සසුන් හිතකාමී පිළිවෙතක රුවගුණ
සද්ධර්මකීර්ති ශ්‍රී ශාසනමාමක ශාසනතිලක
එම්.ඒ. විශ්ව වංශනාත
ශ්‍රී ලාංකික සමාජය බෞද්ධ සංස්කෘතිය මූලිකව සැකසුණු සමාජයකි. කුඩා කල අප ලබන පාසල්
සහ දහම් අධ්‍යාපනයේ දී පවා නිතර අප වෙත කියා දෙන කාරණයක් නම්,
බුදුරජාණන් වහන්සේ අන් ශාස්තෘවරු සිටින ආරාම ආදිය අසලින් වැඩම කරන විට එම ශාස්තෘවරු
පවා තම පිරිසට “ශ්‍රමණ භවත් ගෞතමයෝ වඩිති. උන්වහන්සේ නිහඬ බව අගය කරති. නිහඬ බව
කැමැති වෙති. එබැවින් නිශ්ශබ්ද ව සිටින්න” යැයි සිය පිරිස නිශ්ශබ්ද කරන බවයි.
ඝෝෂාකාරී භික්ෂූන් වහන්සේ ප්‍රතික්ෂේප වෙයි
බුදුරජාණන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයේ වැඩවෙසන කාලයේ සැරියුත් මුගලන් අගසව්
දෙනමගේ නායකත්වය යටතේ වූ පන්සියයක් පමණ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ දැක බලා ගැනීමට
චාතුමා නුවරට පැමිණියහ. ඒ පැමිණි ආගන්තුක භික්ෂූන් ඒ ස්ථානයේ වැඩවාසය කරමින් සිටින
නේවාසික භික්ෂූන් සමඟ හඬනඟා කතා කරමින්, සතුටු වෙමින් තම
තමන්ගේ සිවුරු, පා සිවුරු
තැන්පත් කරමින්, වැඩසිටින්නට ස්ථාන සකස් කර ගන්නට වූ අතර, මහා ඝෝෂාවක් ඇති විය.
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවා “ආනන්ද, මසුන් මරන්නන් මෙන් උස් හඬින් මහා
ඝෝෂා ඇති කරන්නේ කවුරුන්දැ” යි විමසා සිටි සේක. එයට පිළිතුරු දෙමින් ආනන්ද තෙරුන්
බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට චාතුමා නුවරට පැමිණි ආගන්තුක භික්ෂූන් මෙහි සිටින
නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳරෙහි යෙදෙමින්, සිවුරු තැන්පත් කරමින්, සිටින, ස්ථාන
සකසා ගන්නා කාර්යයේ නිරතවීමේ ශබ්දය උන්වහන්සේට ඇසෙන ඝෝෂාව බව ප්‍රකාශ කර සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත එම භික්ෂූන් වහන්සේ කැඳවන ලෙස ආනන්ද තෙරුන්ට
දන්වා සිටි සේක.
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළ එම භික්ෂූන් එක් දිශාවකින් වැඩ සිටියහ.
“මහණෙනි, කුමක් නිසා මසුන් මරන තැනක සිටින මසුන් මරන්නන් මෙන් උස් හඬින් මහා ශබ්ද
කරන්නේදැ” යි ඇසූ සේක. එයට පිළිතුරු දෙමින් එම භික්ෂූන්, උන්වහන්සේ භාග්‍යවතුන්
වහන්සේ දැකීමට චාතුමා නුවරට පැමිණි බවත්, එහි පැමිණ පා සිවුරු තැන්පත් කරමින්
සේනාසන සකස් කරමින්, නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳරෙහි යෙදෙන විට උස් හා මහා ශබ්ද
ඇති වූ බවත් සැළකර සිටියහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, යව් ඔබ නෙරපමි. ඔබ මා
වෙත නොවැසිය යුතු ය” යි ප්‍රකාශ කරමින් එම භික්ෂූන් නෙරපා දමන්නට කටයුතු කළ බව
සූත්‍ර පිටකයේ මජ්ම නිකායේ භික්ඛු වග්ගයේ එන චාතුමා සූත්‍රයේ දක්වා ඇත.
