Print this Article


සාමයේ පාගමන

සාමයේ පාගමන

සාමයේ පණිවිඩය නිහඬවම ලෝකයට ගෙන යමින් පාද යාත්‍රාවේ යෙදෙන සංඝ පීතෘන් වහන්සේ ගේ සොඳුරු දසුන අද වන විට ලෝකයම කතා බහ කරන අපූර්ව මාතෘකාවක් බවට පත්ව තිබේ.

පාද යාත්‍රාවේ නිරත පින්වත් භික්ෂූන් වහන්සේගේ උතුම් අරමුණ ලෝක සාමය උදා වේවා යන්න යි.

ගමනේ ආරම්භය සිදු වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී යි. එය අමෙරිකාවේ වොෂිංටන් නගරයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම පෙබරවාරි මාසයේ දී ය. පාද චාරිකාව අවසානයේ දී අමෙරිකානු ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට නියමිත බව සඳහන් වේ.

මේ පා ගමනට මූලිකත්වය ලබා දෙන්නේ වියට්නාමයේ භික්ෂූන් වහන්සේ 19 දෙනෙකි. උන්වහන්සේගේ බලාපොරොත්තුව කරුණාව, එකමුතු බව, පරිසර දූෂණය වැළක්වීම, ජාති ආගම් කුලභේද, වර්ගවාදය ආදි මිනිස් සිත් දූෂණය කරන පටු ආකල්ප ඉවත ලා මිනිසුන්ට මිනිසත් ගුණ කියාදෙමින් සිත් සුවපත් කිරීම යි.

අද වන විට මේ පා ගමන අමෙරිකාවේ මිනිසුන්ගේ සිත් සතන් කෙතරම් පැහැරගෙන ඇත් යත්, සාමය වෙනුවෙන් දෑත දිගු කිරීමට ඔවුහු සැතපුම් ගණන් දුරගෙවාගෙන දැඩි හිරු රශ්මිය සේම දැඩි සීතල ද නො සලකා පා ගමනින් වඩින ස්වාමීන් වහන්සේ දෑසින් දැක ගන්නට මඟ දෙපස රොක් වෙමින් සිටිති. ඇතැම් ප්‍රාන්තවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඊට සහයෝගය දෙමින් මහ මඟ එකරැස් වී සිටිනු දැක ගත හැකි ය.

මේ පාද යාත්‍රාව දින 120ක් පුරා ප්‍රාන්ත 19ක් ආවරණය කරමින් සැතපුම් 2300 ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

පින්වත් ස්වාමීන් වහන්සේ කරුණා පෙරදැරි ව ආරම්භ කළ මේ සාමයේ පාද යාත්‍රාව ආයුධ, යුද ටැංකි හා බෝම්බ වෙනුවට සාමයේ දෑත පිළිගන්නා ලෙස ලොවට බල කරන තීරණාත්මක පා ගමනක් වනු ඇතැයි විද්වතුන්ගේ මතය යි. මේ සාමයේ පා ගමනට අමෙරිකානු ජනතාවගෙන් ලැබෙන අසීමිත සහය සිතාගත නොහැකි ය. කිසිදු දිනක බෞද්ධ භික්ෂූන් වහන්සේට වන්දනා කර නැති, දානයක් පූජා කර නැති, පිරිතක් අසා නැති, දහමක් ශ්‍රවණය කර නැති විශාල අමෙරිකානු ජනතාවක් අද ඒ දේ කරමින් සිටිති. මේ පාද යාත්‍රාවේ අපූර්වත්වය එයයි.

ඒ වගේම පාද චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේ නමක චීවරය දවටා සිටින පත්කඩය පුරා විවිධ ලාංඡන පැළඳගෙන සිටිනවා ඔබ දකින්නට ඇති. මේ ලාංඡන මොනවාදැයි ඔබට ප්‍රශ්නයක් වන්නට ද ඇති. ඇයි මේ ස්වාමීන් වහන්සේ මේවා දවටාගෙන සිටින්නේ? උන්වහන්සේට මේ ලාංඡන කොහෙන්ද ආදී ලෙස. ඇත්තෙන් ම ඒ දසුන අපට නුහුරුයි. නු පුරුදුයි. ඒ සියලුම ලාංඡන උන්වහන්සේගේ පත්කඩයේ රඳවන්නේ අමෙරිකාවේ වීදියක් වීදියක් ඔස්සේ රැස්ව සිටින ජනතාව යි. ඒ ජනතාවට අමතරව අමෙරිකා හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන් ද ඒ අතර වෙති. ඔවුන්ගේ ජීවිතයේ ලැබුණු වටිනාම ලාංඡනය මේ ස්වාමීන් වහන්සේට පූජා කිරීමට ඔවුහු නිර්ලෝභී වූහ. එයට හේතුව වන්නට ඇත්තේ ඔවුන් විඳින යුද්ධයේ අමිහිරිබව, කටුකත්වය සහ දුක්මුසු බව විය හැකි ය. ඒනිසාම තෙරුන් වහන්සේ සාමය වෙනුවෙන් වඩින පා ගමනට විශේෂත්වයක් එක් කරන්නට ඒ සොල්දාදුවන් ඒවා පිළිගැන්වූවා විය හැකි ය. මේ සියලු ලාංඡන පැළඳ උන්වහන්සේ පෙරමුණූ ගෙන ගමන් කරන්නේ සාමයට මිනිස් සිත තුළ තිබෙන කැමැත්ත ලොව බලවතුන්ට නැවත නැවත සිහිපත් කර දීම උදෙසාය.

