර්ය හිමිනමක් වශයෙන් රජයේ පාසලක සේවය කරමින් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙස අප දහම් පාසල ද උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරති.

උගත්,බුද්ධිමත් එසේම මනා කැපවීමකින් දරුවන් කෙරෙහි ආදරයෙන් කටයුතු කරන එකොළොස් දෙනකුගෙන් යුතු ආචාර්ය මණ්ඩලය ද ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේට සහාය දෙති.

වාර්ෂික වැඩසටහන් සැලැස්මකට අනුව ක්‍රියාත්මක වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන අතර වාර විභාග පැවැත්වීම, ශාසනාරක්‍ෂක මණ්ඩලය හරහා පැවැත්වෙන සිසු නිපුණතා ඇතුළු ආදියට ද වාර්ෂික ව සහභාගී කරවනු ලැබේ.

බාහිර කටයුතු වශයෙන් පොහෝ දින සිසුන් සිල් සමාදන් කරවීම, නිදහස් දිනට සමගාමීව කරන උත්සව, අවුරුදු උත්සව, වෙසක් කලාප ක්‍රියාත්මක කිරීම, සදහම් ගී ගායනා ප්‍රසංග, වාර්ෂික ත්‍යාග සහ සහතික පත් බෙදා දීමේ උත්සව ද නොකඩවා කරගෙන යෑම සුවිශේෂී ය.

අප දහම් පාසල තුළින් උගත්, බුද්ධිමත්, සාරධර්මයන්ගෙන් පිරිපුන් යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීම ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දැක්මයි.


සිසු දරු දැරියන්