Print this Article


පුරපෑලවිය සඳ - 27 කොටස:

පුරපෑලවිය සඳ - 27 කොටස:

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

පැවිද්දන් දෙපළ පරිවේනාධිපති හිමියන් වැඳ ආපසු වැඩම කරන්නට සූදානම් වූ මොහොතේ බෲනෝ දොර ළඟ සිට පිටත බලා බුරන්නටත් ගොරවන්නටත් පටන් ගත්තේය.

කටුවා කෑ, රෝම හැලුණු තුවාල සහිත බල්ලෙක් ශාලාව ඈතින් පෙනේ. බෲනෝ බුරන්නේ ඌට ය. 

සියලු වැඩ නවතා එළියට වැඩම කළ පරිවේනාධිපති හිමියෝ නැමී කළුගල් කැබැල්ලක් අහුලා ගති.

නැගී සිටි උන්වහන්සේ එය බඩගින්නේ බැගෑපත්ව පැමිණෙමින් සිටි බල්ලා දෙසට ඉලක්ක කොට දමා ගැසීය.

එය වැදුණු අසරණ බල්ලා වේදනාවෙන් කෑගසමින් වලිගය දෙකකුල්  අතර රුවාගෙන දුවන්නට විය.

“ මහ ජරා බල්ලෝ, ඔවුන් මෙහේ ලගින්න පටන් ගත්තොත් මේ බෘනෝ පුතත් අසනීප වෙනවා. “

පරිවේනාධිපති හිමියෝ නන්ද හිමියන් දෙස බලා එසේ කීවේ තමන් සිදු කළ සත්ත්ව හිංසාව සාධාරණීකරණය කරන්නට ය.

කරුණාව නම් අනුන්ගේ දුකේ දී අනුකම්පාවෙන් යුතු වීම ය. සියල් සතුනට කරුණාව දැක්වීමත් භික්ෂුවකට තිබිය යුතු ගුණාංගයකි.

මේ සුනඛයන් දෙදෙනාගෙන් වඩා දුකට පත්ව සිටින්නේ කටුවා කෑ දිරාපත් වූ සුනඛයා ය. ඒ කරුණාව සැබෑ කරුණාවක් නම් එය වඩාත් යොමු විය යුත්තේ ඌ හට ය.

පරිවේනාධිපති හිමියන්ගේ වැඩි ලෙන්ගතුකම බෲනෝට ය. බෲනෝ උසස් වර්ගයක මිල අධික බල්ලෙකි.

එහි ඇත්තේ මානය සහ ලෝභය මිශ්‍ර බන්ධනයක් මිස කරුණාවක් නො වන බව නන්ද හිමියන්ට වැටහිණි.

විහාරස්ථානයට පැමිණෙන විට සවස බෝධි පූජාවත් ආරම්භ වී තිබිණි. 

එය මෙහෙයවන්නේ බුද්ධි හිමියන් විසිනි. උන්වහන්සේට තාලයට ලස්සනට කවි ගයන්නට පුළුවන්කම තිබේ. ඒ නිසා බුද්ධි හිමියන් බෝධි පූජාවට වඩිනවාට දායකයෝ කවුරුත් මනාප ය.

නන්ද හාමුදුරුවොත්, සාමණේරයෝත් ආවාසයට පිවිසුණේ ඒ ළයාන්විත බෝධි පූජා හඬ ද අසාගෙන ම ය.

ආවාසය ඉදිරියේ සිටි උස මහත ළමයෙක් ඉදිරියට පැමිණ පැවිද්දන් දෙස අමුතුවට බැලුවේ ය.

“ ඔයාලා කාව හම්බෙන්න ද ? “

පැවිද්දන් දෙපළ සිනාසී එය නෑසුන ගානට ආවාසයට පිවිසෙන්නට සැදූමුත් ළමයා ඊට කැමැත්තක් නැත.

“ඇතුළට යන්න නම් දෙන්ඩ බෑ.

හාමුදුරුවෝ මට කීවේ නො දන්න කාටවත් ඇතුළට එන්න දෙන්න එපා කියලා. ඔන්න නො කිව්වයි කියන්න නම් එපා...”

සංඝවාසයේ ද දොර වසා තිබේ. සමහර විට ලොකු ස්වාමින් වහන්සේ බැහැරට වැඩම කොට විය හැකි ය. බුද්ධි හාමුදුරුවෝ ද බෝධි පූජාවේ බැවින් සිදුවන්නේ කුමක් දැයි අසා දැන ගැනීමට කිසිවෙක් ද නැත. 

තරබාරු ළමයා කවරෙක් ද ?

මින් පෙර කිසි දිනක දැක නොමැති බැවින් මේ ප්‍රදේශයේ දරුවෙක් වන්නට නම් නොහැකි ය.  නමුත් භික්ෂූන්ට අයත් ආවාසයට භික්ෂූන්ට ම පිවිසෙන්නට ඉඩ නො දෙන්නේ මන්ද ?

“මුලින් ම කියන්නකෝ පුතා කවුද කියල ?..”

නන්ද හිමියන් අසන්නේ බොහෝම සන්සුන් වෙමිනි.

එහෙත් ළමයාගේ නම් සන්සුන් බවක් නැත. එසේම භික්ෂූන් වහන්සේය කියා විශේෂ ගෞරවයක් ද නැත.

භික්‍ෂූන් වහන්සේ සමඟ හරි හරියට කතාව ය. කතා කරන්නේ හරියට ගහගන්නට වාගේ ය. 

දමිත සාමණේරයන්ට නම් මේ බතලයා අල්ලන්නේ ම නැත. වඩාත්ම පේන්න බැරි නන්ද හාමුදුරුවන් ඉදිරියේ කිසිම ගරුසරුවක් නැති ව කතා කරන සැටි ය. 

නැවත වතාවක් නන්ද හිමියන් හිනැහී සාමණේරයන් සමඟ අවාසය තුළට වඩින්නට උත්සාහ කළත් ළමයා ඊට ඉඩ නුදුන්නේ ය. ඔහු එය වැළකීමට නන්ද හාමුදුරුවන්ගේ සිරුරට අත තබන්නට උත්සාහ කළේ ය.

ක්ෂණික ව ක්‍රියාත්මක වූ දමිත සාමණේරයෝ තරබාරු දරුවාගේ වම් කකුල පිටුපසට තම දකුණු කකුල දමා වැරෙන් බෙල්ලෙන් අල්ලා පිටුපසට තල්ලු කර දැම්මේ ය.

ළමයා විසිවී ගොස් බිම ඇද වැටුණේ ය. හැඬුම් ශබ්දය පන්සල දෙවනත් වන්නට ඇසේ. දවසක් හේනේ වලක වැටී සිටි කෙණරක් ද  ඇඬුවේ මෙසේ යැයි සාමණේරයන්ට සිතුණි.

සැතපී හුන් ධම්මාලංකාර හාමුදුරුවෝ හනි හනිකට වැඩම කළේ ය. 

පැවිද්දන් දෙස මොහොතකටවත් නො බැලූ උන්වහන්සේ වැටී සිටින ළමයා වෙතට ළං වූහ.

“මොකෝ සුදු බබෝ කෑගහන්නේ ? මොකක්ද උනේ ? “

ඒ වචන බෙහෙවින් දයාබර ඒවා ය. මින් පෙර මේ හිමියන් කිසිවකුට එසේ දයාබර ව අමතනවා නම් නන්ද හිමියන් ද දැක නැත.

මතු සම්බන්ධයි