වොෂින්ටනයේ ගමන නිමා වූ පසු ලාංඡනවලට කුමක්ද සිදුවන්නේ? අවසානයේ දී ඒ සියලු ලාංඡන සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙන බවයි ප්‍රකාශ වන්නේ. එය 21 වැනි සියවසේ මිනිසුන් සාමය පතා සිදු කරන සුවිශේෂී සාක්ෂියක් ලෙස සටහන් වීම කෙ තරම් සුන්දර සිහිනයක් ද?

භික්ෂූන් වහන්සේගේ මේ අපූර්ව පා ගමනට තවත් සාමාජිකයෙක් එක් වී සිටී. ඒ සුරතල් සුනඛ පැටවෙකි.

මේ පැටවා පෙර දිනක බඩගින්නට යමක් සොයා ගන්නට හැම බිම් අඟලක් ම ඉව කරමින් ගිය වීථි සුනඛ පැටියෙකි. අද මෙසේ ලොව පුරා ආදරයට පාත්‍ර වී සිටින්නේ සුනඛ පැටවා ගත් තීරණයත්, පින්වත් ස්වාමීන් වහන්සේගේ කරුණික බවත් නිසයි.

මේ සුනඛ පැටවාගේ උපන් බිම ඉන්දියාව යි. ඒ අපුරු සගයා ද අමෙරිකාවට ගෙන යන්නට උන්වහන්සේ තීරණය කළහ. වීදි සුඛනයෙක් ව සිටි මේ පැටවාට ලැබුණේ ‘ආලෝක’ යන නාමයයි. මේ වන විට ආලෝක ජනපි‍්‍රය සුනඛයෙකි. ආලෝක සාම පා ගමනේ පෙරමුණ ගන්නේ ස්වේච්ඡාවෙන්ම යි.

ඒ සුනඛ පැටියාට මෙ තරම් ගෞරවාන්විත ජීවිතයක් ලැබුණේ මේ සංඝ පීතෘන් වහන්සේගේ කරුණාබර හදවත නිස යි. සාමය සඳහා වූ මේ අපූර්ව ගමනේ ආලෝක වෙන් කළ නොහැකි සාමාජිකයෙක් බවට පත්ව තිබේ.

අද වන විට අමෙරිකාවේ සැතපුම් දස දහසක් ඇවිද යන මේ පුංචි සුරතලා ලෝක සාමය වෙනුවෙන් තැබූ සෑම පියවරක් ම ගෞරවාන්විත ව සටහන් වී අවසන්.

ආලෝක තිරිසන් ලෝකයේ උපත ලැබුව ද, මිනිස් ලෝකයේ සිටින අපට කදිම පාඩමක් කියා දෙයි. මුළු ලෝකයක් වෛරයෙන් සහ ක්‍රෝධයෙන් අවි අමෝරා සටන් කරන අවදියක ලෝක සාමය පතා සැතපුම් 2300 පා ගමනක් යාමට මේ සුරතලා තීරණය කිරීම විශ්මයට කරුණක් නොවේද?

දැඩි දුෂ්කරතා විඳිමින් වැස්සෙන්, පින්නෙන්, දුහුවිල්ලෙන් පීඩා විඳිමින් යන මේ චාරිකාවට අර්ථයක් දෙන්නට අපටත් පුළුවන්. ඒ, තථාගත ධර්මය අනුව යමින් අප කෙරෙහි සාමය ගොඩනඟාගෙන, අනුන්ට ද ඒ සාමයේ දෑත් දිගු කරන්නට පොහොසත් ආකල්පයන්ගෙන් පිරිපුන් මිනිසුන් බවට පත්වීමෙනි.