|
යක්ෂ බිය දුරු කළ උපාසක ගුණ
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
මේ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු සිදුවීමක්.
කොසොල් රජ්ජුරුවන්ට අයත් ජනපදයක් තිබුණා ‘තුණ්ඩ“ කියලා. මේ ගමේ ජීවත් වුණේ හරිම
ශ්‍රද්ධා සම්පන්න අය. බුදුරදුන් සරණ ගිය අය. ඒවගේම ධර්මය අනුගමනය කරපු අය. එපමණක්
නෙවෙයි නිතර සංඝයා ඇසුරු කරමින් උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරපු උදවියන් මේ
ගම්වාසීන් අතරේ හිටියා.
ඒ අතර බුදුරජාණන් වහන්සේට බොහෝ ශ්‍රද්ධාවෙන් පුදසත්කාර පවත්වන උපාසකයෙක් ‘බුද්ධදාස“
කියලා ප්‍රසිද්ධියට පත් වුණා. බුදුරජාණන් වහන්සේ උදෙසා මල්, පහන්, සුවඳ දුම් වගේම
දැහැත්, ගිලන් පස, බුද්ධ භෝජන ආදිය තැන්පත් කරලා පූජා කරන හැම අවස්ථාවකමත්, තමන්ට
යහළුවෙක්, හිතවතෙක් හමුවන හැම අවස්ථාවකමත් ‘මම ජීවිතාන්තය දක්වා බුදුන් සරණ යමි.
බුදුරජාණන් වහන්සේ මට පිහිට වන සේක. බුදුරජාණන් වහන්සේ මා ආරක්ෂා කරන සේක.
බුදුරජාණන් වහන්සේ මට ක්ෂේම භූමියක් වන සේක. බුදුරජාණන් වහන්සේ මට අභයස්ථාන වන සේක.
බුදුරජාණන් වහන්සේ මට උතුම් වූ පිහිටක් වන සේක.“ යි කියන සිරිතක් තිබුණා.
ඒ නිසා ගමේ, ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු පළාතේ ම මේ උපාසකයාගේ ගුණය හා කීර්තිය
පැතිර ගියා. උදව් අපේක්ෂාවෙන් තමන් ළඟට එන හැමෝටම ලෝභ නැතිව උදව් කරනවා.
දවසක් ඈත පිටිසර ගමකින් කිසියම් කටයුත්තකට තුණ්ඩ ගමට ආවා ආගන්තුකයෙක්. ඔහුගේ කටයුතු
අවසන් වෙන්න දවස් හතක් ගත වෙනවා. නතර වෙන්න තැනක් හෙව්වා' හමු වුණේ නෑ. අවසානයේ
එක්තරා ගැමියකුගේ උදව්වෙන් බුද්ධදාස උපාසකගේ නිවසට යන්න පුළුවන් වුණා. තමන් ගමට
පැමිණි කාරණය පැහැදිලි කරලා දවස් හතක් නතර වෙන්න ඕන බවත් කිව්වා. ඒ උපාසකත් බොහෝම
කැමැත්තෙන් නිවසේ ඉන්න ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය කෑම බීමත් සලසා දුන්නා.
මේ ආගන්තුක පුරුෂයාගේ ශරීරයට ආවේශ වන මහා යක්ෂයෙක් ඉන්නවා. එයා හැමදාම මේ පුරුෂයාගේ
ශරීරයට ආවේශ වෙලා බොහෝ පීඩා සිද්ධ කරනවා. එහෙම හැමදාම පීඩා වින්දත් මේ නිවසට ගොඩ
වුණ දවසේ සිට ඒ යක්ෂයාගෙන් මේ ආගන්තුක පුරුෂයාට පීඩාවක් වුණේ නෑ. හොඳට නින්ද ගියා.
කන කෑම හොඳට දිරවන්න පටන් ගත්තා. මෙහෙම දවස් හත ගත කරලා අටවෙනි දවසේ නිවසෙන්
පිටවෙලා බුද්ධදාස උපාසකගේ ගමෙන් නික්මිලා යනවාත් එක්ක ම ණයකාරයෙක් අල්ලා ගන්න මඟ
රැකගෙන ඉන්න ධන හිමියෙක් වගේ මඟ රැකගෙන ඉදලා එකපාරම යක්ෂයා අර ආගන්තුක පුරුෂයා
ඉදිරියට පැන්නා. එතකොට ම අර ආගන්තුක පුරුෂයා අහනවා
‘ඒයි බොල, තොප මෙතෙක් දවසක් කොතැනද හිටියේ? මට පීඩා කරන්න අමතක වුණා ද? මොකද මගේ
පස්සෙන් හැමදාම ඇවිත් මට දුක් පීඩා දෙන්නේ? යි කියලා. එතකොට අර යක්ෂයා කියනවා ‘තා
අල්ලා ගන්න අවසරයක් නැති ව තමයි මම මෙතෙක් දවසක් හිටියේ? දැන් මට ආයෙත් අල්ලා ගන්න
පුළුවන් වුණා‘යි උත්තර දුන්නා. එවිට අර ආගන්තුක පුරුෂයා නැවත අහනවා 'මා අල්ලාගෙන
නුඹට ඇති ප්‍රයෝජනය මොකක්ද? ඇයි මට පීඩා කරන්නේ? නැවතත් යක්ෂයා කියනවා ‘බොල, මම
කුසගිනිවලින් පීඩා විඳිනවා. නුඹ කන දෙයකින් මමත් යැපෙනවා. මට අනෙක් දෙයකින්
ප්‍රයෝජන නෑ‘යි උත්තර දුන්නා.
