පිරිසුදු පියවරින් සිරිපා කරුණාව උපනූපන් මතු පරපුර උදෙසා ය
සමන්තකූට පර්වත ප්‍රාන්තය වනාහි හුදෙක් වන්දනාමානයට පමණක් සීමා වූ පූජනීය භූමියක්
නොවන්නේ, එය දැයේ හදවත බඳු වූ මහා ජල පෝෂක ප්‍රදේශයක් ද වන බැවිනි.
එසේ ම, දුර්ලභ ජීවීන් රැසකගේ ස්වභාවික නිවහනක් වන ශ්‍රී පාදස්ථානය, මීදුම් සළුවෙන්
වැසුණු නිල්වන් කඳු පන්ති මධ්‍යයේ විරාජමාන වන ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති පූජනීය
වන්දනාමානයට පාත්‍ර වූ පින්බර භූමියකි. බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකා ද්වීපයට
වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමන්තකූට පර්වත මස්තකයේ
පිහිටුවන ලද සිරි පා සටහන, වසර දෙදහස් ගණනක් පුරා මෙරට ජනතාවගේ අපිරිමිත ශ්‍රද්ධාවට
පාත්‍ර ව ඇත. එදා රජවරු පවා පාද චාරිකාවෙන් සිදුකළ එම දුෂ්කර වන්දනාව, අද වන විට
ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ වාර්ෂික ආධ්‍යාත්මික චාරිත්‍රයක් බවට පත් ව තිබේ.
එබැවින්, මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන ඔබ, ප්ලාස්ටික්වලින් තොර ‘හරිත වන්දනාවකට’
එක්වීම සොබාදහමට පමණක් නොව, බුදුදහමට අනුව ද උතුම් ප්‍රතිපත්ති පූජාවක් වන්නේ ය.
බුදුදහම යනු සොබාදහම සමඟ අතිශයින් ම බද්ධ වූ දහමකි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය,
අභිසම්බුද්ධත්වයට පත්වීම මෙන් ම මහා පිරිනිවන යන උතුම් අවස්ථා ත්‍රිත්වයම සිදුවූයේ
නිස්කලංක රුක් සෙවණේ ය. ගහ කොළට පවා කරුණාව දැක්වූ උන්වහන්සේ, ගසක් සිටුවීම පවා
දිවා රාත්‍රී පින් වැඩෙන පින්කමක් ලෙස වදාළ සේක. තමන්ට සෙවණ දෙන ගසක අත්තක් පවා
බිඳීම මිත්‍ර ද්‍රෝහිකමක් ලෙස සැලකූ බුදුරජාණන් වහන්සේ, ‘වනරෝප සූත්‍රය’ වැනි
දේශනාවලින් පරිසරය රැකීම නිවන් මඟට දායක වන අයුරු පැහැදිලි කළ සේක. එබැවින් මුනි
සරිපා වඳින්නට යන සැදැහැවත් ඔබෙන් එම පූජනීය පරිසරයට හානියක් සිදු නොවිය යුතු අතර,
පොදු ජල මූලාශ්‍ර අපවිත්‍ර නොකිරීම ද බෞද්ධ විනයෙහි පවා දැක්වෙන ප්‍රධාන ශික්ෂණයකි.
කෙසේ වෙතත්, පසුගිය වන්දනා සමයන්හි අප මුහුණ දුන් අමිහිරි යථාර්ථය වන්නේ, මිනිස්
නොසලකා හැරීම් නිසා මෙම පින්බිමට සිදුව ඇති අතිමහත් විනාශය යි. වාර්තාවලට අනුව, එක්
වන්දනා සමයක දී පමණක් සිරිපා අඩවියෙන් ඉවත් කරන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් කවර සහ
දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 10 සිට 20 දක්වා අධික අගයක් ගනී.
ප්ලාස්ටික් සොබාදහමේ සතුරෙකි. වසර සිය ගණනක් පුරා පසට දිරා නොයන මෙම අපද්‍රව්‍ය
මඟින් පස, ජලය සහ වන සතුන්ගේ ජීවිත අනතුරට පත් කරයි. ප්ලාස්ටික් සහ පොලිතින් පසට
එක්වීම නිසා ජලය බැසයාම අවහිර වී නායයෑම් අවදානම වැඩිවන අතර, වන සතුන් මේවා ආහාරයට
ගැනීම නිසා අකාලයේ මියයන අවස්ථා ද වාර්තා වේ. එමෙන් ම මහවැලි, කැලණි වැනි ප්‍රධාන
ගංගාවල සමාරම්භක දිය දහරාව ප්ලාස්ටික් අංශුවලින් දූෂණය වීම මුළු රටේම ජනතාවගේ
සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වී තිබේ.
