දුගඳ දිවියක අමිහිර
ගෞරව ශාස්ත්‍රවේදී,
රාජකීය පණ්ඩිත
හල්මිල්ලකුලමේ සුජාතඤාණ හිමි
සංසාර දුක පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැතිකම හේතු කොට ගෙන සත්වයා පඤ්චකාමයන්
පසුපස ලුහුබැඳ ගොස් අකුසල් රැස්කරනු ලැබේ.
නොමැරෙන මිනිසුන් ලෙස සිතා කටයුතු කළත්, අමරණීය සත්වයෝ ලොව නැත. කුසල් - අකුසල්
පිළිබඳ හෝ මෙලොව පරලොව පිළිබඳ ව හෝ හැඟීමක් නො මැතිකම නිසා ම පාපයට බරව කටයුතු කරන
අතර, අකුසලයේ විපාක පිළිබඳ තැකීමක් නොමැත.
අකුසල් සහගත කාය, වචී, මනෝකර්ම සිදුකරන පුද්ගලයා අපවිත්‍ර වූ දුගඳ හමන සොහොනකට උපමා
කළ දේශනාවක් ලෙස අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ඇතුළත් සීවථික සූත්‍රය පෙන්වා දිය
හැකි ය. සොහොනක දැකිය හැකි කරුණු පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය තුළ
පෙන්වා දෙන අතර, එම සොහොන් ලකුණුූ පහ අකුසල් සිදු කරන පුද්ගලයකු තුළ විද්‍යමාන වන
බව දේශනා කර ඇත. සොහොනක දැකිය හැකි ලක්ෂණ පහක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ මෙලෙස
පෙන්වා දී ඇත.
අපවිත්‍ර වේ (අසූචි)
දුර්ගන්ධ වේ (දුග්ගන්ධා)
බිය උපදවයි (සප්පටිභයා)
අමනුෂ්‍යයන්ට වාසස්ථාන වේ (වාළානං අමනුස්සානං ආවාසො)
බොහෝ ජනයා අඬන තැනක් වේ (බහුනො ජනස්ස ආරොධනා)
සොහොනක දැකිය හැකි පළමු කාරණාව වනුයේ සොහොන අපවිත්‍ර ය. මෙහිදී මෙම උපමාව ගළපා
ගැනීම සඳහා බුද්ධකාලීන අමුසොහොන් පිළිබඳ දැනුවත්විය යුතු ය. යම් පුද්ගලයකු මරණයට
පත්වීමෙන් අනතුරුව රෙදි කැබැල්ලක ඔතා අමු සොහොනට ගෙනැවිත් දැමීම එකල සිරිත විය.
එලෙස ගෙනවිත් දමා තිබෙන මෘත දේහ තැනින් තැන කුණූු වෙමින් ඕජස් ගලමින් පවතින අතර,
එබැවින් එකල සොහොන් බිම අපවිත්‍ර විය. එම අයුරින් ම සමාජය තුළ ජීවත්වන පුද්ගලයෙක්
ක්‍රියාත්මක වීමේ දී කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්ම අපවිත්‍ර නම්, ඔහු සොහොනක්
අපවිත්‍ර ලෙස ම අපවිත්‍ර පුද්ගලයකු ලෙස සැලකිය යුතු ය. පුද්ගලයකු අපවිත්‍ර වන කාය,
වචී, මනෝකර්ම මෙලෙස පෙන්වාදිය හැකි ය.