උපාසකයා නැවතත් කියනවා ‘ඇයි එහෙනම් මම ගම ඇතුළේ දවස් හතක් ඉද්දි ආවේ නැත්තේ.
එතැනටත් ඇවිත් කුසගිනි නිවා ගන්න තිබුණානේ?‘යි. එවිට යක්ෂයා ‘බොල, තොප නතරවෙලා
හිටිය නිවෙසට මට ඇතුළු වෙන්න බෑ. ඒ ගෙදර බුදුන් සරණ ගිය උපාසකයෙක් ඉන්නවා. ඔහුගේ
තේජස නිසා එතැනට මට ළං වෙන්නවත් බෑ. ඒ නිසා තොප එනකම් මේ මඟ රැකගෙන හිටියේ‘යි උත්තර
දුන්නා.
ඒ කතාව අහගෙන හිටිය ආගන්තුක පුරුෂයා, ‘මම බුදුන් සරණ කියන දෙයක් දන්නේ නෑ. නුඹට
කියන්න පුළුවන්ද ඒ බුදුන් සරණ ගිය උපාසක බුදුන් සරණ ගියේ කොහොමද කියලා. ඔහුගේ
විශේෂත්වය මොකක්ද කියලා“යි තවදුරටත් විස්තර විමසා සිටියා. ඒ වෙලාවේ යක්ෂයා කියනවා
‘තොප, නතරවෙලා හිටිය ගෙදර උපාසක ‘බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. ඒ
වචනයෙන් පවා මට ඒ පළාතටවත් ඇතුළුවන්න පුළුවන්කමක් නෑ. ඒ තරම් ම ‘බුද්ධං සරණං
ගච්ඡාමි යන්න ප්‍රබලයි. ඒ නිසයි ගියේ නැත්තේ‘යි පැහැදිලි කළා.
මේ කරුණ අහගෙන හිටිය අර ආගන්තුක පුරුෂයා කල්පනා කරනවා ‘මගේ ජීවිතයේ වැඩි කාලයක් මම
මේ යක්ෂයා නිසා පීඩා වින්දා. දැන් මට උපායකින් මේ යක්ෂයා වංචා කරන්න පුළුවන්‘ යි
හිතලා ‘මහත් සද්දයෙන් ‘බුද්ධං සරණං ගච්ඡාමි ‘මම බුදුන් සරණ යමි‘යි කිව්වා. පළමු
වතාවෙන් ම යක්ෂයා ඔහුගේ ශරීරයෙන් එළියට පැමිණියා. දෙවැනි වතාවෙන් කලබලයට පත් වුණා.
තුන්වෙනි වතාවටත් ‘බුද්ධං සරණං ගච්ඡාමි‘ කියනකොට මහත් හඩකින් මුළු පළාත ම
ගුගුරවාගෙන බියට පත්ව වෙව්ල වෙව්ලා පලා යන්න පටන් ගත්තා‘යි රසවත් කථාවක්
සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
පින්වතුනි, බුදුන් සරණ නො ගිය අන්‍ය ආගම් ලබ්දිකයෙක් බුදුන් වහන්සේ ගැන කිසිම
තොරතුරක් දන්නේ නැති ව ‘බුද්ධං සරණං ගච්ඡාමි‘යි කියූ පමණින් සැලසුණ යහපත කෙතරම් ද?
යමෙක් බුදුන්, දහම් සහ සඟ සරණ ගියේ නම් ඒ අනුව කටයුතු කරන්නේ නම්, ඔහුට හෝ ඇයට හෝ
මේ ලෝකයේ පමණක් නොවෙයි, පරලොවත් අපමණ සැප සම්පත් හා සුවපත් ජීවිතයක් ලබා ගන්න
පුළුවන් වෙනවා.
ඔබට කොයියම් හෝ අවස්ථාවක යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂ පැමිණෙනවා නම් තෙරුවන් සිහි
කරන්න. තෙරුවන්ගේ ගුණ සිහි කරන්න. එයින් ම ඔබට සුවපත් භාවයක් ලැබෙනවා, බිය පහවී
යනවා. |