ඉන් අනතුරුව චාතුමා නුවර ශාක්‍යයෝ සහ සහම්පතී බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ අස්වසා
එම භික්ෂූන් යළි උන්වහන්සේ වෙත පමුණුවන්නට කටයුතු කළ බවත්, භාග්‍යවතුන් වහන්සේ
ධර්මය දේශනා කර එම භික්ෂූන් පැහැදවූ බවත් එම සූත්‍රයේ සඳහන් ව ඇත.
ශබ්ද පූජාව
බෞද්ධයන් සිදු කරන පූජා අංගවලින් ශබ්ද පූජාව ද එකකි. බෙර ආදී තූර්ය භාණ්ඩ යොදා ගෙන
සිදුකරන මෙම ශබ්ද පූජා අංග ඈත අතීතයේ සිටම සිදුකරන ලද බව අටුවා හා වංශකතාවල පෙනී
යයි. ආපදාන පාළිය ආදියෙහි ද මෙවැනි ශබ්ද පූජා පිළිබඳ කතා කිහිපයක් ඇත. එසේ වුව ද,
බුදුරජාණන් වහන්සේ ශබ්ද පූජා අනුදැන වදාළ හෝ වර්ණනා කළ හෝ ස්ථානයක් ත්‍රිපිටකයේ
සඳහන් ව නැත.
වර්තමානයේ සාමාන්‍ය ධර්ම දේශනාවක සිට පිරිත් දේශනාවක් දක්වා ම ශබ්ද විකාශන යන්ත්‍ර
හා නවීන ශබ්ද තාක්ෂණික යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් කටයුතු කිරීම බෞද්ධයන්ගේ සිරිතක්
බවට පත්ව ඇත. ධර්ම ශ්‍රවණය හා පිරිත් ඇසීම යහපත් කාරණා වන මුත් එය තමා හට තරම් වන
පරිදි ඇසීම ප්‍රඥාගෝචර ය.
සියලු දෙනා අධික ශබ්දයෙන් සතුටු වන්නට ක්‍රියා කළ ද, පිළිවෙත් රකින බෞද්ධයන් ලෙස අප
මේ දෙස බැලිය යුත්තේ ප්‍රායෝගික ව බුද්ධ දේශනාවට අනුකූල ව ය. පෙර කාලයේ පිරිත් හෝ
බණ දේශනාවට හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකළ අතර, දහම් ඇසීමට කැමැත්තෝ එම ස්ථානයට
රැස් වී දහම් අසන්නට කටයුතු කළහ. එය නුවුමනා අය එලෙස සිටියහ. දැන් සිදුවන්නේ
නොකැමැති අස්ථානයේ සිටිනා අය හට ද බලෙන්ම බණ හෝ පිරිත් ශ්‍රවණය හෝ කරවන්නට සලස්වා
පීඩාවට පත් කිරීමකි. බෞද්ධයන් ලෙස අප සෑම විටම අවිචාරවත් නොවී, අන් අයට වඩා මානසික
සහකම්පනයෙන් යුතු ව කටයුතු කළ යුතු ය. දවස පුරාම රැකියාවේ නිරත වී පැමිණ සුව
නින්දකට සැරසෙන අසල්වැසියාට, නුදුරේ දී ම විභාගයකට මුහුණ දීමට සූදානම් වන අසල නිවසේ
දරු දැරියන්ට, විහාරස්ථානය අවට වෙසෙන අන්‍යාගමිකයාට, මහා ශබ්දයෙන් ඇසෙන පිරිත්
දේශනාවෙන් හෝ බණ, සෙත්කවි දේශනා හෝ ඇසෙනවිට යහපත් චේතනා ඇතිවන්නේ නැත. විශේෂ උත්සව
හා විනෝදකාමී අවස්ථාවල අධික ශබ්දයෙන් සතුටු වුව ද, නිවන සඳහා උපකාරී වන ධර්මය හා
පිරිත් දේශනා එලෙස ශ්‍රවණය කළ යුතු නැත. මෙවැනි දේ මුල් කරගෙන බොහෝ විට විහාරාරාම
අවට බෞද්ධ හා අබෞද්ධ අසල්වාසීන් අතර දුර දිග යන ගැටුම් ඇතිවන අවස්ථා එමට ය. එවැනි
නිෂ්ඵල ගැටුම් ඇති කර ගැනීම කොතරම් දුරට ප්‍රඥාගෝචර දැයි ශාසන හිතකාමී ධාර්මික ගිහි
පැවිදි දෙපිරිස ම සිතා බැලිය යුතු ය.