කයෙන් සිදුවන අකුසල්
ප්‍රාණඝාතය (පණ ඇති සතුන්ගේ දිවි තොර කිරීම)
අදත්තාදානය (නොදුන් දෙය සොර සිතින් ගැනීම)
කාම මිච්ඡාචාරය (සේවනය නොකළ යුතු ස්ත්‍රියක් හෝ පුරුෂයකු සමඟ කායික සේවනය)
වචනයෙන් සිදුවන අකුසල්
මුසාවාදය (අසත්‍ය ප්‍රකාශ හෝ ඇඟවීම් කිරීම)
පිසුනාවාචය (දෙදෙනෙක් හෝ පිරිසක් අතර අසමගිය ඇතිකරන වචන භාවිතය)
පරුෂ වචන (ඇසූවන් පි‍්‍රය නො කරන රළු වචන කීම)
සම්පප්ඵලාපය (කියන - අසන දෙපක්ෂයම ප්‍රයෝජනවත් නොමැති හිස් වචන කතා කිරීම)
සිතෙන් සිදුවන කර්ම
අභිජ්ඣාව (අන්සතු වස්තු තමන් සතු කර ගැනීමේ දැඩි ආසාව)
ව්‍යාපාදය (තමන් හා විරුද්ධයන් විනාශ වීමේ කැමැත්ත)
මිථ්‍යාදෘෂ්ටිය (කර්මය, කර්මඵලය හා තෙරුවන් පිළිබඳ මෙන්ම නිවන පිළිබඳ වැරැදි මත
ඇදහීම)
සොහොනක දැකිය හැකි දෙවන ලක්ෂණය වනුයේ සොහොන් බිම දුගඳ ය. එලෙස ම අපවිත්‍ර වූ කාය
කර්ම, වචී කර්ම, මනෝ කර්මයන්ගෙන් යුක්ත පුද්ගලයා දුගඳ හමනසුලු ය. එනම් වැරැදි සහගත
ජීවන පැවැත්ම හේතු කොට ගෙන ඔහු පිළිබඳ සමාජය තුළ ලාමක අපකීර්තියක් පැතිර යයි. එය
සොහොනක දුගඳ හමන බවට සමාන ය.
සොහොන් බිමක දැකිය හැකි තෙවන කාරණාව වනුයේ බිය උපදවන ස්වරූපය යි. පුහුදුන්
පුද්ගලයන් බියට පත්කරවන සොහොන් බිම කිසි කෙනකු යාමට කැමැති ස්ථානයක් නො වූවත් යම්
දිනක අප කවුරුත් යා යුතු ම ස්ථානයකි. සොහොන බිය උපදවන බව පුද්ගල ඇසුරින් පැහැදිලි
කරනුයේ අයහපත් කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුක්ත පුද්ගලයා යහපත් කාය කර්ම, වචීකර්ම,
මනෝ කර්ම සිදුකරන පුද්ගලයන් විසින් තම ඇසුරින් බැහැර කරවන බවයි. එය සොහොනෙහි බිය
උපදවන බවට සමාන ය. එනම් යම් පුද්ගලයකු සත්පුරුෂ, නිවැරදි පුද්ගලයන් ඇසුරින්
බැහැරවීම ඔහුගේ පිරිහීමට හේතුවක් වන බැවිනි.
සොහොනක දැකිය හැකි හතරවැනි කාරණය වනුයේ අමනුෂ්‍යයන් හට වාසස්ථානයක් ලෙස සොහොන් බිව
පැවතීම ය. එය උපමා කොට ඇත්තේ අයහපත් කිලිටි කාය, වචී, මනෝ කර්ම සිදුකරන පුද්ගලයන්
එවැනි ම අයහපත් හැසිරීමෙන් යුතු පුද්ගලයන් හා එකතු වන බව ය. එනම් කසළ - කසළ හා
අසූචි - අසූචි හා පැහෙන්නාක් සේ ය.
සොහොන තුළ දැකිය හැකි පස්වැනි කාරණය වනුයේ බොහෝ දෙනකු දුක, ශෝකය, කඳුළු උපදවන
ස්ථානයක් වීම ය. එනම් තමන්ගේ පි‍්‍රයතමයන් වෙන් කරවූ ස්ථානයක් හෙයින් පුහුදුන්
පුද්ගලයන්හට සොහොන සිත රිදවන, කඳුළු උපදවන ස්ථානයකි. එමෙන්ම අයහපත් කාය, වචී, මනෝ
කර්ම රැස්කරන පුද්ගලයන් පිළිබඳ යහපත් කාය, වචී, මනෝ කර්ම සිදුකරන සත්පුරුෂයන්
දැනගත් පසු මෙවැනි පාපී පුද්ගලයන් සමඟ අපට ඇසුරු කරන්නට සිදුවුණා නේදැ’ යි සිතා
ශෝකයට පත්වීම එම උපමාවෙන් පැහැදිලි කෙරේ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ඇතුළත් මෙම
සීවථික සූත්‍රය තුළ පැහැදිලි කෙරෙන අපවිත්‍ර වූ කාය, වචී, මනෝ කර්මවලින් ඈත්වී
පිරිසුදු කාය, වචී, මනෝ කර්ම සිදුකිරීමට සැවොම අධිෂ්ඨාන කරගත යුතු ය. |