මෙම පාරිසරික අර්බුදය හඳුනාගනිමින්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙවර සිරිපා
වන්දනා සමයේදී විශේෂ මැදිහත්වීමක් සිදු කරයි. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන
සංකල්පය යථාර්ථයක් කළ හැක්කේ අප වටා ඇති පරිසරය පිරිසිදු ව තබා ගැනීමෙන් පමණි.
ජාතියේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය මෙන් ම භෞතික පිරිසිදුකම ද එකසේ වැදගත් බව මෙම
වැඩපිළිවෙළ අවධාරණය කරයි. මේ වන විට සිරිපා අඩවිය තුළ ප්ලාස්ටික් සහ පොලිතීන්
භාවිතය සම්බන්ධයෙන් දැඩි තහනමක් පනවා ඇති අතර, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ
මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට සහාය දීම
බැතිමතුන්ගේ පරම වගකීමකි.
සැබෑ ශ්‍රද්ධාවන්ත වන්දනාකරුවකු ලෙස සිරිපා අඩවියට පා තබන ඔබ සතු උත්තරීතර වගකීමක්
වන්නේ එම පරිසරයේ පාරිශුද්ධත්වය රැක ගැනීමයි. ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත නැවත
භාවිත කළ හැකි වීදුරු හෝ ලෝහමය හෝ ජල බෝතල් භාවිත කිරීම හුදෙක් පහසුවක් නොව,
සොබාදහමට ඔබ දක්වන ගෞරවයේ ද සංකේතයකි. ඔබ රැගෙන යන ආහාර පාන සඳහා පොලිතින් කවර
වෙනුවට රෙදි බෑග් හෝ කෙසෙල් කොළ වැනි ස්වභාවික ද්‍රව්‍ය තෝරා ගැනීමෙන්, දහස් ගණනක්
සතුන්ගේ ජීවිත අකාලයේ විනාශ වීම වැළැක්වීමේ මහා කුසලයට ඔබ හිමිකම් කියනු ඇත.
සිරිපා කරුණාව යනු ශීලයෙන් සන්නද්ධ ගමනක් බැවින්, ඔබ රැගෙන යන කිසිදු අපද්‍රව්‍යයක්
පරිසරයට මුදා නොහැර නැවත රැගෙන ඒමට තරම් ආත්ම දමනයක් සහ විනයක් ප්‍රගුණ කිරීම ඔබේ
පරම යුතුකමකි.
වන්දනාව යනු හුදෙක් කන්දක් නැඟ පඬුරු පූජා කිරීම පමණක් නොවේ. එය ශීලයෙන්, සමාධියෙන්
සහ ප්‍රඥාවෙන් පෝෂණය වූ වන්දනාවකි. ඔබ සිරිපා කරුණාවේ දී එම පූජනීය පරිසරයට දක්වන
ආදරය, බුදුරජාණන් වහන්සේට දක්වන උතුම් ප්‍රතිපත්ති පූජාවක් වනු ඇත.
පිරිසිදු පරිසරයක් යනු පිරිසිදු සිතක් ඇති කිරීමට මහෝපකාරී වන්නකි. අපි මෙවර සිරිපා
වඳීන්නේ මතු පරපුරටත් මේ පින්බර පූජනීය භූමිය එහි සුන්දරත්වයෙන් ම උරුම කර දීමේ
අදිටනින් යුතුව ය. "පොහොසත් රටක්" නිර්මාණය කිරීමේ අත්තිවාරම ඔබ තබන පිරිසිදු
පියවරක් පාසා සනිටුහන් වන අතර, සොබාදහම සුරකිමින් සිදුකරන සිරිපා කරුණාව ඔබ සැමට
මහා පිනක් මෙන්ම සැනසීමක් ද ගෙන දෙනු ඇත.
මාධ්‍ය අංශය
ක්ලීන් ශී‍්‍ර ලංකා
ලේකම් කාර්යාලය |