සසුනඹර
එළිය කළ
සුපුන් සඳ
නුවරඑළියේ චන්දජෝති
මහ නාහිමියෝ
මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශ්වයේ මහානායක ධුරන්ධර
ප්‍රවචනකීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍රසූරී මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති
මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වසර 78ක් ආයු වළඳා පසුගිය දා අපවත් වී වදාළහ.
පුරාකෘත පුණ්‍ය මහිමය ඉස්මතු වී ආ නිසාවෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමට සිත් පහළ
ව වර්ෂ 1962 දෙසැම්බර් මස 13 වැනි දා විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා
විහාරාධිපති ව වැඩ විසූ ශාසනවංශාලංකාර විනයවිශාරද පණ්ඩිත නුවරඑළියේ ශ්‍රී
විමලබුද්ධි මහා නායක මාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් නුවරඑළියේ චන්දජෝති නමින්
ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය. උගත යුතු මූලික බණදහම් ස්වකීය ආචාර්යපාදයාණන්
වහන්සේ වෙතින් ලත් චන්දජෝති පොඩි හාමුදුරුවෝ පැවිදි අධ්‍යාපනය සඳහා විදුරුපොළ
පියතිස්ස පිරිවෙනට ඇතුළත් ව පාරිවේණික අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය
සඳහා වරම් හිමි කර ගත් අතර වර්ෂ 1973 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් (ශ්‍රී
ජයවර්ධනපුර) ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගෙන, වර්ෂ 1986 දී එම විශ්වවිද්‍යාලයෙන් ම
ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගන්නා ලදහ.
මේ වන විට පිරිපුන් 20 වස් සම්පූර්ණ ව උපසම්පදාර්හව සිටි චන්දජෝති පොඩිහාමුදුරුවෝ
වර්ෂ 1969 ජුලි මස 20 වන දින විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම විශුද්ධ බද්ධ සීමාමාලකයේ
දී නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ උඩුහාවර
මේධානන්ද, රූපහ සද්ධානන්ද, අලවතුගොඩ දේවරක්ඛිත යන නාහිමිපාණන් වහන්සේගේ
කර්මාචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.
තරුණ වියේ සිට ම භික්ෂු ආකල්පයන්ගෙන් පරිපූර්ණ වූ සංවර, සංයත ස්වරූපයක් උන්වහන්සේ
වෙතින් දිස්වන්නට විය. භික්ෂු ප්‍රතිපදාවට අදාළ ව සුසිල්වත් බවින් යුතු ව
නිරන්තරයෙන් කටයුතු කළ උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් උඩරට අමරපුර නිකායික
විනයවාදිනී කාරක මහා සංඝසභාව 2004 වසරේ දෙසැම්බර් 25 වන දින ස්ව නිකායේ අනුනායක
ධුරයෙන් ද, රාජකීය පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 2016
දෙසැම්බර් මස 25 වන දින මහානායක ධුරයෙන් ද සම්පූජනීයත්වයට පත් කළහ.
උඩරට අමරපුර මහා නිකායේ දියුණුව වෙනුවෙන් සහ ස්වකීය සඟ පරපුරේ පැවැත්ම වෙනුවෙන්
කටයුතු රාශියක් සිදු කරමින් පවතිද්දී නො සිතූ මොහොත උන්වහන්සේ රෝගී තත්ත්වයට
පත්වූහ. ඒ හේතුවෙන් කරගෙන ආ වැඩපිළිවෙළ අඩාළ විය. වසර කිහිපයක් අකර්මන්‍ය ව සිටි
උන්වහන්සේ 2026 ක්වූ ජනවාරි මස 13 වැනි දින සිහිනුවණින් යුතුව අපවත් වී වදාළහ. මහා
නාහිමිපාණන් වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා’ යි ප්‍රාර්ථනා කරමි.
විද්‍යානිධි පණ්ඩිත
අම්බලන්ගොඩ සුමේධානන්ද නාහිමි |