Print this Article


කළගුණ නොදත් අසත්පුරුෂයන් ඇසුරට නොගත යුතුයි

කළගුණ නොදත් අසත්පුරුෂයන් ඇසුරට නොගත යුතුයි

“ද්වේ මේ භික්ඛවේ පුග්ගලා
දුල්ලභා ලෝකස්මිං
කතමේ ද්වේ, යොච පුබ්බකාරී
යොච කතඤ්ඤු කතවේදී”

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දී වරක් භික්ෂූන් අමතා, මහණෙනි, ලෝකයෙහි මේ දෙදෙනෙක් දුර්ලභ වෙත්. කවර දෙදෙනෙක් ද යත් යමෙකුත් පළමු උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද යන දෙදෙනා ය. මෙහි “පුබ්බකාරී” යනු යමෙක් තමාට කලින් කිසිදු උපකාරයක් නොකළ කෙනෙකුන්ට පළමුවෙන් ම තමා උපකාරයක් කරන්නේ ද ඔහු දුෂ්කර දෙයක් කළේ ය. ඔහු නැවත උපකාර කරන්නේ හෝ වේවා, නොකරන්නේ හෝ වේවා, පළමු කළ උපකාරය නිසා තමා ඒකාන්තයෙන් පිදිය යුත්තෙක් වන්නේය. මොහු ප්‍රථම දුර්ලභ පුද්ගලයාය. දෙවෙනි දුර්ලභ පුද්ගලයා නම් “කතඤ්ඤු කතවේදී” පුද්ගලයා ය. එනම්, තමාට අන්කෙනකු උපකාරයක් කළ විට එය සිහියේ තබාගෙන දැනගෙන සිටින, එසේ ඒ බව ප්‍රකාශ කරන පුද්ගලයාය.

බුදුරජාණන් වහන්සේ විසින් මේ “කතඤ්ඤු කතවේදීතා” ගුණය සත්පුරුෂ භූමිය බව වදාරණ ලදී. සියලු සත්පුරුෂ ගුණ පිහිටන තැන වශයෙන් එය භූමියයි ප්‍රකාශ කරන ලදි. යමෙකු තුළ කෙළෙහිගුණ දැනීමක් නැත්නම් ඔහු සත්පුරුෂයකු නොවන බව එයින් අදහස් කරනු ලැබේ. (“කේවලා හේසා භික්ඛවෙ සප්පුරිසභූමි යදිදං) කතඤ්ඤු කතවේදිතා”යනු බුද්ධ වචනයයි. සත්පුරුෂයා කළගුණ සලකන්නේ මිනිසුන්නට පමණක් නොවේ. තිරිසන් සතුන්ට ද, වෘක්ෂ ලතාදියට ද, කළගුණ දක්වයි. ප්‍රත්‍යුපකාර කරයි. බුද්ධ චරිතයත්, ශ්‍රාවක ශ්‍රාවිකා චරිතත්, ජාතක කතා ආදියත් ඊට නිදසුන් ය. ඒ සියලු චරිත මේ ගුණයෙන් පරිපෝෂිත ය. ආදර්ශවත් ය.

බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ඇසතු බෝධි වෘක්ෂ රාජයාට අනිමිස ලෝචනයෙන් සතියක් තුළ සමාධියෙන් පූජා කළේ කළගුණ සැලකීමේ දුර්ලභ ගුණය ලොව ප්‍රකාශ වීමට ය. ප්‍රථම මංගල ධර්ම දේශනාව සඳහා උන්වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන් ම සොයා වැඩියේ කෘතඥතා ගුණයේ බලවේගයෙනි. එසේම තමන් සොයා ගිය නියම දහම් මඟ අස්සජි තෙරුන්ගෙන් දැනගත් උපතිස්ස හා කෝලිත පරිබ්‍රාජකයන් දෙදෙනා තමන්ගේ කලින් ගුරුවරයා වූ සංජය පරිබ්‍රාජකයාට ද ඒ බව දැනුම් දීමටත් කැමැති නම් ඒ සඳහා යාමට ඇරියුම් කිරීමටත්, නැතහොත් අවසර ගෙන යාමටත් ඔහු වෙත ඒ දෙදෙනා ගියේ කෘතඥතා බලවේගයෙන් යුතුකම ඉටු කිරීමට ය.