ධර්ම ශ්‍රවණයේ කුසලය
බොහෝ බෞද්ධයන් බණ ඇසීමත් විනෝද ක්‍රියාවක් බවට පත්කර ගෙන ඇති බව ද, මහ හඬින්,
මිහිරි හඬින් කරන දේශනා ද, අපහාස කරමින්, වර්ණනා කරමින් කියන විහිළු කතා ආදිය සහිත
බණ හොඳ බණ ලෙස ද, එලෙස වර්ණනා, අපහාස, විහිළු කතා ආදියෙන් තොර වූ ධර්ම දේශනා
ප්‍රතික්ෂේප කිරීමට ද කටයුතු කිරීම සංවේග ජනක බව රේරුකානේ චන්දවිමල මහා නා
හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ සටහන් කර ඇත.
මෑත කාලයේ ද බොහෝ දෙනා මෙය මෙලෙස ම පිළිපදින බව අපට දකින්නට ලැබේ. ධර්මය අසන විට
ධර්මය අවබෝධ කර ගැනීමේ අදහසින් ම මිස, වෙනත් කාරණා පෙරදැරි කරගෙන නෑසිය යුතු ය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති අංගුත්තර නිකායේ සීති වග්ගයේ සුස්සූසති
සූත්‍රයේ එන පරිදි පහත කරුණු සයකින් යුක්ත ව ධර්මය ශ්‍රවණය කරන තැනැත්තාට නිවන් මඟට
පැමිණීමට හැකි වෙයි.
බුදුරජාණන් වහන්සේ විසින් දන්නා ලද ධර්ම විනය දේශනා කරනවිට අසයි,
දෙසවන් හොඳීන් යොදවා අසයි,
ධර්මය ශ්‍රවණය කරන විට වෙනත් දේ සිතට නොගනියි ,
තේරුම් ගනිමින් ධර්මය අසයි,
තේරුම් විමසා බලයි,
පිළිවෙළින් ඉවසීමෙන් යුතු ව අසයි
මංගල සූත්‍ර දේශනාවේ එන පරිදි සුදුසු අවස්ථාවන්හි දී ධර්මය ඇසීම ද (කාලේන ධම්ම
සවනං), සුදුසු අවස්ථාවන්හි ධර්මය සාකච්ඡා කිරීම ද (කාලේන ධම්ම සාකච්ඡා), උතුම් මංගල
(යහපත්) කාරණා ලෙස දක්වා තිබේ. එමෙන්ම, සද්ධර්මය දේශනා කිරීම ද, ධර්මය ශ්‍රවණය
කිරීම ද (දෙසනා-සුති) දස පුණ්‍ය ක්‍රියාවලට අයත් පින්කම් දෙකකි. එසේ හෙයින්,
නිවැරැදි ව ධර්මය දේශනා කිරීම ද, ධර්මය ශ්‍රවණය කිරීම ද, උතුම් කාරණා ලෙස සැලකිය
යුතු ය. |