කරැ පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
ආර්.එම්.ජී. සේනාරත්න

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්
අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් 8 වැනි මස වෙසක් පුර පසළොස්වක පෝ දිනක
තෙවැනි වරට ලංකා ද්වීපයට වැඩම කළ බව වංශකතාව සඳහන් කරයි.
එම විස්තරයට අනුව බුදුන් වහන්සේ එදින කල්‍යාණ (කැලණි) නදියෙන් දිය සැනහී දහවල් දානය
වළඳා සන්ධ්‍යා භාගයේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනොළ කඳු මුදුන මත වාම
ශ්‍රීපාද ලාංඡනය පිහිටු වූ බව ද, තව දුරටත් එම වංශකතාව සඳහන් කරයි.
මෙම පා සටහන් පිහිටි කන්දේ නම සමන්තකූට වන බව පැහැදිලි ය. සමන්ත යනු සියලු යන්නයි.
කූට යනු කඳු මුදුනයි. හාත්පස ම කඳු මුදුන් පිහිටි හෙයින් සමන්තකූට වූ වා විය හැකිය
යි සිතිය හැක. සුමන දෙවියන් වසන ස්ථානය යන අර්ථයෙන් සුමන කූට, සමන්තකූට , සමනොළගිරි
යනුවෙන් සිංහලයට බිඳී ආ බව ද ඇතමකුගේ අදහසයි. මයුර, සැළලිහිණි ආදී සංදේශ කාව්‍යවල
සමනොළගිරි යන වචනය යෙදී ඇත්තේ ශ්‍රීපාදස්ථානය හැඳින්වීම සඳහා ය. සැළලිහිණි
කතුවරයාගේ ශ්‍රීපාදස්ථානය පිළිබඳ පහත වර්ණනාවෙන් ඒ බව තහවුරු වේ.
සුරරද සමන් සමඟින් සුරඟන එවර
පහැ නද මදාරා පරසතු මල් පවර
කරැපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සෙමනොළ ගල නැඟෙන හිර
ශ්‍රී පාදය සොයා ගැනීම පිළිබඳ ඓතිහාසික පුවත් හා ජනප්‍රවාද රාශියක් පවතී. මිහිඳු
හිමි දවස සිරිපතුල සොයා ගත්බවට විශ්වාසයක් පවතී.
සමන්මල් පෙරහර අතීතයේ ශ්‍රීපාදය කේන්ද්‍ර කර ගෙන උඳුවප් පෝය දිනෙන් ඇරඹී, වෙසක් පෝය
දිනෙන් අවසන් වූ බව කියැවේ.
ඓතිහාසික පුරාවෘත්ත අනුව සමනොළ කන්දේ ශ්‍රීපාද ලාංඡනය ප්‍රථමයෙන් සොයා ගත්තේ
ක්‍රි.පූ. 104 වට්ඨගාමිණි අභය රජතුමා බව සඳහන් ව ඇත. මෙම පුරාවෘත්තය විලියම් ස්කින්
මැතිතුමා රචිත ග්‍රන්ථයක සටහන් ව ඇත. වසර 14ක් වනගත ව සිටි වළගම්බා රජතුමා මුවෙක්
පසුපස හඹායන අතරමඟ දී ශ්‍රී පාද ලාංඡනය දැක එම පූජනීය වස්තුව යකඩ වැටකින් ආවරණය කළ
බව සඳහන් වෙයි. ක්‍රි.ව. 1153, 1වැනි පරාක්‍රමබාහු රජතුමා ද පොළොන්නරුවේ
නිශ්ශංකමල්ල රජතුමා ද දඹදෙණියේ දෙවැනි පැරකුම් රජතුමා ද සිරිපා වන්දනාවේ ගිය බවත්,
නීතිගත පුද පූජා පැවැත්වූ බවත් වංශ කතාවල දැක්වේ.
ක්‍රි.ව. 1340 මැජිගෝ නම් ඉතාලි ජාතික තානාපතිවරයෙක් ද සමනොළ ගිර තරණය කළේ ය.
ක්‍රි.පූ. 327 ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජු පවා සමන්ගිර තරණය කළ බව
කියයි. ඉබන් බතූතා, මාර්කෝපෝලෝ, ෆාහියන් වැනි දේශාටකයින් ද ශ්‍රීපාදය වන්දනාමානයට
පැමිණ ඇත.
ලංකාව ගැන ඉතිහාස ග්‍රන්ථයක් ලියන එමර්සන් මැනන් එහි ශ්‍රීපාදය ගැන තොරතුරු සඳහන්
කොට ඇත. ප්‍රසිද්ධ රසායන විද්‍යාඥයකු වන සර් හම්පි‍්‍ර ඩේවිගේ සහෝදරයකු වන ජෝන්
ඩේවි, 1817 දී, ශ්‍රී පාද කන්ද මුදුනට ම තරණය කොට ඇත. කඳු මුදුනේ දී, ගලෙහි කැටයම්
කරන ලද මැණික් ගල් ඔබ්බවන ලද, පිත්තලවලින් අලංකෘත කරන ලද සාමාන්‍ය මිනිස් පාදයකට
වඩා තරමක් විශාල පාද ලාංඡනයක් හමු වූ බව ඔහුගේ වාර්තාවල සඳහන් වේ. රාවණා රජු එකල
ලංකාව පාලනය කරන සමයෙහි සිය අගනුවර තුළ පිහිටි ත්‍රිකූඨ පර්වතය ලෙස හඳුන්වා ඇත්තේ
මෙම ශ්‍රී පාදය බව ද පුරාවෘතවල සඳහන් වේ.
පොළොන්නරු යුගයෙන් පසු යුගය ශ්‍රී පාදය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ව පැවැති බවට
සාධක එමට ය. ක්‍රි.ව. 1554 - 1593 සීතාවක 1වැනි රාජසිංහ රජතුමා ශිව ආගම වැළඳගෙන
භික්ෂූන්ට හිරිහැර කළා පමණක් නොව ශ්‍රී පාදයේ භාරකාරත්වය හා පාලනය භික්ෂූන්ගෙන්
ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවරීය.
එතැන් සිට ශත වර්ෂ 1 1/2ක් පමණ ශ්‍රී පාදයේ භාරකාරත්වය හා පාලනය බමුණු සන්නාසියන්
අත පැවතිණි. ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ශ්‍රී
පාද පුදබිම යළිත් බෞද්ධයන් අතට පත්කරන ලදී. අසරණ සරණ සරණංකර හිමිපාණන්ගේ
මාර්ගෝපදේශකත්වය හා අනුශාසකත්වය පෙරදැරි ව යළිත් සිරිලක උපසම්පදාව ස්ථාපිත කිරීමට
කටයුතු කළේ ය. ශ්‍රී පාදයේ භාරකාරත්වය ද රජතුමා සන්නස් පත්‍රයකින් උන්වහන්සේට
පිරිනමා ඇත.
රාජාධිරාජසිංහ රාජ්‍ය යුගයේ දී ශ්‍රී පාදයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදී. ඒ
අනුව ඓතිහාසික ලේඛන පරීක්ෂා කිරීමේ දී මඩගම්මන තෙරුන් වහන්සේ, වැලිවිට සරණංකර
සංඝරාජයන් වහන්සේ, වේහැල්ලේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ, කඹුරුපිටියේ සඟිධර
ගුණරතන ස්වාමීන් වහන්සේ, මාලිම්බඩ ධම්මධර නායක ස්වාමින් වහන්සේ ආදි කොට ඇති
ස්වාමීන් වහන්සේ 20 නමක් පමණ මෙම උතුම් ශ්‍රී පාදස්ථානයේ අධීපති පදවිය හොබවා ඇත.
ශ්‍රී පාදස්ථානාධිපති පදවිය ඉතා ගෞරවනීය පදවියකි. පහත රට මහානායක පදවියක් සේ සලකා
ඇති අතර එය මල්වතු මහා විහාරයේ මහානායක පදවියට පමණක් දෙවැනි වන පදවියකි. එනිසා ම
රටෙහි රජතුමා අතින් පමණක් මෙම පදවිය පිරිනමා ඇත.
ඉංගී‍්‍රසීන් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගැනීමෙන් පසුවත් ඉපැරැණි
චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුගත ව ශ්‍රී පාදස්ථානාධිපති පදවිය පිරිනැමුව ද භික්ෂූන්
වහන්සේ අතර ඇති වූ අවුල් වියවුල් හේතුවෙන් 1853 - 4 - 4 අංක දරණ අතිවිශේෂ ගැසට්
පත්‍රය මඟින් රත්නපුර දිසාවේ වේහැල්ලේ ධම්මදින්න සංඝ පරම්පරානුයාත උපසම්පදා
භික්ෂූන් වහන්සේගේ ඡන්දයෙන් එම පදවිය සඳහා සුදුස්සකු පත්කර ගැනීමට නියම කරන ලදී.
ශ්‍රී පාදස්ථානයේ චන්දනා වාරය සෑම වර්ෂයක ම උඳුවප් පුර පසළොස්වක පෝදායින් ආරම්භ වන
අතර, වෙසක් පුර පසළොස්වක පොහොයෙන් අවසන් වේ. ඕනෑම අයකු ජීවිතයේ එක් වරක් හෝ
ශ්‍රීපාදය වැඳපුදා ගත යුතු බව පැරැන්නන්ගේ මතය විය. ඒ නිසා ම තම ජීවිත ආසාවන් පවා
හැර දා ශ්‍රීපාදය වැඳපුදා ගැනීමට කටුක ගමන් මාර්ග ඔස්සේ ගමන් කළ බව අසා ඇත. තුන්
සරණය කියමින් අපේ අතීත වැඩිහිටියන් වෙහෙස මඟහරවා ගනිමින් අපමණ සැදැහැ බැතියෙන්
සිරිපා වන්දනා කළත් අද එය ඇතැමුන් විනෝද ගමනක් කර ගෙන ඇති බවක් පෙනේ. ජීවමාන
බුදුරදුන් දකින්නට යනවා හා සමාන සිතුවිල්ලක් ඇතිකර ගෙන ගමන් කළ යුතු වුවද එම
සිතුවිලි බොහෝ දෙනාගෙන් බැහැර වී ඇත. පරිසරය පිළිබඳ ව ද කිසිදු හැඟීමක් නොමැති ව
ගමන් කරති. එනිසා මේ උතුම් පූජනීය ස්ථානයන්හි ගෞරවය සදා සුරැකෙන පරිදි කටයුතු කිරීම
අපේ වගකීමයි. |