Print this Article


සුපසන් සිතිවිලි පුරවා හදබිම - නමදිමු පිවිතුරු සිරිපා පුදබිම

සුපසන් සිතිවිලි පුරවා හදබිම - නමදිමු පිවිතුරු සිරිපා පුදබිම

සිරිපා අඩවියේ ‘සමනොළ කන්ද’ සංවේදී පරිසර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ තිරසාර වැඩ පිළිවෙළක් ලෙස ‘සමනොළ සිරි - හරිත වන්දනා’ වැඩසටහන පසුගිය නොවැම්බර් මස ආරම්භ කෙරිණ. පරිසර හිතකාමී ලෙස වන්දනාකරුවන් හා බැතිමතුන් සඳහා පහසුකම් ප්‍රවර්ධනය කිරීම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි.

ප්‍රථම අදියරේ දී, සිරිපා අඩවියේ මළුව අවට ප්‍රදේශය හා හෙළ ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට එක්රැස්ව පැවති කසල තොගයක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉවත් කිරීමට පියවර ගැනිණ. මෙම දුෂ්කර මෙහෙයුමේ දී ප්ලාස්ටික්, පොලිතීන් හා නොදිරන අපද්‍රව්‍ය මෙන්ම දිරන අපද්‍රව්‍ය කිලෝ 5697ක් නල්ලතන්නිය ප්‍රදේශයට රැගෙන ඒමට හැකි විය. පසුව ඒවා වෙන්කොට ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගනු ලැබීය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, මස්කෙළිය හා නෝර්වුඩ් ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීය. විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ ‘ඒකාබද්ධ ශ්‍රම මෙහෙයුම’ මෙහිදී විශේෂ දායකත්වයක් සැපයීය.

2025- 2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම මෙම සංවේදී පරිසර පද්ධතිය පොලිතීන් හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනේ දී, මහගිරිදඹ අසල නාය ගිය පස්කන්ද හා සීත ගඟුලට නුදුරු ප්‍රදේශයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කොට නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගය විවෘත කිරීම ද සිදු කෙරිණ.

එහිදී සමන්දේව ප්‍රතිමාව වැඩමවීමට පහසුකම් සැපයිණ. මීට අවශ්‍ය සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ලදී. ඉදිකිරීම්, ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබූහ. මේ අනුව අඩි 300ක් දිග, මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් හා ආරක්ෂිත බැම්මක් ඉදිකරනු ලැබීය. තවද වන්දනාකරුවන්ගේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මාර්ගයේ අත්වැල් සවි කිරීම ද සාර්ථක ව නිම කෙරිණි.

පළමු අදියර ක්‍රියාත්මක කළ සමයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවේ අයහපත් කාලගුණ තත්ත්වය සිරිපා මලුව හා නල්ලතන්නිය ප්‍රදේශයට දැඩි ලෙස බලපෑ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ සහාය ලැබිණ.

ජාතික උරුමයක් වන සිරිපා අඩවියේ සංවේදී පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙ මඟින් මූලික අඩිතාලම සකස් කෙරිණ.

මීට අමතරව එහි දෙවෙනි අදියර ලෙස 2026 පෙබරවාරි 17දා දෙදහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත. ඊට රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව හා පොලිසීය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , පෞද්ගලික අංශය, සිවිල් හා ස්වේච්ඡා සංවිධානවල සහාය ලැබේ. මෙය රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වය මත සිදු කෙරෙන ව්‍යාපෘතියකි.

මෙහිදී ඒකාබද්ධ ශ්‍රමදාන වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සඳහන් පුවරු පූජා භූමියේ හා තෝරාගත් සථාන කිහිපයක සවි කිරීම, මාර්ග බාධක අසල නියාමන කුටි ස්ථාපනය, කසළ කළමනාකරණ පහසුකම් වැඩි දියුණු කිරීම, ආහාරපානවල සෞඛ්‍යාරක්ෂාව වැඩි කිරීම, සෞඛ්‍ය හා ප්‍රථමාධාර පහසුකම් ප්‍රවර්ධනය, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, පානීය ජල පහසුකම වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම දෙවෙනි අදියර යටතේ සිදු කිරීමට නියමිත ය. එමෙන්ම ප්‍රජාශාලා හා අම්බලම් ප්‍රතිසංස්කරණය කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරේ. ඒකාබද්ධ ශ්‍රමදානයට සහභාගී වන 2000ක පිරිසකට අවශ්‍ය ආහාරපාන හා ඖෂධ මෙන් ම, වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් නොමිලේ ලබා දීමට ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය පියවර ගෙන තිබේ.

නල්ලතන්නිය මාර්ගයේ සිට සීත ගඟුල දක්වා ස්ථාපනය කර ඇති ජල සැපයුම් පද්ධතියේ ජල ප්‍රභවයේ සෞඛ්‍යාරක්ෂිත බව පරීක්ෂා කිරීමට හා එය පුවරු මඟින් ප්‍රදර්ශනය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එකඟතාව පළ කොට තිබේ. සිරිපා මළුවට පොලිතීන් හා ප්ලාස්ටික් රැගෙන යාම සීමා කිරීමටත්, රැගෙන යන අපද්‍රව්‍ය ආපසු රැගෙන ඒමට වෙළඳ ප්‍රජාව හා වන්දනාකරුන් මෙහෙයවීමටත් ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

නිසි අධීක්ෂණයක් හා කළමනාකරණයක් යටතේ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන දක්වා යොමු වන පරිදි පළමු අදියරේ දී ක්‍රියාත්මක කළ වැඩසටහන තවදුරටත් අදාළ පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

ප්ලාස්ටික් හා පොලීතීන් භාවිතය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය 2026 වර්ෂයේ දී නව රෙගුලාසි හා සීමා ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව වෙළෙඳසල්වල භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණයට විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

‘සමොනොළ සිරි - හරිත වන්දනා’ ක්ලීන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ජාතික වැඩසටහන යටතේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය සඳහා වූ නියාමනය, දැනුවත් කිරීම, වැටලීම් හා පනවා ඇති රෙගුලාසි ප්‍රකාර ව අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පියවර ගැනීමට නියමිතයි.

මේ යටතේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අභිප්‍රායයි.

විදේශිකයින් සඳහා ද දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත.

දිවයිනේ සියලු විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන වෙත වන්දනා නඩ හා බැතිමතුන් දැනුවත් කිරීම සඳහා මාර්ගෝපදේශ සහිත ලිපියක් ලබා දීමට ද යෝජිතයි. දුම්රිය හා බස්රථ සඳහා ඒකාබද්ධ සැලැස්මක් මඟින් සැදැහැවතුන් හා බැතිමතුන් පුදබිම වෙත පහසුවෙන් ප්‍රවේශ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ස්ථිර ක්‍රමෝපායක් ඔස්සේ සකස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී පාද මලුවට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග බාධක අසල ප්‍රමිතියෙන් යුතු නියාමන කුටි ස්ථාපනය කෙරෙනු ඇත. සිරිපා අඩවියේ නායයාම් නිසා මතුවන ලද කසල තොගය වෙන් කොට කඩිනමින් ඉවත් කිරීමට වැඩසටහනක් ද සකස් කිරීමට යෝජිත ය. ඒ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හා තවත් ආයතන කිහිපයක සහාය ලබා ගැනේ.