වරක් රජගහනුවර සිටි රාධ නමැති බ්‍රාහ්මණයෙක් මහලු වියට පත්ව සිය දරුවන්ගේ නොසැලකිල්ල නිසා කලකිරී පැවිදිවීමට අදහස් කොට භික්ෂූන් වෙත ගොස් ඒ බව පවසා, විහාරයේ කුදු මහත් කටයුතු කරමින් සිටියේ ය. එහෙත් භික්ෂූන් වහන්සේ ඒ ගැන උනන්දු නොවූහ. බුදුරජාණන් වහන්සේට මේ ගැන දැනගන්නට ලැබී භික්ෂූන් රැස්කරවා විමසා බලා එම භික්ෂූන්ගෙන් කවර හෝ කෙනෙකුන්ට මෙම රාධ බමුණාගෙන් කිසියම් උපකාරයක් ලැබී ඇද්දැයි ඇසූවිට, සැරියුත් තෙරණුවෝ පිළිතුරු දෙමින් “දිනක් තමන් වහන්සේ නිවෙසකට පිඬු සිඟා වැඩි විටක අසල සිටි මේ බමුණා ඔහුට දෙන්නට එහි සේවකයකු විසින් ගෙන ආ ආහාර කොටසක් තමන් වහන්සේට පූජා කරන ලෙස පැවසූ බව මතක යැයි ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ විසින් “එසේ නම් මොහු පැවිදි නොකරන්නේ කුමක් නිසා දැයි අසා, පැවිදි කරන ලෙස නියම කළ සේක. වචන මාත්‍රයෙන් කළ උපකාරය සිහිපත් කොට කළගුණ දැනීමේ ගුණය නිසා ඒ අසරණ බමුණාට සැරියුත් තෙරුන්ගේ පිහිට නිසා උතුම් තත්වයක් වූ පැවිදි බව මෙන්ම, මෝක්ෂ සම්පත්තිය ද අත්පත් වූයේ ය. අවංක, පිරිසුදු අදහස් ඇති පුද්ගලයකු කළ අල්ප වූ ද, අණුමත්‍ර වූ ද උපකාරයෙන් මහත් පල ලැබෙන බව “කකංච අරියෙසු ච අඤ්ජජෙසු මහප්ඵලො හොති අණුම්පිත දිසු” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ බව වදාළහ.

“යො චෙ කතඤ්ඤු කතවේදී ධීරො
කල්‍යාණමිත්තො දල්හභත්තී ච හෝති
දුක්ඛිතස්ස සක්කච්ච කරොති කිච්චං
තථාවිධං සප්පුරිසං වදන්ති”

යමෙක් අනුන් විසින් තමාට කළගුණ දනී ද, ගුණ කළවුන්ට ප්‍රත්‍යුපකාර කෙරේද, නුවණැත්තෝ ද, කල්‍යාණ මිත්‍රයෙක් වේ ද, මිතුරන් හට මහත් භක්ති ඇත්තේ ද, දුකට පත් මිතුරාගේ දුක තමා පිටට ගෙන මිතුරා දුකින් මුදනු පිණිස වැඩ, කෙරේද? එබඳු තැනැත්තා සත්පුරුෂයා යි පණ්ඩිතයෝ කියති.

තව්තිසා දෙවියන් සත්පුරුෂයා හඳුන්වන ආකාරය පිළිබඳ සක්ක සංයුත්ත සූත්‍රයේ සඳහන් ව ඇත. “මවුපියන් පෝෂණය කරන, කුලදෙටුවන් පුදන, මොළොක්, රළු නැති වචන කතා කරන, කේලාම් නොකියන, නොමසුරු, සත්‍යවාදී, ක්‍රෝධ නොකරන මනුෂ්‍යයා සත්පුරුෂයා ලෙස හඳුන්වා දෙයි.

සෙවණ දුන් ගසක අත්තක්වත් කැඩීම අකෘතඥකමකි.

“යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය මිත්ත දුබ්භො භි පාපකො”

මිත්‍රද්‍රෝහියා මෙලොව දී ම කුෂ්ඨ රෝග, කබර රෝග ආදිය ඇත්තකු වීම හා පරලොව නරකාදියට යාම ද සිදු වන්නේ ය. ඒ අකෘතඥයා ඇසුරු නොකළ යුතු බව මෙසේ වදාළහ.

කළගුණ දත්, සිල්වත්, පිරිසුදු අදහස් ඇති පුරුෂයකු කෙරෙහි කළගුණය යහපත් ය. කුඹුරක වැපුරූ බීජයක් මෙන් නො නැසේ. වැඩේ. එහෙත් අසත්පුරුෂයකු කෙරෙහි ද දක්වන ගුණය ගින්නෙහි ලූ බීජයක් මෙන් දැවේ. නොවැඩේ.

බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අන්‍යයන් විසින් තමාට නොයෙක් ආකාර හේතුවලින් උපකාර කරන අතර, නොයෙක් සම්බන්ධතා අනුව ද අනුන්ට කළගුණ සලකන්නට යුතුකම ඇත්තේ ය.

ඔහු ජීවත්ව සිටියදී මට නොයෙක් දේ දුන්නේ ය. නොයෙක් උපකාර කළේ ය. ඔහු මගේ ඥාතියෙකි. මිත්‍රයෙකි. යහළුවෙකි. එහෙයින් පෙර කළ ගුණ සිහිකර පින් දිය යුතුයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරිනි